TT Ads

උත්සව අවස්ථාවලදී නැතිවම බැරි අංගයක් වන අච්චාරු ඉතා රසවත් කෑමකි. ප්‍රධාන වශයෙන් සිංහල අච්චාරු හා මැලේ අච්චාරු විවිධ අවස්ථාවලදී අපේ කෑම වේලට එක්වන අතර අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ රසයෙන් සේම ගුණයෙන්ද අනූන වූ කෙසෙල් මුව අච්චාරුවක් සාදා ගන්නා ආකාරයයි.

 

අවශ්‍ය දේවල්

 

  • කෙසෙල් මුව 2ක්
  • පොඩි හාල්මැස්සන් ග්‍රෑම් 100
  • අබ ක්‍රීම් මේස හැඳි 2
  • විනාකිරි කෝප්ප 1/2
  • ඉඟුරු, සුදු ලූනු කුරුඳු බ්ලෙන්ඩර් කර මේස හැඳි 3
  • ලුණු අවශ්‍ය තරමට
  • කෑලි මිරිස් මේස හැඳි 4ක්
  • රම්පේ කරපිංචා
  • එනසාල්, කරබු නැටි මේස හැඳි 01
  • පොල් තෙල් බෝතල් 1/2
  • බී ලූනු ග්‍රෑම් 100

 

සාදන ආකාරය

 

මුලින්ම කෙසෙල් මුව වැසී ඇති රතු පැහැති මතුපිට කොටස් ඉවත් කර දැන් හීනියට කපා ගන්න. භාජනයක් ගෙන එයට ලුණු, දෙහි ගෙඩියක ඉස්ම හා වතුර දමා කපා ගත් කෙසෙල් මුව දමා හොඳින් සෝදා වතුර බ්රෙන්නට තබන්න.

පොල් තෙල් තාච්චියකට දමා රත් වූ පසු වතුර බේරා ගත් කෙසෙල් මුව රන්වන් පාට වනතුරු බැද පසෙකින් තබා ගන්න.

මීළඟට හොඳින් සෝදා පිරිසිදු කරගත් හාල් මැස්සන්ද වතුර බේරෙන්නට තබා රන්වන් පාට වනතුරු බැද ගන්න.

බී ලූනුද හීනියට කපා රන්වන් පාට වනතුරු බැද පසෙකින් තබා ගන්න. කරපිංචාද හීනියට කපා තෙලේ බැද ගන්න.

මීළඟට තරමක් ලොකු මැටි හට්ටියක් ළිප මත තබා මඳ ගින්දරේ රත්වන විට තෙල් මේස හැඳි දෙකක් දමා එයට බ්ලෙන්ඩර් කරගත් ඉඟුරු සුදු ලූනු කුරුඳු මේස හැඳි දෙක එක් කරන්න. අබ ක්‍රීම්ද මේස හැඳි දෙකක් දමා හොඳින් කළවම් කර ගන්න. විනාකිරි කෝප්ප භාගය හට්ටියට දමා විනාඩි තුනක් පමණ රත්වන්නට හැර බැද ගත් කෙසෙල් මුව එක් කරන්න. එයටම කෑලි මිරිස් මේස හැඳි හතරක් පමණ එකතු කර හොඳින් කළවම් කර ගන්න. මී ළඟට බැදගත් හාල් මැස්සන්, බී ලූනු, රම්පේ, කරපිංචා, එනසාල් කරාබුනැටි, ලුණු මේස හැඳි දෙකක් පමණ දමා කළවම් කර ගන්න.

කටට සැර ගතියක් දැනෙන්නට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු මේස හැන්දක් එක් කරන්න. ඉන් පසු මඳ ගින්දරේ විනාඩි 3-4 අතර කාලයක් තබා ළිපෙන් බා ගන්න.

මෙම කෙසෙල් මුව අච්චාරුව සති දෙකක පමණ කාලයක් නරක් නොවී තබා ගැනීමට හැකි අතර මැටි වළඳෙන් ඉවත් නොකිරීම අත්‍යවශ්‍යවේ. භාවිතයෙන් පසු හොඳින් වසා තැබීමෙන් නිරුපද්‍රිතව තබාගත හැකි කාලය වැඩිවේ.

 

නුවර තැන්නේකුඹුර, කැන්ඩි රිවර්ස් එජ් හි ප්‍රධාන සූපවේදී
බුද්ධික ජගත් කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>