TT Ads

කාන්තාවක් රැකියාවක නිරතවිය යුතුමද? මෙම පැනයට ඇතැමෙකු ලබාදෙන පිළිතුර “නැත”‍ යන්න විය හැකිය. මන්ද, සැමියා රැකියාවට ගොස් නිවසට පැමිණෙන තුරු දූ දරුවන් රැකබලා ගැනීම බිරිඳක සහ මවක ලෙස කාන්තාවන්ට පැවැරී ඇති වගකීම බව ඇතැමුන් විශ්වාස කරන නිසාය. කෙසේවුවද, එකී වගකීමෙන් තරමක් ඔබ්බට ගොස්, කාන්තාවකට රැකියාවක් වෙනුවෙන්ද තම කාලය සහ ශ්‍රමය වැයකළ හැකිනම් පවුලේ ආර් ථිකයට එයින් ලැබෙන ශක්තිය සුළුපටු නොවේ. ඒ සඳහා කාන්තාවක් නිවසෙන් බැහැර වීම අත්‍යවශ්‍ය වන්නේද නැත. පැය අටේ සේවා මුරයකට කොටුනොවී, තම හැකියාවට සරිලන ස්වයං රැකියාවක නිවසේ සිටම නිරතවෙමින් ජීවිතය ජයගත් කාන්තාවන් අපේ රටේ බොහෝය. ජීවිතයේ අනේකවිධ දුක්කම්කටොළු මැදින් සාර් ථකත්වය හඹායන ඒ දිරිය කතුන්ගේ දිවිමග තතු “‍රැජිනිය”‍ මෙතැන් පටන් සතිපතා පාඨක ඔබවෙත රැගෙන එන්නේ, දිරියෙන් දිවිය ජයගනු පිණිස තවත් බොහෝ දෙනකුට එය උපකාරී වියහැකි නිසාය.

වේවැල්, පන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් උපයෝගිතා භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ ආදිය නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දෙන ගීතාංගනී පෙරේරා අවස්ථා රැසකදීම සම්මානයටද පාත්‍රවූ ව්‍යවසායිකාවකි. මේ දිගහැරෙන්නේ දිරියෙන් දිවිය ජයගත් ඇයගේ කතාවය.

 

  • ස්වයං රැකියාවක් කරලා ජීවිතය ජයගන්න ඕනෑ කියලා ඔබට මුලින්ම හිතුණේ කොයිකාලයේදීද?

මම මගේ පාසල් කාලයෙන්ම මේ කතාව පටන්ගන්නම්. පාසල් කාලේ මම ඉගෙනීමට දක්ෂයි. ඒ එක්කම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන්න දක්ෂතාවයක් සහ ආසාවක් ඒ කාලේ ඉඳන්ම මට තිබුණා. පාසල් අධ්‍යාපනය හමාර කළාට පස්සේ මම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා තිබුණු පෞද්ගලික ආයතනයක සේවයට බැඳුණා. ඒක අයර්ලන්ත ජාතිකයෙකුට අයත් ආයතනයක්. සුරතල් සතුන් වෙනුවෙන් වේවැල්වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා යුරෝපා රටවලට අපනයනය කිරීමයි එම ආයතනයෙන් සිදුකළේ. මම එහි සේවය කළේ එහි වැඩපරීක්ෂකවරියක් විදිහටයි. ඔහොම ටිකකාලයක් රැකියාව කරමින් ඉඳිද්දී තමයි මට මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව සැලසුණේ.

 

  • ඔබට අවශ්‍ය ශිල්පීය දැනුම ඒ ආයතනයේදී නොඅඩුව ලැබෙන්න ඇති ?

