TT Ads

පාසල් දිවියේ කෙළි කවටකම්, දඟකාරකම් එක්ක නිදහසේ ගෙවිලා යන යොවුන්විය සුන්දරයි වගේම අභියෝගාත්මකයි. ජීවිතයේ ඒ වයසටම අනන්‍ය වෙච්ච ක්‍රියාශීලීත්වය, නිර්මාණශීලීත්වය හා උද්‍යෝගයත් එක්ක පාසල් කටයුතු, යහළු මිත්‍ර සබඳකම්වලට අමතරව මේ කාලයේදී ශීඝ්‍රයෙන් කායිකව වගේම මානසිකවත් සිදුවන හදිසි වෙනස්වීම් නිසා යෞවන යෞවනියන් අසහනයට පත්වෙන්න තියෙන හැකියාව ඉතා වැඩියි. වෙන කවදාටත් වැඩියෙන් තමන්ගේ පෙනුම ගැන උනන්දුවන මේ කාලයේදී සිරුරේ සිදුවන ‍හෝර්මෝනමය වෙනස්කම් නිසා සමේ හටගන්නා ගැටලු‍කාරී තත්ත්ව යොවුන්වියේ සුන්දරත්වයට එල්ල කරන්නේ ලොකු බලපෑමක්. ඔබත් කුරුලෑ, තෙල් සහිත සම වගේ ගැටලු‍ නිසා කැඩපත දිහා බලමින් සුසුම් හෙළන යෞවනියක් නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.

තෙල් සහිත සම
යොවුන් වියට උරුම හෝර්මෝනමය වෙනස්කම් නිසා සම අධික තෙල් සහිත ස්වභාවයකට පත්වීම හුඟක් යෞවනියන් අසහනයට පත්කරන හේතුවක්. මේ නිසා සිරුරේ වෙනත් ස්ථාන විතරක් නෙවෙයි, මුහුණ වුණත් දිලිසෙන ස්වභාවයක් ගන්න ඉඩ තියෙනවා. සමේ තෙතමනය හා නීරෝගී පැවැත්ම වෙනුවෙන් සීබම් නිපදවීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුණත්, මේ කාලයේදී සීබම් ග්‍රන්ථිවල අධි ක්‍රියාකාරීත්වයක් සිදුවන නිසා සමේ තෙල් සහිත ස්වභාවයේ කැපී පෙනෙන වැඩිවීමක් සිදුවෙන්න පුළු‍වන්. මේකට ජානමය හේතු වගේම පාරිසරික සාධකත් බලපෑවට ඒවා බොහෝමයක් ඔබේ පාලනයෙන් පිටයි.

මොකක්ද විසඳුම ?
සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවාගෙන තෙල් සහිත ස්වභාවයට මූලික වුණු හේතු අනාවරණය කරගැනීම ඉතාම වැදගත්. සීබම් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස ඉහළ නම් ඇතැම්විට ලේසර් ප්‍රතිකාරයකට වුණත් වෛද්‍යවරයා ඔබව යොමුකරන්න ඉඩ තියෙනවා. මේ ප්‍රතිකාරය හඳුන්වන්නේ ඇරමිස් කියලයි. ඒ හැරුණාම මේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය කරගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ මුහුණ සෝදන වාර ගණන අඩුකිරිමෙන්. මොකද මුහුණු සෝදන වාරයක් පාසා සම වියළීමට ලක්වන නිසා සීබම් නිෂ්පාදනයට ඉන් උත්තේජනයක් ලැබෙන නිසයි.

කුරුලෑ
සීබම් නිෂ්පාදනය අධිකව සිදුවීමේ අතුරු ප්‍රතිඵලයක් තමයි කුරුලෑ කියන්නේ. සීබම් සමඟ මියගිය චර්මීය සෛල එකතුවෙලා සමේ වන සියුම් කූප අවහිරවීම පිටතට ප්‍රකාශවෙන්නේ කුරුලෑ විදිහටයි. මේ තත්ත්වය වඩාත් උත්සන්න වෙනවා නිතර ඒවා අතපත ගෑම නිසා ආසාදනයට ලක්වීමෙන්. මුහුණේ කම්මුල් මත, නළල, හකුදාර වගේ ස්ථානවල කුරුලෑ බහුලව හටගන්න ඉඩ තියෙනවා.

මොකක්ද විසඳුම ?
මේ වයසේ හුඟක් තරුණියෝ පුරුදුවෙලා ඉන්නේ කුරුලෑවලට තමන්ම ප්‍රතිකාර කරගන්නයි. එහෙමත් නැතිනම් වෙළෙඳපොළේ තියෙන නා නා ප්‍රකාර කුරුලෑ ආලේපන මිලදීගෙන ඒවා අත්හදා බලන්නයි. නමුත් මේ වගේ නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රතිඵල ඉතාම තාවකාලිකයි. හොඳම දේ තමයි තත්ත්වය නරක අතට හැරෙන්න කලින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන එක. ඔබේ සමේ හා කුරුලෑවල ස්වභාවය අනුව ඔබට හොඳම ප්‍රතිකාරය ලබාදෙන්න පුළුවන් වෛද්‍යවරයාට විතරමයි. ඇතැම්විට කුරුලෑ නිසා ඔබේ සම අධිකව කැළැල් ගැසී තිබෙනවා නම් ලේසර් හෝ කෙමිකල් පීලින් වගේ චිකිත්සාවකට වුණත් ඔබේ වෛද්‍යවරයා ඔබව යොමු කරාවි.

