TT Ads

නිවනට බාධා පමුණුවන දස මාර සංකල්පයන්් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සේක. මෙම දස මාර සංකල්පයට අයත් කාමය සහ අරතිය පිළිබඳව පසුගිය සතියේ විස්තර කළෙමු. අද අපි තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු.

සාපිපාසාව

රෝග අතර බරපතළම රෝගයක් වන්නේ කුසගින්නයි. ජිගජ්ජා පරමා රෝගා යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.
සාපිපාසාව යන්නෙහි සා යනු කුස ගින්න වේ. නමුත් පිපාසයද එක්තරා ආකාරයක කුසගින්නක් බව කිව යුතුය. කෙසේ වුවද කුසගින්න යම් ප‍්‍රමාණයකට ඉවසා සිටියත් පිපාසාව ඉවසීම අසීරුය. නිරෝධ සමාපත්තියට සම වදින බුදුවරයකුට මෙන්ම මහරහතන් වහන්සේ නමකට වුව ආහාරපාන නැතිව උපරිමයෙන් සිටිය හැක්කේ දින සතකි. ශරීරයට ආහාර පාන නැතිව පැවැත්මක් නැත. එබැවින් භාවනානුයෝගීව සිටින අයකුට මාර්ගඵල ලැබීමට ඔන්න මෙන්න පවතින අවස්ථාවක දැඩි
කුසගින්නක් හෝ තදබල පිපාසයක් දැනුණොත් එ් දක්වා එකඟ වී පැවැති සිත විසිර යාම සිදුවේ. එ් අනුව සා පිපාසාව නිවන් මග අහුරා දමන මාරයෙකි.

තණ්හාව

”තණ්හා ජනේති පුරිසං” යනු බුද්ධ දේශනාවයි. එහි අරුත ”භවයක් නිර්මාණය වන්නේ තණ්හාවෙනි” යන්න වේ. තණ්හාවෙහි ස්වභාවය නම් භවයක් හැදීම සඳහා මූලික වීමය.
තණ්හාව, ආශාව ලෙසින්ද හැඳින්විය හැකිය. නමුත් අප පසුගිය සතියේ විස්තර කළ කාමය සහ මෙම තණ්හාව අතර වෙනසක් පවතී. අපි එය තව ටිකක් සවිස්තරව දැන ගනිමු.
කාමය යනු පස්කම් විඳීමට තිබෙන කැමැත්තය. කාමය විඳීමට තිබෙන කැමැත්ත කාම තණ්හාය. මිනිසකු වුවත්, තිරිසනකු වුවත්, දෙවියකු වුවත් මේ පස්කම් සැපය තමන්ගේ පමණින් විඳියි. එනම් තමන් උපත ලබා තිබෙන භවයට අදාළව ඕනෑම සත්වයකු පස්කම් සැපය විඳින්නට ලොල් වනු ඇත. එසේ ඉන්ද්‍රියන් පින වීම හා නැවත නැවත එය වින්දනය කිරීම කාම තණ්හාවයි. තමන් සිටින මට්ටමින් තවත් ඉහළට ගොස් එය උපරිමයෙන් විඳීමට කැමැති වීම කාම තණ්හාවේ ස්වභාවය වේ.
”ඊළඟ ආත්මෙදීත් මට මේ වගේම නොවේ මීටත් වඩා සැප ලැබෙන්න ඕනෙ. මං මැරුණාට පස්සෙ දිව්‍ය ලෝකයෙ ඉපදිලා දිව්‍ය සැප විඳින්න ලැබෙන්න ඕනේ” යනුවෙන් තවත් සමහරු කල්පනා කරති. එය භවයට ඇති තණ්හාව හෙවත් භව තණ්හාවයි.
බ‍්‍රාහ්මණ ඉගැන්වීමක් වන කාමසුඛල්ලිකානු යෝගය තුළ අතීත භවයක් හෝ අනාගත භවයක් පිළිබඳ විශ්වාසයක් නැත. එ් අනුව නැවත ඉපදීමක් එහි නොමැත්තේය. එම ඉගැන්වීම තුළ දැක්වෙන්නේ ”සෘණං කත්වා ශ‍්‍රැතං පිඹෙත්” යනුවෙනි. එහි අරුත ”ණය වී හෝ ගිතෙල් කාපල්ලා” යන්න වේ. ඊළඟ භවයක් නොමැති බැවින් ජීවත්ව සිටින කාලය තුළ ණය වී හෝ කම් සැප විඳිය යුතුයි යන්න කාම සුඛල්ලිකානු යෝගය අනුගමනය කරන අයගේ විශ්වාසයයි. මෙසේ භවයක් නැතැයි යනුවෙන් විශ්වාස කර මේ භවයේ හැකිතාක් පසිඳුරන් පින වීමට යොමු වීම විභව තණ්හාය.
තණ්හාව යනු ආශාව වුවත් එය පංච ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාවක් නොවන්නටද පුළුවන. එය තව දුරටත් සරලව විස්තර කළහොත් කෙනෙකු තමන්ගේ ධනය දවසින් දවසම වැඩි වනු දැක මහත්සේ සතුටු විය හැකිය. මෙහිදී එ් තැනැත්තා ධනය, වියදම් කිරීමට කැමැත්තක් නොදක්වා නොකා නොබී එ් ධනය දවසින් දවසම එකතු වන ආකාරය දෙස බලමින් සතුටු වෙයි. ධනය තිබුණාට ඔහු විඳින සැපයක් නැත. ඔහු එ් ධනය දවසින් දවසම එකතු වෙමින් තමන්ගේ ගොඩ විශාල වන ආකාරය බලමින් මනසින් එය වින්දනය කරයි. එය තණ්හාව මිස කාමය නොවේ. කාම යනු පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්තය. ධනය, පංච ඉන්ද්‍රියයන්ගෙන් එකක් පමණි. දැන් ඔබට කාමය සහ තණ්හාව යන දෙකෙහි වෙනස අවබෝධ වී ඇතැයි සිතමු.
කාමය මෙන්ම තණ්හාවද සිතට නැගෙන විට භාවනා කිරීම කළ නොහැකිය. එනිසා එය නිවන් මග අහුරා දමන බාධකයක් හෙවත් නිවනට මාරයෙකි.

