TT Ads

කැලණි විහාරය පිළිබඳව නුවර යුගයේ සාහිත්‍යයට අයත් ලෝකුරුනයිදේ නම් කවියා “කැලණි හෑල්ල” නමැති කාව්‍යයෙන් කැලණිය විහාරයට උපහාරයක් ලෙස මෙම පහත කවි පන්තිය රචනා කොට ඇත.

“පසන් ගෞතම මුනිඳු බුදුවී සාසනේ ලොව පැවතියේ
එසම්පත් ඇති අයද යනවා මරුවා සමගින් උරුදියේ
පසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ සැමදියේ
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්fදාත් කැලණියේ”

මෙම කවිය කැලණිය විහාරයටම ආවේණික වූවක් ලෙස බෞද්ධයන් අතර ඉමහත් ප්‍රකටය. බුදු රජාණන් වහන්සේ බුදුවී අටවෙනි වර්ෂයෙහි කැලණියේ නාගවංශික රජ පාලකයකු වූ මණිඅක්ඛිත රජතුමාගේ ආරාධනය පරිදි වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරා කැලණි පුරවරයට වැඩිය බවත්, එහිදී කැලණි ගඟෙන් දිය නා, රජුගේ මාලිගයෙහි දානය වළඳා, අවසන ධර්ම දේශනාවක් පැවැත්වූ බවත් මහා වංශයේ සඳහන් වේ. මණිඅක්ඛිත රජතුමාගේ ආරාධනය පරිදි බුදුන් වහන්සේ කැලණි පුදබිමට වැඩම කිරීමත් සමග කැලණිය ඓතිහාසික පූජනීය ස්ථානයක් බවට පත්විය.

එසේ නොවන්නට අදත් කැලණිය සාමාන්‍ය විහාරස්ථානයක් වනු ඇත. එබැවින් අදටත් මණිඅක්ඛිත නාරජු සිහිපත් කරමින් කැලණි පුදබිමේ එතුමන්ගේ පිළිරුවක් සාදා සෑම මාසයකට වරක් පුද පූජා පවත්වති. වර්තමානයේ මණිඅක්ඛිත දිව්‍ය රාජයකු ලෙස කැලණි පුදබිම ආරක්‍ෂා කරන බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක්ද පවතී.

මණිඅක්ඛිත රජතුමාගෙන් ඇරඹුණ කැලණිය රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව 207 දී උත්තිය කුමාරයා කැලණියට නව ප්‍රබෝධයක් එක් කළේය. අනතුරුව 1888 දී හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් කැලණි පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු යළිත් ආරම්භ කරණු ලැබීය.

කැලණිය රාජමහා විහාරස්ථානයෙහි එවකට වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 1927 දී නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා පූර්ණ දායකත්වය දැරූ හෙලේනා විජයවර්ධන ළමා තැනිය හා එතුමියගේ බාල පුත් වෝල්ටර් විජයවර්ධන මැතිඳුන්ගේ සංවිධායකත්වය යටතේ ඓතිහාසික කැලණි පෙරහර ආරම්භ කරණු ලැබීය. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් උන්වහන්සේට සිදුකරන බුද්ධ පූජාවක් ලෙස මෙම පෙරහර ආරම්භ කිරීම එදා සිදුවිය.

ඒ අනුව එදා සිට මේ දක්වා දුරුතු පුර පසළොස්වක පොහෝ දින මෙම මහා පෙරහර මංගල්‍යය වාර්ෂිකව සිදු කෙරෙති. මෙවර පැවැත්වෙන්නේ 91 වැනි කල්‍යාණි රජමහා පෙරහරයි.
නව වර්ෂයක් ආරම්භයත් සමග පැවැත්වෙන ඓතිහාසික පෙරහර නරඹා ප්‍රසාදය ඇති කර ගැනීමට මෙන්ම ශ්‍රද්ධාව භක්තිය පෝෂණය කර ගැනීමටද හුදී ජනයාට අවස්ථාව සැලසෙයි. පෙරහර සතුව ඇති සංස්කෘතික වටිනාකමකින් යුක්ත පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන නෘත්‍යාංග ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික සංස්කෘතියක් පිළිබඳව ලෝකයාට කරුණු දක්වයි. කලාකරුවන්ට අතහිත දීමත් මෙම පෙරහරින් සිදුවෙයි.
පෙරහර ආරම්භ කළ එවකට විහාරාධිතිව අපවත් වී වදාළ මාපිටිගම, ධම්මරක්ඛිත නාහිමි, අනතුරුව විහාරාධිපති කම් දරූ මාපිටිගම බුද්ධ රක්ඛිත, නාහිමියන්ද පෙරහර මංගල්‍යය මැනවින් ඉටුකළ යතිවරු වූහ. අපවත් වී වදාළ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්ම රක්ඛිත විහාරාධිපති වහන්සේ ද මෙම පෙරහර මංගලයය සාර්ථකව සිදුකළ අතර එවකට විහාරස්ථානයේ වැඩසිටි වත්තල සීලරතන හිමියන්ද මෙහිදී සිහිපත් කළ යුතුමය.