ඒක ඇත්ත. හැබැයි ටික කාලයක් ගිහින් තමයි ඒ හැමදෙයක්ම මට ලැබෙන්න පටන්ගත්තේ. ඇත්තටම එදා මම ජීවිතයේ ගත්තු එක්තරා වැදගත් තීරණයක් තමයි අද මට මේ විදිහේ ගමනක් එන්න පාර කැපුවේ. ඒ ආයතනයේ වැඩ පරීක්ෂකවරියක් විදිහට සේවය කරද්දී මට මුලින්ම භාණ්ඩ නිෂ්පාදනය ගැන ඉගෙනගන්න ලැබුණේ නැහැ. මොකද වෙනත් අය කරන නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම තමයි මට පැවැරිලා තිබුණු රාජකාරිය වුණේ. නමුත් පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාව සහ හැකියාවත් එක්ක, මට වුවමනා වුණේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරන්නයි. මම මේ ගැන ආයතනයේ අයිතිකරුට කීවාම ඔහු ඒ ගැන පුදුම වුණා. මොකද වැඩ පරීක්ෂක තනතුරේ ඉඳන් භාණ්ඩ වියන්නියකගේ තනතුර දක්වා කැමැත්තෙන්ම පහළට යන්න කැමති කාන්තාවක් මීට කලින් ඔහුට හමුවෙලා තිබුණේ නැහැ. හැබැයි ඔහු මගේ කැමැත්තට ඉඩදුන්නා. ඊට පස්සේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරන හැටි ඉතාම කැමැත්තෙන් ඉගෙනගත්තා. ඔය අතරේ මම සේවය කරපු ආයතනයේ නිෂ්පාදන කටයුතුත් තවත් පුළුල් වුණා. එහි අයිතිකරු තීරණය කළා අපතේ යන ස්වාභාවික අමුද්‍රවය යොදාගෙන, සුරතල් සතුන් වෙනුවෙන් කූඩු ආදී භාණ්ඩ නිෂ්පාදනය කරලා පිටරට යවන්න. මගේ දක්ෂතාවයන් දැකලා සතුටු වෙච්ච ඔහු මාව එම නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස පත්කළා. ඉතින් ඔය විදිහට වේවැල්වලින් පමණක් නෙවෙයි, විවිධ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන උපයෝගිතා භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත් හොඳ ශිල්පීය දැනුමක් මට ලැබුණා. ඔහොම කාලයක් ගතවෙද්දී මට හිතුණා මට දැන් තනිවම නැගීසිටින්න කාලය හරි කියලා.

 

  • බොහෝ කාන්තාවන් තනිවම ව්‍යාපාර කටයුතු පටන් ගන්න ටිකක් මැලිවෙනවා. කොහොමද ඔබ ඒ අභියෝගයට මුහුණදුන්නේ?

ඒ වෙද්දී මගේ දියණියත් ටිකක් ලොකුයි. පැය අටක සේවාවක් වෙනුවෙන් ආයතනයක කොටුවෙලා ඉන්න කැමැත්තකුත් ඒ වෙනකොට මට තිබුණේ නැහැ. ඒ නිසා මම රැකියාවෙන් ඉවත් වුණා. ඊට පස්සේ මම සුපිරි වෙළෙඳසල් ආදියේ ඇවිදලා බැලු‍වා මම මොනවගේ භාණ්ඩ නිෂ්පාදනය කළොත්ද මට ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරගන්න හැකිවන්නේ කියලා. එතැනදී මට තේරුම් ගියා කාන්තා අත්බෑග්, බාස්කට් වගේ උපයෝගිතා භාණ්ඩ වලට හොඳ ඉල්ලු‍මක් තිබෙන බව. ඊටපස්සේ මම බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත දෙපාර්තමේන්තුව, ලක්සල වගේ ආයතනවලට මගේ නිෂ්පාදන ඉදිරිපත් කළා. මගේ භාණ්ඩ ගැන පැහැදිලා ඒ ආයතනවලින් මාව ඒවායේ ලියාපදිංචි කර ගත්තා. දැන් මම ලක්සල, සුපිරි වෙළෙඳසල්, සංචාරක හෝටල් ආදියට මගේ භාණ්ඩ සපයනවා. වේවැල් සහ පන්වලට අමතරව කෙසෙල් පට්ටා, කිතුල් රැහැන් සහ බඩඉරිඟු‍ පොතු ආදියත් මේ වෙද්දී මම අමුද්‍රව්‍ය ලෙස භාවිත කරනවා. එම භාණ්ඩ අලෙවියෙන් මම මාසිකව සැලකිය යුතු මුදලක් උපයාගන්නවා. මේ වෙද්දී මා ළඟ කාන්තාවන් 10-12ක් පමණ සේවය කරනවා. ව්‍යාපාර කටයුතු කරන අතරතුර, 2011 වසරේ සිට මම ජාතික ශිල්ප සභාවේ ගුරු ශිල්පිනියක ලෙසත්, කාන්තාවන්ට මා සතු දැනුම බෙදාදෙනවා.

 

  • අතරමග කඩානොවැටී මෙවැනි ස්වයං රැකියාවක් කරගෙන යන්නේ කොහොමද කියලා ඔබේ අත්දැකීම් ඇසුරෙන් පහදාදෙන්න පුළුවන්ද?

