TT Ads

කාන්තාවන්ට පිරිමින් සමග එකමුතුව වැඩ කිරීම පහසු වුණත්, කාන්තාවන්, කාන්තාවන් සමග එක්ව කටයුතු කිරීමේදී නොයෙකුත් ගැටලු ඇති කර ගන්නා බව බොහෝ දෙනෙක් පවසනවා. අපි මේ කතාවේ ඇත්ත නැත්ත මනෝ විද්‍යාත්මක පැත්තෙන් සොයා බලමු.

කාන්තාවන් සිව් දෙනෙක් එකට එකතු වී වල්පල් කතාබහ කරමින් සිටියා. මේ හතර දෙනා කතා කළේ තම තමන්ගේ වගතුග ගැනයි.

“මගේ පුතාට සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. මොකද එයා නීතිඥයෙක්නේ. එයා කොතනකට ගියත් ‘නීතිඥතුමනී’ කියලා කවුරුත් නැගිටලා ගෞරව කරනවා”.

පළවෙනි කාන්තාව බොහොම උජාරුවෙන් පැවැසුවා. දෙවෙනි කාන්තාව නිකන් හිටියේ නෑ. ඇය ඊට පිළිතුරු ලෙස කීවේ මෙවැනි කතාවක්.

“ඔයාගේ පුතා නීතිඥයෙක් විතරයි. මගෙ පුතා අධිනීතිඥ කෙනෙක්. එයාට හැමෝම ‘අධිනීතිඥතුමනි’ කියලා කතා කරන්නේ.

දැන් තුන්වෙනි කාන්තාවගේ වාරය ආවා. “මගේ පුතා ඉන්නේ ඔය දෙන්නටම වඩා ඉහළ තැනක. එයා විනිසුරු  කෙනෙක්. එයාට හැමෝම ගෞරව කරන්නේ ‘විනිසුරුතුමනි’ කියලයි”.

මේ තුන්දෙනා මෙහෙම කිව්වම හතරවෙනි කාන්තාවට කියන්න දෙයක් තිබුණේ නෑ. මේ තුන්දෙනාටම වඩා උසස් දෙයක් නොකිව්වොත් තමන්ගේ තත්ත්වය පහළ යන බව ඇය වටහා ගත්තා. ඇගේ සිතට ක්‍ෂණිකව අපූරු අදහසක් ආවා.

“මගේ පුතා හරි දක්‍ෂයෙක්. එයා නීතිඥයෙක්වත්, අධිනීතිඥයෙක්වත්, විනිසුරු කෙනෙක්වත් නෙවේ. එයා ලොකු ධනවතෙක්. අඩි හයයි අඟල් පහක් උසයි. දකින හැමෝම ‘අනේ දෙවියනේ’ කියනවා”.

මේ කතාව ලොකු උපහාස රසයෙන් පිරුණු එකක් බව ඔබට වැටහෙනවා ඇති. සිව්වෙනි කාන්තාවගේ පුතුව දකින අය දෙවියනේ කියන්නේ ඒ පුද්ගලයාගේ අසාමාන්‍ය උස එකවරම දකින විටයි. නමුත් ඉහත කී තනතුරු තුනටම වඩා දෙවියන් උසස් නිසා මේ අවස්ථාවේ ඇය තමාගේ පුතුගේ උස දකින මිනිසුන් “දෙවියනේ” යැයි කීම තමන්ගේ වාසිය පිණිස යොදා ගත්තා.

මෙය එක්තරා ඉංග්‍රීසි පොතක තිබූ විහිළු කතාවක්. මෙයින් හැඟවෙන්නේ කාන්තාවක් තුළ බොහෝ විට දැකිය හැකි ලක්‍ෂණයක් වන තව කෙනෙකුට දෙවෙනි වීමට තිබෙන කැමැත්ත සහ අනෙකාට වඩා කැපී පෙනීමට තිබෙන ආශාවයි.

