TT Ads

 

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් හරි අඩකටත් වැඩියෙන් කාන්තාවන්ය. මෙලොව උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබීමට භාග්‍යය ලබන හිමිකාරියද කාන්තාවය. එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම විදේශීය විනිමය ගෙන දෙන්නේද කාන්තාවන්ය. ශ්‍රී ලංකාවේ මේ වන විට ඉහළ පරිපාලන සේවයේ යෙදෙන කාන්තාවන්ද ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතා ඉහළය. පිරිමින් සමගින් කරට කර වැඩ කිරීමට හෝ ඊටත් ඉහළින් වැඩ කිරීමටද ඔවුන් සමත්ය. පිරිමින්ට පමණක් සීමා වී තිබූ රැකියාවන්ද අද වන විට කාන්තාවන්ගේ සුමට දෑතින් අති විශිෂ්ට ලෙස සිදුවන බවද නොරහසකි. නිවසකට මවක බිරිඳක සහ සහෝදරියකගෙන් ඉටුවන මෙහෙය මිල කළ නොහැකිය. මෙවැනි උතුම් කාර්යයන් ගණනාවක යෙදෙන කාන්තාවට අද වන විට විවිධ දුක් කම්කටොළුවලට මුහුණ දීමට සිදුවීම අභාග්‍යයකි. ගෘහස්ථව හිංසනයට ලක්වන කාන්තාව නිවසින් පිටතදී විවිධ අතවර වලට ලක්වන අවස්ථා අපමණය
2005 වසරේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත නිවස තුළදී අනේක විධ හිංසනයට ලක්වන කාන්තාවන්ට සහනය ලබා ගත හැකි නීතිමය ආරක්ෂාව සහිත පනතකි. තම ස්වාමිපුරුෂයාගෙන් සිදුවන විවිධ හිංසන වළක්වා ලීමට නියෝග නිකුත් කිරීමට මෙම පනත යටතේ අධිකරණයට හැකියාවක් ඇත. එසේම පැමිණිලිකාරියගේ රාජකාරි ස්ථානයට පදිංචි ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීමට පවා අයිතියක් ඇත. මෙම නියෝග ලබා ගැනීමට පැමිණිලි පාර්ශ්වයට පොලීසිය හරහා මෙන්ම පෞද්ගලිකවද හැකියාවක්ද තිබේ. මෙම පනත යටතේ ප්‍රචණ්ඩත්වයට ලක්වූ බවට සැලකීමට “උද්වේගශීලී බැණවැදීමක්” වුවද ප්‍රමාණවත් වේ.
එසේම 1995 වසරේදී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් කාන්තාවට තිබූ නීතිමය ආරක්ෂාවද තවදුරටත් තහවුරු කර ඇත. රැකියා ස්ථානයේ හෝ මගතොටදී ලිංගික වශයෙන් හිංසනයට ලක්වීම අද වන විට කාන්තාවට සුලබව මුහුණදීමට සිදුවෙයි. මෙහිදී වචනයෙන් ක්‍රියාවෙන් හෝ ඉඟියකින් හිංසනයට ලක් කිරීම අවුරුදු 05ක් දක්වා කාලයක් බන්ධනාගාර ගත කළ හැකි වරදක් ලෙස නම් කර ඇත. එම පනතේ 345 වන වගන්තියට අනුව මෙවැනි වරදක් කරන පුද්ගලයකු පොලීසියට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර පොලිස් බලධාරියකුට මෙවැනි වරදක් සමථයට පත් කිරීමටද හැකියාවක් නොමැත.
ඉහත කාරණා දෙස බැලීමේදී අද වන විට ශ්‍රී ලාංකේය කාන්තාවට ඇත්තේ ඉතාම අගනා නීතිමය සුරක්ෂිත භාවයක් බව පැහැදිලිය. එසේ වුවද මෙවැනි අවස්ථා වලදී නීතිමය ආරක්ෂාව ලබා ගැනීමට කාන්තාවන් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. ඔවුනට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ලබා දීමට ශ්‍රී ලංකා පොලීසිය නිරන්තරයෙන්ම කැපවී ඇති බවද කිව යුතුමය.
පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ 0112444444 යන ක්ෂණික ඇමතුම් අංකය ඕනෑම අයුරකින් හිංසනයකට ලක්වෙන කාන්තාවන් වෙනුවෙන් පැය 24 පුරා විවෘතව පවතියි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ

මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>