ඒ ඒ කාලවලදී බස්නායක නිලමේවරුන්වන වෝල්ටර් විජයවර්ධන, ඩී.සී. විජයවර්ධන, උපාලි විජයවර්ධන, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ශාලික විජේසුන්දර මැතිතුමන්ලාද තම කාර්ය භාරය මැනවින් ඉටුකිරීම නිසා පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස මේ තාක් කාලයක් පවත්වාගෙන ඒමට හැකි විය.
වර්තමානයේ ප්‍රධාන බස්නායක නිලමේ වන ධම්මික ආටිගල, මැතිඳුන්ද එම කාර්ය භාරය ඉටුකරන අතර අනෙකුත් බස්නායක නිලමේවරුන්වන, ජයරාජ් චන්ද්‍රසේකර, ලලිත් හපන්ගම, ඒ.ආර්.පෙරේරා, මැතිඳුන්ලාද වර්තමාන දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ප්‍රධාන දායක සභාවේ සියලු දෙනාද මෙම පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස පැවැත්වීමට විශාල කාර්යභාරයක් ඉටුකරති. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයේ සහයෝගයද පෞද්ගලික අංශයේ අනුග්‍රහයද මෙවර වෙනදාට වඩා ලැබී තිබීම පෙරහරේ සාර්ථකත්වයට හේතු වී තිබේ.
ඓතිහාසික කැලණි පෙරහර ආරම්භ කාලයේදී (1927 වසර) ධාතු පෙරහර ලෙස එය හැඳින්වුණු අතර පසුව මෙම පෙරහරට විභීෂණ දේවාල පෙරහර එකතු වී ඇත. අනතුරුව විෂ්ණු දේවාල පෙරහර හා කතරගම දේවාල පෙරහරද එකතු වීමෙන් කැලණි පෙරහර විශාල වී තිබේ.

ධාතු පෙරහරේ මංගල හස්ති රාජයා මත තැනූ විශේෂ මණ්ඩපය තුළ සධාතුක කරඬුව තැන්පත් කර අදටත් වැඩම කරණු ලබයි. පෙරහර නරඹන සැමදෙනාටම ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගෙන තම සිත්තුළ ශ්‍රද්ධාව, භක්තිය වැඩි දියුණු කර ගැනීමටද එයින් අවස්ථාව සැලසෙයි.
අපේ රටේ පෙරහර රාශියක් තිබෙන නමුත් ලංකාවේ පෙරහර ආකෘතිය ආරක්‍ෂා කරන පෙරහරක් හැටියට මෙකී ඓතිහාසික කැලණි පෙරහර හැඳින්විය හැකිය. දේවාල පෙරහර වල රන්සිවිගෙයි රත්තරන් කරඬුවද, වේලායුධ, දේවාභරණ වැඩම කිරීමද සිදුවෙයි.

ලංකාවේ පැවැත්වෙන සෑම පෙරහරකම නර්තන අංගයන්ට කාන්තාවන් දායක කරගෙන තිබුණද කැලණි පෙරහරට කාන්තා නැටුම ඇතුළත්කර නොගැනීමද විශේෂයක් ලෙස හැඳින්විය හැක. ආරම්භක පෙරහරේ සිටම මේ දක්වාම පෙරහරේ ගමන් කරනුයේ කාන්තාවන් තිදෙනෙකු පමණි. ඔවුන් පෙරහර අවසානයේ දෝලාව දෙපසින් ගමන් කරන කාන්තාවන්ය. වර්තමාන කැලණිය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වර්ෂයේද දුරුතු මහා පූජෝත්සවය ඉතා අලංකාර ලෙස පැවැත්වීමට විහාරස්ථ දායක සභාව පසුගියදා තීරණය කළේය.

ඒ අනුව 2019 ඔක්තෝබර් 21 දින සිට 2020 ජනවාරි 02 දින දක්වා දිනපතා රාත්‍රී 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීය. ජනවාරි 03 දින සිට ජනවාරි 06 දින දක්වා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්විණ. ජනවාරි 06 දින සවස 3.00ට දේවදූතයා රැගත් දේවදූත පෙරහර ගමන්ගත් අතර එම පෙරහර කැලණි පුදබිමෙන් ආරම්භ වී බියගම පාර, ගෝනම්පල පාර, වරාගොඩ පාර, වරාගොඩ, ගල්බොරැල්ල, සිංහාරමුල්ල හරහා කැලණි විහාරයට ළඟා වීම සිදුවිය.