මේ තත්ත්වය කාන්තාවන් අතර මෙන් පිරිමි – පිරිමි අතර දකින්න ලැබෙන්නේ නැති තරම්. එසේ තිබුණත් ඒ ඉතා කලාතුරකින්.

අනෙකාට වඩා ඉහළින් කැපී පෙනීමට තිබෙන කැමැත්ත වගේම කාන්තාවන් දෙදෙනෙකුට එකට එකතු වී වැඩ කිරීමේ අපහසු බවකුත් තිබෙනවා. එයට හේතුව ඔවුන් එසේ එකට එකතු වූ කල ඉතා ඉක්මනින් අමනාපකම් ඇති කර ගැනීමට තිබෙන හැකියාවයි. නැන්දම්මා සහ ලේලි අතර ගැටුම් ඇති වීමටත් මේ තත්ත්වය බලපානවා.

අපි මේ කාන්තාවන්ගේ නුගුණ ගැන කතා කරනවා නෙවේ. නමුත් කාන්තාවන් තුළ දැකිය හැකි එකට වැඩ කිරීමේදී ගැටුම් ඇති කර ගැනීම, නොරිස්සුම, ඕපාදූපවලට දක්වන දැඩි කැමැත්ත, මායම් හැට හතර වැනි ලක්‍ෂණවල මනෝ විද්‍යාත්මක පැත්ත ගැන සොයා බලන්නට අප මේ උත්සාහ කරන්නේ.

මෙවැනි ලක්‍ෂණ ඇති වීමට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් බලපානවා. එකක් සහජ හේතු, අනෙක පරිසරයෙන් දැක ඉගෙන ගන්නා දේවල්.

කාන්තාවට සහ පිරිමින්ට ආවේණික, වෙන් වූ ගති ලක්‍ෂණ තිබෙනවා. ඒකට තමයි සහජ හේතු කියන්නේ. ගැහැනුන්ට ආවේණික ගති ලක්‍ෂණ තීරණය කරන මොළයේ වෙනම කොටස් පිහිටා තිබෙනවා. මේ අනුව පිරිමින්ට වඩා කාන්තාවන්ට මේ තත්ත්වය වැඩියි. සන්නිවේදනය කිරීමේ හැකියාව අතින් කාන්තාවන් පිරිමින්ට වඩා ඉහළ තැනක සිටිනවා. මොළයේ වැඩි කොටස් ප්‍රමාණයක් එකවර උත්තේජනය වන ස්වභාවය නිසා එකවර වැඩ කිහිපයක වුවත් ඔවුන්ට නිරත විය හැකියි. නමුත් පිරිමියෙකුට එකවර කළ හැක්කේ එක වැඩක් පමණයි. ඒ පිරිමින් ඒකකේන්ද්‍රීය නිසයි. එනිසා කාන්තාවන්ට තරම් පුළුල් පරාසයක් දැකීමේ හැකියාව පිරිමින්ට බොහෝ විටම අඩුයි. මේ නිසා කාන්තාවන්ට එකවර පැති කීපයක් ගැන හිතලා තීරණ ගැනීමේ හැකියාව ද පවතිනවා. නමුත් මේ ආකාරයට එකවර පැති කිහිපයක් වුණත් දැකිය හැකි වීමේ අවාසියක් ද තිබෙනවා. මේ නිසා යමක් ගැන කතා කරන විට ඊට ඉලක්ක කර කතා කිරීම ඔවුන්ට අපහසුයි. ඒ අනුව කතාව විවිධ පැතිවලට යනවා. මෙසේ විවිධ පැතිවලට කතාව සහ සිතිවිලි ගමන් කරන විට මූලික කාරණය අවුල් විය හැකියි.

පිරිමින් දෙදෙනෙකු එකට වැඩ කිරීමේ පහසුවක් තියෙන්නේ ඔවුන් එකිනෙකා අතර තරගකාරී ගති නැති නිසයි. මුදල් හදල් අතින් දියුණු වීමේ තරගයක් පිරිමින් තුළ තිබුණත් ඔවුන් එකිනෙකා අතර විලාසිතා හෝ වෙනත් කැපී පෙනෙන දේවල් සම්බන්ධයෙන් තරගයක් නෑ. ඒ ඔවුන් ඒකකේන්ද්‍රීයව සිතන නිසයි.