සමේ ඇතිවන දද හා ප්‍රදාහ
ජානමය හා පාරිසරික සාධක නිසා හටගන්නා චර්ම රෝග විශේෂයක්වන මෙවැනි දද හා කුෂ්ට මුහුණේ වගේම අත්, පා, වැලමිට හා දණහිස්වල වුණත් හටගන්න බැරි නැහැ. වියළි හා සංවේදී සම, සම රතුපැහැවී, කසන සුළු‍ හා පොතු ගැලවීයන ස්වභාවයෙන් යුතුවීම, ඇතැම්විට දියර වෑස්සෙන සුළුවීමත් මේ රෝග තත්ත්වයේ ලක්ෂණ විදිහට දක්වන්න පුළුවන්. කැසීම නිසා තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ තිබුණත් මෙය හුඟක් දෙනා හිතාගෙන ඉන්න විදිහට ස්පර්ශයෙන් බෝවෙන්නේ නම් නැහැ. නමුත් කැසීම නිසා තත්ත්වය සිරුර පුරාම පැතීරී යන්න ඉඩ තියෙනවා. වයසින් වැඩීමත් එක්ක මේ තත්ත්වය පහව යන්න ඉඩ තිබුණත් යොවුන් වියේදී මේ තත්ත්වය උත්සන්න වීම වළක්වාගන්න ඔබට පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.

මොකක්ද විසඳුම ?
සංවේදී සමට සුදුසු හොඳ ක්ලෙන්සර් වර්ගයකින් සම පිරිසිදුකොට, මොයිස්චරයිසර් වර්ගයක් තැවරීම දිනපතා කළ හැකියි. කැසීම වළක්වා ගන්න නම් නියපොතු කෙටිව තබාගැනීමත් වැදගත්. තත්ත්වය බරපතළ නම් ඇන්ටිහිස්ටැමීන් පෙත්තක් වෛද්‍ය උපදෙස් මත භාවිත කළාට වැරැද්දක් නැහැ.

අධිකව දහදිය දැමීම
ඇසිටයිල්කෝලින් කියන ස්වේද (දහදිය) නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අධිකව සිදුවීම නිසා යොවුන් වියේදි දහදිය දැමීම වෙනදාට වඩා වැඩියෙන් සිදුවෙනවා. ඇඳුම් නිතර දහදියෙන් පෙඟුණු ස්වභාවයක් ගැනීම, දෑත්, කිහිලි හා අල්ල මත පවා සිදුවන මෙවැනි දහදිය දැමීම් නිසා යොවුන්වියේ දරු දැරියන් විශාල වශයෙන් අසහනයට ලක්වෙන බව රහසක් නෙවෙයි. වයසට උරුම මේ කරදරකාරී තත්ත්වය පාලනය කරගන්න පොඩි පොඩි උපක්‍රමවලට පුළුවන්.

මොකක්ද විසඳුම ?
පළවෙනි දේ තමයි සුදුසු ඩියෝඩ්‍රන්ට් වර්ගයක් භාවිත කරන එක. මේ ඩියෝඩ්‍රන්ට් තෝරා ගැනීමේදී සුවඳවත් නොකළ, දහදිය දැමීම වළක්වන, මෘදු ස්වභාවයෙන් යුතු නිෂ්පාදනයක් තෝරාගන්න සැලකිලිමත් වෙන්න. මොකද අධික සුවඳින් යුතු නිෂ්පාදන භාවිතය නිසා ඔබේ දහදිය ගැටලු‍ව නොසිතූ විදිහට නරක අතට හැරෙන්න වුණත් බැරි නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබේ ඇඳුම් වුණත් පැල්ලම් ගැහෙන්න ඉඩ තියෙනවා. අනෙක් කාරණය තමයි හැමවිටම ඩියෝඩ්‍රන්ට් ආලේප කළ යුත්තේ හොඳින් සෝදා පිරිසිදු කරගත් සම මත පමණයි. දිනකට දෙවරක් ඇඟ සේදීමෙන් දහදිය ගැටලු‍ව හුඟක් දුරට පාලනය කරගන්නත්, සිරුරට පහසුවක් ලබාගන්නත් පුළුවන් වේවි. මේ මොනම ආකාරයකින්වත් ඔබට සහනයක් ලබාගන්න බැරි නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන එක නුවණට හුරුයි. එවැනි අවස්ථාවල ස්වේද ග්‍රන්ථි ඉවත්කිරීමේ සැත්කම් වුණත් නිර්දේශ කෙරෙන්න ඉඩ තියෙනවා.

රුක්ලන්ති පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>