අනතුරුව එදින (06) රාත්‍රී දේවදූතයා විසින් දොරකඩ අස්නය පවත්වනු ලැබීය.
රාගම සිරිවර්ධන මාවත පදිංචි වසන්ත බුලත්සිංහල මහතාගේ සහ තුෂාරි බුලත්සිංහල මහත්මියගේ පුත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන වෙනුක සන්සිදු බුලත්සිංහල කුල කුමරුවා දේවදූතයා ලෙස මෙම ඓතිහාසික පෙරහර මංගල්‍යයට සහභාගි වූහ.

ජනවාරි 07 දින රාත්‍රී 8.30ට උඩමලුවේ පෙරහර ආරම්භ විය. එදින (07) දින රාත්‍රී 8.00ට විහාරාධිපති නාහිමියන් විසින් පැරණි චාරිත්‍රානුකූල පවත්වන පුද පූජා සධාතුක කරඬුව වෙත පැවැත්වීමෙන් අනතුරුව සධාතුක කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට භාරදෙනු ලැබීය. අනතුරුව එතුමා විසින් අනෙකුත් බස්නායක නිලමේවරුන් තිදෙනා සමග එක්ව සධාතුක කරඬුව කෙරෙහි බැතිමතුන්ගේ ශ්‍රද්ධාව භක්තිය ඇතිවන පරිදි පෙරහරේ වැඩම කරවීම සිදුකළහ. එදින (07)උඩමළුවේ පෙරහර බුදු පෙරහරට පමණක් සීමා වූ අතර පෙරහර තුන්බෝධිය වටා තෙවරක් ගමන් කිරීමෙන් පසු ගෙවැදීම සිදු විය.

දෙවැනි වීථි පෙරහර ජනවාරි 08 දින රාත්‍රී 8.30ට ආරම්භ කිරීම සිදු වූ අතර එදින (08) රාත්‍රිය 8.00ට යෙදෙන සුබ මොහොතින් සධාතුක කරඬුව වෙත පෙර දිනයේ පරිදි පුද පූජා පවත්වා විහාරාධිපති හිමියන් විසින් සධාතුක කරඬුව ප්‍රධාන බස්නායක නිලමේතුමන්ට භාරදෙනු ලැබීය. නිලමේ තුමන් විසින් සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කෙරිණි. එම පෙරහර පහළ වීථියේ ගමන් කිරීමෙන් අනතුරුව ගෙවැදීම සිදුවිය.

අවසන් කැලණි මහා පෙරහර 09 දින රාත්‍රී 8.30ට ආරම්භ කිරීමට නියමිතය. එදින (09) රාත්‍රී 8.05ට යෙදෙන සුබ මොහොතින් පෙර පරිදි චාරිත්‍ර පැවැත්වීම් සිදුකෙරේ. එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක්ද සහභාගි වීමට නියමිතය. ජනාධිපතිතුමන් විසින් කරඬුව වෙත පුදපූජා පැවැත්වීමද මෙහිදී සිදුකිරීමට නියමිතය.
අනතුරුව විහාරාධිපති නාහිමියන් විසින් සධාතුක කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට භාරදීම සිදුකරණු ඇත. පසුව සධාතුක කරඬුව කැලණි රජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල හස්ති රාජයා මත තැනූ විශේෂ මණ්ඩපයේ තැන්පත් කිරීම සිදුකිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුරතින් සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම සිදුකෙරේ.

ඉන්පසු මංගල හස්ති රාජයා දෑලේ ඇතුන් සමග පෙරහරේ ගමන් කිරීමට නියමිතය.
මෙවර දුරුතු මහා පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු ඇතුළු නැටුම් කණ්ඩායම් 35ක් පමණද බෞද්ධ කොඩි, පළාත් කොඩි ආදියද අලි ඇතුන් 35ක් පමණද පෙරහරේ ගමන් කිරීමට නියමිතය.

මෙම මහා පෙරහර කැලණි පූජා නගරය වටා වීථි සංචාරය කර පසුදා (10) අලුයම 2.00 පමණ වන විට ගෙවැදීම සිදුවේ. මහා පෙරහර අවසන් වීමත් සමග කැලණි දුරුතු මහා පූජෝත්සව මංගල්‍යය නිමාවට පත් වෙන අතර, වෙනත් පෙරහරවල්වල වගේ දිය කැපීම් වැනි දෙවියන් උදෙසා පැවැත්වෙන පුද පූජා මෙම පෙරහර අවසානයේදී සිදු නොකෙරේ.

කැලණිය-ලාල් එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>