TT Ads

ආදරය, ප්‍රේමය, සෙනෙහස, බැඳීම, රාගය ආදී වශයෙන් නිරන්තරයෙන් ගිහියන් වෙතින් අපට අසන්නට ලැබෙන මේ වදන් තුළ විවිධ වෙනස්කම් පැවැතිය හැකිය. කෙසේ වුවද මේ වදන්වල බොහෝ විට යම් සමානකමක් පැවැතියත් ධර්මානුකූලව බලන විට මේ සියල්ල කෙලෙස් මිශ්‍ර වදන්ය. කාමය සහ රාගයෙන් තොරව ක්‍රියාත්මක වන ආදරයක් හෝ සෙනෙහසක් ලොව නැත.

බුදුරජාණන් වහන්සේ සත්වයාට මෙලොව සුවය, පරලොව සුවය සහ ලෝකෝතර සුවය වන නිවන් සුව පිණිසවූ මාර්ගයන් පෙන්වා වදාළ සේක.
මෙලොව සහ පරලොව යන දෙකම සත්වයාගේ “පැවැත්ම” සඳහා උපකාරි වන්නකි. ලෝකෝත්තර සුවය වන නිවන “නැවතීම” සඳහා හේතු වෙයි. බුදුරජාණන් වහන්සේ සත්වයාගේ නැවැතීම සඳහා ධර්ම දේශනා කළ සේම අවශ්‍ය අවස්ථාවලදී පැවැත්ම සඳහා ද ධර්මය දේශනා කළ සේක. උන්වහන්සේ සත්වයාගේ අයහපත් පැවැත්ම අනුමත නොකළ අතර පැවැත්ම අතිශයින් වර්ණනා කළේද නැත.

ඉහත දක්වන ලද ආදරය, ප්‍රේමය, සෙනෙහස ආදී සියල්ල සත්වයාගේ මේ ලොව හෝ පරලොව පැවැත්ම තහවුරු කරන ඒවාය. ප්‍රේමය හෝ ආදරය උපදින්නේ කිසියම් කැමත්තක් පදනම් කර ගනිමිනි. ඒ කැමත්ත ඇති වන්නේ යම් පුද්ගලයකුගේ රූපය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, වචන ආදි ක්‍රියාකාරකම් වැනි දේවල් හේතු කොට ගෙනය. මෙම කැමැත්ත පුහුදුන් සිතක ස්වභාවයයි. නමුත් ඒ කැමැත්ත ඇති වූ දේ ලබා ගන්නට දරන උත්සාහය තුළ රාගය, ලෝභය ආශාව හෝ ආදරය ඇති විය හැකිය.

මෙකල බොහෝ තරුණ තරුණියන් තුළ ඔවුනොවුන් කෙරෙහි ආදරය, ප්‍රේමය වැනි දෑ ඇති වන්නේ ඔවුන්ගේ රුවට, හඬට ක්‍රියාකාරකම්වලට සේම මුදලට ඇති ලොල් බව නිසාය. ඒ අනුව එකිනෙකා තුළින් පංච ඉන්ද්‍රියන්ට ගොදුරුවන අරමුණු හේතු කරගෙනය. මේ කැමැත්ත තුළ රාගය, පවතියි. ප්‍රේමය යනු රාගයෙන් තොර වූවක් ලෙස සමහරුන් අර්ථ කථනය කරන්නට උත්සාහ දැරුවත් ධර්මානුකූලව ඊට එකඟ විය හැකි නොවේ. ලෞකික ලෝකයේ පැවැත්මට ප්‍රේමය බොහෝ උපකාරී විය හැකි බව සැබෑ මුත් පුද්ගලයාගේ සිත දූෂ්‍ය කිරීමටද එම ප්‍රේමයම හේතු වෙයි.

බුද්ධ දේශනාවට අනුව ප්‍රේමය නිසා හට ගන්නා චිත්ත ස්වභාවයන් හතරක් මෙසේය.
1. පේමා පේමං ජායති – ප්‍රේමය නිසා ප්‍රේමය හට ගනී
2. පේමා දෝසෝ ජායති – ප්‍රේමය නිසා ද්වේෂය හට ගනී
3. දෝසා පේමං ජායති – ද්වේෂය නිසා ප්‍රේමය හට ගනී
4. දෝසා දෝසං ජායතී – ද්වේෂය නිසා ද්වේෂය හට ගනී
අපි දැන් මේ කරුණු පැහැදිලි කර ගනිමු.
ඔබේ මහලු මවට අසල්වැසි හෝ ඥාති පවුලක තරුණියක් සලකන්නේ යැයි සිතන්න. ඔබ තරුණයෙකු නම් එම තරුණිය කෙරෙහි ප්‍රේමයක් ආදරයක් කැමැත්තක් හට ගන්නට පුළුවන. දැන් ප්‍රේමය නිසා ප්‍රේමය හට ගෙන ඇත.

නමුත් ඔබේ සිතේ ඇති වන ඒ ප්‍රේමයට තරුණිය කැමැත්තක් නොදැක්වූවහොත් ඔබේ සිතේ හට ගන්නේ තරහ හෙවත් ද්වේෂයයි. ඒ අනුව ප්‍රේමය නිසා ද්වේෂය හට ගෙන ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. එසේම තමන් ප්‍රිය කරන තරුණියට තවත් තරුණයකු ආදරය කරන බව ඔබට දැන ගන්නට ලැබුණොත් එතැන සිදු වන්නේ කුමක්ද? එතැන හට ගන්නේ එම තැනැත්තා කෙරෙහි ද්වේෂයකි. එහිදී ද ද්වේෂය හට ගත්තේ තමන් කැමති දෙයට වෙනත් කෙනෙකු සමීප වීම නිසාය.