මේ වගේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමැත්තෙන් සිටින කාන්තාවන් වෙනුවෙන් මට දෙන්න තිබෙන මුල්ම උපදෙස තමයි, ව්‍යපාරයක් පටන්ගන්න කලින් වෙළෙඳපොළට අවශ්‍ය මොනවගේ භාණ්ඩද කියලා හඳුනාගන්න කියන එක. එහෙම හඳුනාගෙන තමන්ගේ නිෂ්පාදන වෙළෙදපොළට ඉදිරිපත් කළොත් මේ වගේ ස්වයං රැකියාවකින් ජීවිතය ජයගැනීම අපහසු නැහැ. අනික, වෙළෙඳපොළේ තියන භාණ්ඩයක් අනුකරණය කරලා මමත් ඒවගේම භාණ්ඩයක් හදන්න ඕනෑ කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මම නිතරම උත්සාහ කළේ වෙළෙඳපොළේ කොහේවත් නැති, මගේම මනසේ මැවුණු විලාසිතාවලට අනුව හදන භාණ්ඩයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්නයි. මේ විශේෂත්වය නිසා නිසා තමයි ඉක්මනින්ම මගේ භාණ්ඩවලට වෙළෙඳපොළේ හොඳ ඉල්ලු‍මක් ඇතිවුණේ.

 

  • ව්‍යවසායිකාවක ලෙස පැමිණි ගමන්මගේදී ඔබ ලැබූ ජයග්‍රහණ ගැනත් සිහිපත් කරමු නේද?

මගේ භාණ්ඩවලට ටිකෙන් ටික ඉල්ලු‍ම වැඩිවෙද්දී මම බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත තරගවලට ඉදිරිපත් වුණා. ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වීමෙන් පසුව මගේ ගමන්මග තවත් වෙනස්වුණා. ජාතික ශිල්ප සභාවේ මගපෙන්වීම ඇතිව මම ජාතික සහ ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වුණා. ඒවායෙන් බොහෝ ජයග්‍රහණත් අත්පත්කර ගත්තා. ඒ අතරින් විශේෂිතම අවස්ථාවක් තමයි, 2016 ජනාධිපති සම්මාන උළෙලේදී වේවැල් අංශයේ ප්‍රථම ස්ථානයට හිමි සම්මානය දිනාගැනීමට ලැබීම. කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකර, ව්‍යවසායිකාවක විදිහට 2014 , 2015 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලැබීමත් මේ ආ ගමන්මගේදී මා ලැබූ ජයග්‍රහණයක්.

 

  • සමහර කාන්තාවන් මෙවැනි ස්වයං රැකියාවක් කරන්න කැමැත්තෙන් සිටියත් ශිල්පීය දැනුම මදකම සහ අමුද්‍රව්‍ය සොයාගැනීමේ අපහසුතා වැනි හේතු නිසා අධෛර්යමත් වෙනවා. ඔබ කැමතිද එවැනි කාන්තාවන්ට “රැජිනිය”‍ පුවත්පත හරහා සවියක් වෙන්න ?

ඇත්තටම ඔව්. අද බොහෝ කාන්තාවන් ගෙදරට වෙලා නිකම්ම කාලය කා දමනවා. හැබැයි ඔවුන් තමන්ගේ කාලය සහ ශ්‍රමය මේ වගේ දේකට යොදවනවා නම්, තමන්ගේ පවුලටත් ආර්ථික වශයෙන් ශක්තියක් වෙන්න ඔවුන්ට පුළුවන්. මේ ස්වයං රැකියාව කරද්දී කාන්තාවක් විදිහට මටත් විවිධ අභියෝග එල්ල වුණා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට, මට පැවරිලා තිබුණු පවුලේ වගකීම් එක්ක ව්‍යාපාර කටයුතු සමබර කරගන්නේ කොහොමද කියන ගැටලු‍ව මතුවුණා. ගෙදරින් වුණත්, මම ආයතනයක සේවය කරනවා තරම් ස්වයං රැකියාවක් කරනවාට මුලදී ඒතරම් කැමති වුණේ නැහැ. නමුත් කාලයත් එක්ක මම ඒ හැම අභියෝගයක්ම ජයගෙන අද හොඳ තැනක ඉන්නවා. අද මගේ දුවත් මා වගේම වේවැල් සහ පන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඉතින් මම කැමැතියි මෙවැනි ස්වයං රැකියාවක් පටන් ගන්න කැමති කාන්තාවන් ඉන්නවා නම් ඔවුන්ටත් ශිල්පීය දැනුමෙන් සහ අමුද්‍රව්‍ය සොයාගැනීමට මගපෙන්වීමෙන් උදවු උපකාර කරන්න.

ගීතාංගනීගේ දුරකථන අංකය – 071-6033293
සාකච්ඡා කළේ – කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>