ථීනමිද්ධය

සිත සහ සිතිවිලි දුබල වූ විට අප අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. එය ථීනමිද්ධය හෙවත් අලස බවයි. මෙවැනි තත්ත්වයකදී ඊළඟට සිදු වන්නේ සිරුරෙහි අප‍්‍රාණික බවක් ඇති වීමය. එ් අප‍්‍රාණික බව මත නිදිමත දැනෙනු ඇත. මේ තත්ත්වය තවත් බලවත් වූ විට ධෛර්යය හීන වීම සිදුවේ. මෙහිදී තමන් පටන් ගත් වැඩ එහෙම පිටින්ම නතර වී යනු ඇත.
විදර්ශනාව වඩන අයකුගේ එම විදර්ශනා ථීනමිද්ධ නිසා දුබල වන විට එය පදනම් කරගෙන සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සම්‍යයක් ප‍්‍රධාන සතර සතිපට්ඨානය, සප්ත බොජ්ජංගය, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සියල්ල හීන වී යනු ඇත.
සමහර අය තුළ ථීනමිද්ධය සමාධි ස්වරූපයෙනුත් මතු විය හැකිය. එනම් භාවනානුයෝගීව සිටින විට නින්ද යාගෙන එන මට්ටමට පත්වීමය. එවිට යෝගියා සිතන්නේ එය තමන් සමාධි ගත වීමක් ලෙසය. මෙය ථීනමිද්ධය යැයි හඳුනා නොගතහොත් එ් තැනැත්තා සුව නින්දකට පත් වනු ඇත.
ථීනමිද්ධය දැනුණු විට භාවනා කිරීම අපහසුය. සිතේ සතුට නැත. සිතේ පසුබස්නා බවක් ඇතිවී ශරීරය එ් මේ අතට නැවෙන ගතිය, කයෙහි අප‍්‍රාණික බව වැනි ලක්ෂණ හට ගනු ඇත. එවිට යෝගියා සිතන්නේ තමන්ට කුසගිනි දැනී ඇති බවකි. ඉන්පසු සිත ගමන් කරන්නේ ආහාර වෙතය. එවිට සිත භාවනා අරමුණින් පිට පැන ඇත. දැන් නැවත සිත අරක් ගන්නේ කාමච්ඡුන්දයයි.
මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීමට නම් තමන්ගේ සිතිවිලිවල ස්වභාවය මුලින්ම හඳුනා ගත යුතුුය. ඉන්පසු ථීනමිද්ධය දුරු වීම සඳහා වීර්ය කළ යුතුවේ. වීර්ය කිරීම සඳහා උත්තේජනයක් ලැබීම පිණිස වීර්ය කීරීමේ අනුසස් මෙනෙහි කිරීම වැදගත්ය. එවිට සිත ශක්තිමත් වනු ඇත.
එසේම ථීනමිද්ධයක් ඇති වන විට තමන් සිටින ස්ථානය වෙනස් කිරීම එළිමහනේ වාතාශ‍්‍රය ඇති තැනකට පැමිණීම වැනි දේ කළ හැකිය. නිදිමත ඇතිවන විට මනසට පිවිසෙන්නේ අඳුරකි. එ් අපට නින්දට වැටීම පහසු වීම සඳහාය. එනිසා මනසට ආලෝකයක් ඇතිවන එනම් සතුට දනවන කරුණක් මෙනෙහි කිරීම, තමන් සිටින ඉරියව්ව වෙනස් කිරීම ආදිය කළ හැකිය.

කරන්දෙනියේ උණසේවෙල සිරි නිවේසාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>