යම් හෙයකින් එම තරුණියට ආදරය කරන තැනැත්තා කිසියම් කරදරයකට මුහුණ දී සිටින්නේ යැයි සිතන්න. එවිට ඔබේ සිතට සතුටක් ඇති වෙයි. ඒ අනුව ද්වේෂය නිසා ද්වේෂය හටගෙන ඇති අතර අර ආකාරයට කරදර කරන තැනැත්තා පිළිබඳව සතුටක් හට ගනී. මේ සියල්ල ඇති වූයේ තරුණිය කෙරෙහි ඔබේ සිතේ ඇති වී තිබූ කැමැත්ත මුල්කර ගෙනය. එසේම ඔබ අකමැති පුද්ගලයාගේ යහපත් ගතිගුණ ගැන තවත් කෙනෙක් වර්ණනා කරනු ඇසුවොත් ඒ ලෙස වර්ණනා කරන පුද්ගලයා ගැනත් ඔබ තුළ තරහක් ඇති වෙයි. මේ සියලු ද්වේෂයන්ට මුල් වූයේ කුමක්ද? ඔබ තුළ පෙර කී තරුණිය කෙරෙහි ඇති වූ කැමැත්තයි.

කැමැත්ත යනු ඇලීමය. අකමැත්ත යනු ගැටීමය. තවත් ආකාරයකින් පැවසුවහොත් කැමැත්ත යනු රාගයයි. අකමැත්ත යනු ද්වේෂයයි. රාගය සහ ද්වේෂය යන සිතිවිලි දෙකම අකුසල මුල දෙකකි. මේ අකුසල මූල දෙක පදනම් කර ගනිමින් මනුෂ්‍යයන්ගේ සිත් තුළ විවිධාකාර වූ කෙලෙස් ඇති වේ. ඒ අනුව ප්‍රේමයද රාගය හා ද්වේෂය නිසා ඇති වන මානසික තත්ත්වයන් බව බුදුරජාණන් වහන්සේ පේමදෝස සූත්‍රයෙහි දක්වා ඇත.
අප යම් දෙයක් කෙරෙහි බියක් ඇති කර ගන්නේ නම්, කනගාටුවක් ශෝකයක් ඇති කර ගන්නේ නම් එය සිදුවන්නේ අපේ සිතේ පවතින කෙලෙස් නිසාය. ප්‍රේමය සිතේ තිබෙන තුරාවට බය මෙන්ම ශෝකය, කනගාටුවද ඇති වේ. බුදුරජාණන් වහන්සේ “පේමතෝ ජායති සෝකෝ (ප්‍රේමය නිසා ශෝකය හට ගනී), පේමතෝ ජායති භයං (ප්‍රේමය නිසා බිය හට ගනී) යනුවෙන් පැහැදිලි කර ඇත්තේ එයයි. නිවන් මඟෙහි ගමන් කරන්නන් ප්‍රේමය සිතෙහි රඳවා නොගත යුතු සිතිවිල්ලකි.

කෙලෙස් සහිත සිතිවිල්ලක් වන ප්‍රේමයට වඩා කෙලෙස් රහිත, එනම් නිකෙලෙස් සිතිවිල්ලක් වන මෛත්‍රීය බුදු දහම අගය කරයි. කෙලෙස් සහිත සිත අපිරිසිදුය. මෛත්‍රිය සහිත සිත පිරිසිදුය. ඒ අනුව අප ළං කර ගත යුත්තේ ප්‍රේමය නොව මෛත්‍රියයි. ප්‍රේමය සමීප කර ගැනීම නිසා ඇති වන දුක ද්වේෂය වැනි දෑ මෛත්‍රිය නිසා උපදින්නේ නැත. මෛත්‍රීයෙන් සිදුවන්නේ ද්වේෂය ප්‍රහාණය වීමයි.
මෛත්‍රියෙන් කෙසේවත් රාග සිතිවිලි වර්ධනය නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “මෙත්තා භික්ඛවේ භාවේ තබ්බා දෝසස්ස පහානාය” යනුවෙනි. ද්වේෂය ප්‍රහානය කිරීමට මෛත්‍රීය දියුණු කරන්න යන්න එහි අරුතයි.

බුදු දහමෙහි ඇතැම් තැන්වල මෛත්‍රීය පිළිබඳව මෙසේ විස්තර කර තිබේ.
“එක් දරුවකු පමණක් සිටින මවක් ඒ දරුවාට දක්වන සැලකිල්ල තරමටම සියලු සත්වයන් වෙත මෛත්‍රී කරන්න”
එක දරුවකු පමණක් සිටින මවක් ඒ දරුවාට දක්වන්නේ අසීමිත වූ ආදරයකි. ස්නේහයකි. ඒ දරුවාට කරදරයක් වුවහොත් එය එම මවට දරා ගත නොහැකි වන්නේ එතරම්ම බැඳීමක් දරුවා කෙරෙහි පවතින නිසාය. මේ අනුව බලන විට මවක් සිය දරුවාට දක්වන්නේ අසීමිත වූ ආදරයකි. බැඳීමකි. මෙය මෛත්‍රීය නොවේ. මෛත්‍රීය යනු එලෙස බැඳීම තහවුරු කරන දෙයක් වන්නේ නැත. නමුත් මෙම උපමාවෙන් දක්වා ඇත්තේ එක් දරුවකු සිටින මවක් තම දරුවා රැක ගැනීමට දරන අසීමිත කැප කිරීම පිළිබඳවය.
එබඳු කැප කිරීමක් කොට මෛත්‍රී සිත රැක ගන්න.

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ අවධාරණය කරති

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>