TT Ads

බත් පත යනුවෙන් හඳුන්වනු ලබන අපගේ එදිනෙදා ආහාර වේලක් තුළ ද වැදගත් නොවැදගත් භේදයක් තිබේ. අප ආහාරයට ගන්නා බෝංචි, ලීක්ස්, කැරට්, ආදී උඩරට එළවළු වැදගත් ගණයට වැටෙන අතර පතෝල වැටකොළු ආදිය අයත් වන්නේ නොවැදගත් ගණයටය.
මා එසේ කියන්නේ මෙහි දෙවනුව සඳහන් ආකාරයේ එළවළුවක් වැරදීමකින්වත් මංගල භෝජනයක නැතහොත් ප්‍රිය සාදයක කෑම මේසයක දක්නට නොලැබෙන බැවිනි. ආහාර පානවල ඇති මේ වැදගත් නොවැදගත් භේදය එළවළු ආදියට පමණක් සීමා වී නැත. සත්වමය ආහාර ගණයට අයත් මස්, මාළු, බිත්තර ආදිය ඒකාන්ත වශයෙන්ම වැදගත් ආහාර ලෙස ගැනෙද්දී එවැනිම පෝෂ පදාර්ථ අඩංගු කරවල වැටෙන්නේ නොවැදගත් ආහාර ගොඩටය.
එනිසාම ඉහත සඳහන් කළ මංගල කෑම අතරට වැරදීමකින්වත් එක් නොවන කරවල අවමඟුල් නිවසක මළ සිරුරක අවසන් කටයුතු නිමවා පිසෙන “මළ බතට” නම් නොවැරදීම එක් වෙයි.

අපේ රටේ තත්ත්වය එසේ වුවත් විද්‍යා තාක්‍ෂණික අතින් දියුණු ලෝකයේ බොහෝ රටවල තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. ධීවර කර්මාන්තය අතින් ලොව නම් දරා හිඳින නෝර්වේජියාවේ වසර තුන් හාරසීයක් ඉපැරණි සාම්ප්‍රදායික ක්‍රමවලට සැකසෙන ලුණු රහිත කරවල (Stock Fish) සහ නියමිත ප්‍රමිතීන්ට අනුව ලුණු යොදා සකස් කළ කරවල (Clip Fish) එම රටවල ඉහළතම ආහාර අතරට ගැනෙයි. එමෙන්ම ආහාර විවිධාංගීකරණය (Food diversification) යටතේ රාජකීය ආහාර වේල්වලටද සුදුසු ලෙසින් ලොව පුරා නොයෙක් අයුරින් රසට පිසෙන කරවල අපගේ ආහාර ලැයිස්තුව තුළ මෙලෙස කොන්වීමකට ලක්ව ඇත්තේ ඇයි ? එමෙන්ම විවිධ හේතූන් මත මස් මාළු අනුභව නොකරන්නවුන් වුව අනුභව කරන කරවල සඳහා අපගේ ආහාර රටාව තුළ මීට වඩා හොඳ තැනක් හිමි කර දිය නොහැකිද?

අප මේ සම්බන්ධයෙන් මුලින්ම කරුණු විමසන ලද්දේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ නියෝජිතායතනයේ (නාරා) පසු අස්වනු තාක්‍ෂණික අංශ ප්‍රධානී ආචාර්ය සූජීවා ආරියවංශ මහත්මියගෙනි.
“අපේ සමුද්‍ර කලාපයෙන් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න යොදා නිෂ්පාදනය කරන කරවල වගේම විදේශයන්ගෙන් ආනයනය කරන කරවලත් දේශීය වශයෙන් පරිභෝජනයට ගැනෙනවා. නමුත් කරවල නිෂ්පාදනයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු ආදී තවත් කරුණු රැසක් මුල් කරගෙන ආහාරයක් වශයෙන් කරවල මෙරට ජනතාව අතරේ ජනප්‍රියත්වයට පත්වීමේ ශීඝ්‍රතාවය තරමක් අඩුයි. ඒ සඳහා මූලික පියවරක් හැටියට නාරා ආයතනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව දුම් ගැසූ මාළු සහ දුම් ගැසූ කරවල නිෂ්පාදනය සම්බන්ධ වැඩසටහන් සංවිධානය කොට තිබෙනවා. ඒවායේ සාර්ථකත්වය මත ඉදිරියේ කරවල සම්බන්ධ ආහාර විවිධාංගීකරණ වැඩසටහන් හඳුන්වා දීමට අප අදහස් කරනවා. එමගින් කරවල ආහාරයක් වශයෙන් මීට වඩා ජනප්‍රිය තලයකට ගෙන ඒමට අප අදහස් කරනවා” ආචාර්ය ආරියවංශ මහත්මිය කීවාය.