කාන්තාවගේ මොළයේ වැඩිපුර කොටස් ප්‍රමාණයක් එකවර උත්තේජනය වීම නිසා කාර්යයන් කිහිපයක් එකවර කිරීමේ හැකියාවට අමතරව ඔවුන්ට වැඩිපුර දේවල් කතා කරන්නත් ඕනෙ.

පිරිමින් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් එකතු වුණාම වැඩිපුර කතා කරන්නේ ක්‍රීඩා සහ දේශපාලනය වගේ දේවල්. නමුත් කාන්තාවන් වැඩිපුර කැමැති පුද්ගල සම්බන්ධතා ගැන කතා කරන්නයි.

දරුවන් ගැන සැමියා ගැන ගෙදර ගැන. නළු නිළියන් වැනි ප්‍රසිද්ධ අය ගැන ඔවුන් නිතර නිතරම කතා කරනවා. මේ නිසා තමයි කාන්තාවන් ඕපාදූප කතා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී සිටින්නේ. පිරිමි එකතු වුණාමත් මේ වගේ තොරතුරු ඕනේ තරම් කතා කරනවා තමයි. නමුත් කාන්තාවන් තරම් ප්‍රබල ලෙස ඔවුන් ඒවා සන්නිවේදනය කරගන්නේ නෑ. කාන්තාවන්ගේ විෂය පුද්ගල සම්බන්ධතා පිළිබඳව ඇති උනන්දුව නිසා අනික් අය ගැනත් ඔවුන්ගේ අඩුපාඩු ගැනත්, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ගැනත් වැඩිපුර කතා කිරීම ස්වභාවයක්.

පිරිමි බොහෝ විටම ඕනෑම දෙයක් කෙළින් කතා කරනවා. අනෙකාගේ හිත රිදෙයිද කියන එක ගැන වැඩිපුර  හිතන්නේ නෑ. නමුත් කාන්තාවන් ඒකේ අනිත් පැත්ත.

අනික් අයගේ හිත රිදෙයිද, තමාට අවාසියක් වෙයිද ආදී වශයෙන් බොහෝ දෙවල් ගැන හිතා කාන්තාවන් කතා කරන නිසා පිරිමින්ට කාන්තාවන්ගේ මේ හැසිරීම් අවබෝධ කර ගන්න අපහසු වන අවස්ථා තිබෙනවා.

ඒ වගේම තමන්ගේ සිත ගත් පිරිමියා හමුවේදී වචනවලට වඩා හැසිරීම්වලින් තම හැඟීම් පළ කරන්නත් කාන්තාවන් කැමතියි. මෙහෙම අවාචික සන්නිවේදනය තුළින් ඔවුන් පිරිමින් ඉදිරියේ බොහෝ දේවල් පළ කරනවා. ගෑනු මායම් ලෙස පිරිමින් දක්වන්නේ මේ තත්ත්වය විය හැකියි. පිරිමි මේ හැසිරීම්වලට ප්‍රියයි. නමුත් ඔවුන්ට සමහර වෙලාවට ඒ හැසිරීම් තේරුම් ගැනීම අපහසුයි. මේවා මායම් ලෙස දක්වන්නට පිරිමින් පෙළැඹී ඇත්තේ ඒ නිසා විය හැකියි. කාන්තාවන් සහ පිරිමින්ගේ හැසිරීම්වල මෙලෙස විවිධත්වයක් තිබීම සමාජයේ පැවැත්මට අවශ්‍යයයි. දෙගොල්ලොම එක වගේ වුණොත් දෙගොල්ලන්ටම දෙගොල්ලන්ව එපා වෙයිනේ.

දම්රිවි පදනමේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>