කරවල කී සැණින් අප කාගේත් එක්වරම සිහියට නැංවෙනුයේ කල්පිටිය සහ මන්නාරමය. ඒ අතරිනුදු කල්පිටිය අවට දූපත්වල නිපදවෙන කරවල ආසියාතික මට්ටමින් වුව රසයෙන් ගුණයෙන් ඉහළම තැනකම පවතින බව අනාවරණය වී තිබේ. එහෙත් විස්මයට කරුණ වූයේ කරවල සම්බන්ධයෙන් නම් දැරූ කල්පිටිය අර්ධ ද්වීපයේම එකම එක බොජුන්හලක හැරුණු කොට කරවල අසුරින් තැනූ බොජුන් දක්නට නොතිබීමය. එම බොජුන් හල නම් කොළඹ පුත්තලම පාරේ පාලවිය හන්දියෙන් කල්පිටිය අර්ධ ද්වීපයට පිවිසෙන විටම වාගේ හමුවන පුත්තලම් කලපු ඉමේ පිහිටි ග්‍රීන් ලැගුන් රෙස්ටොරන්ට් නම් පරිසර හිතකාමී අවන්හලය. දැනට එය පවත්වාගෙන යන්නේ ප්‍රවීණ සූපවේදී සම්පත් නිශාන්ත වෙදගේය.


“මම ඉස්සරවෙලාම සේවය කළේ කල්පිටිය තානායමේ, ඒ මීට අවුරුදු විසි අටකට විතර කලින්. මගේ ගම බෙලිහුල්ඔය. නමුත් අපේ ගම් පළාත්වල කරවලවලට තියන ජනප්‍රියත්වය මෙච්චර කරවල බහුල කල්පිටියේ නැති බව දැනගෙන තරමක් පුදුම වුණු මම ඒ කාලේ ඉඳලම කල්පිටි කරවලවලින් රසකෑම හදන්න පටන් ගත්තා. ඇත්තෙන්ම කරවලවල තියන ස්වාභාවික ගන්ධය ඉවත් කළාම ඒවායින් ඉතාම රසට බිරියානි ෆ්‍රයිඞ් රයිස් පවා හදන්න පුළුවන් බව මම ඔප්පු කළා. ඒත් කරවල ෆ්‍රයිඞ් රයිස් කරවල බිරියානි හැටියට ඒවා මාකට් කරන්න බැහැ. කරවල ගැන මිනිස්සුන්ගේ හිත්වල මුල් බැහැගෙන තියෙන ආකල්ප හින්දා. නමුත් මම දැනටත් කල්පිටි වියළි හාල් මැස්සන් තෙම්පරාදුව වගේ කරවලවලින් හදන කෑම කීපයක් ඉතාම අඩු මුදලකට දේශීය, විදේශීය සංචාරකයන්ට ලබා දෙනවා. ඒ ලාබයකට වඩා කවදා හරි කල්පිටි අර්ධ ද්වීපය ඇතුළෙන් කරවල ජනප්‍රිය කරවන්න තියන උවමනාවට” සූපවේදී සම්පත් නිශාන්ත වෙදගේ කීය.

ඒ අනුව අප නොවටිනා දේ යැයි සිතන බොහෝ දේ තුළ අප නොසිතන වටිනාකමක් ගැබ්ව තිබිය හැකිය යන නියාමය අනුව මෙතෙක් ආහාර වේල තුළ එතරම් වැදගත් තැනක් හිමි කර නොදුන් කරවලවලින් නව රසයක් ගෙන දෙන ප්‍රණීත ආහාර පිළියෙළ කිරීමට ඔබටත් හැකි නම් එය ඔබ දක්‍ෂ ගෘහණියක බව කියාපාන තවත් වැදගත් සාක්‍ෂියක් වනු ඇතැයි අපට සිතෙයි.

තිලක් සේනාසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>