TT Ads

ඕනෑම කෙනෙක් තමන් ඉන්න කැමතිම ඉරියව්ව මොකක්ද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ වැතිරී සිටීම හෙවත් නිදා ගැනීම කියලයි. ඒ වගේම දෛනික ජීවිතය ක්‍රියාශීලීව පවත්වාගෙන යෑමටත් දවසේ සැලකිය යුතු කාලයක් නිදා සිටීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය නිර්දේෂයයි. නමුත් නිදා ගැනීම වුව නිවැරදි ඉරියවක පිහිටා සිදු නොකළහොත් කොන්දේ ආබාධ හට ගැනීමට එයද හේතුවක් විය හැකියි.

සුවදායි නින්දක් ගැන කියන විට අපේ මතකයට එන්නේ සැප මෙට්ටයක් පිළිබඳවයි. නමුත් සුවදායි නින්දක් ලැබීමට මෙන්ම නින්දේදී ඇති විය හැකි ආබාධිත තත්ත්වයන් අවම කර ගැනීමට මෙට්ටය එක් සාධකයක් පමණක් බවත් මතක තබා ගත යුතුයි.

ප්‍රමාණවත් නින්දක් නොලැබී යෑම නිදි වැරීම හා සමානය. දිනපතාම මේ ආකාරයට ප්‍රමාණවත් නොවන අක්‍රමවත් නින්දක් ලැබීම තුළින් මානසික අසහනකාරී තත්ත්වයක් ඇති වීමටද හේතු වෙනවා. කෙසේ හෝ කෙනෙකුට සුවදායි නින්දක් නොලැබීමට නිදා ගන්නා ඉරියව්ව, මෙට්ටය හා කොට්ටය ප්‍රධාන වශයෙන් බලපෑ හැකියි. එසේම යම් යම් වෙනත් රෝගී තත්ත්වයන්ද නින්ද නොයෑමට බලපෑ හැකි අතර මෙම ලිපිය මගින් අප අවධානය යොමුකරන්නේ ඉහත සඳහන් මෙවලම් මගින් කොන්දට සිදුවන බලපෑම පිළිබඳවයි.

වැරදි ඉරියව්වක නිදා ගැනීම තුළින් ප්‍රධාන වශයෙන් කොන්දේ ආබාධ හට ගත හැකියි. එක් රැයකින් මෙම තත්ත්වය ඇති නොවුණත් කාලයක් තිස්සේ කොන්දේ කැක්කුම අඩු හෝ වැඩි නොවී පැවැතීම, නිදා ගෙන නැඟිටින විට වේදනාව තරමක් උත්සන්නව දැනීම තුළින් හඳුනාගැනීමට පුළුවන්. එසේම කොන්දේ කැක්කුම කෙනෙකුට උදේ කාලයේදී වැඩි බව දැනේනම් එයටත් නිදා ගන්නා ඉරියව්වේ හෝ නිදා ගැනීමට භාවිත කරන මෙවලම් වල ප්‍රශ්නයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව පෙනී ගොස් තිබෙනවා.

ඇතැම් අය නිදා ගැනීම සඳහා කොට්ට දෙකක් භාවිත කිරීමට හුරු වී සිටිනවා. නමුත් දීර්ඝ කාලීනව මේ ආකාරයට කොට්ට දෙකක් මත නිදා ගැනීම තුළින් ගෙල ආශ්‍රිත ප්‍රදේශ පහසුවෙන් ආබාධවලට ලක්විය හැකියි. එසේම ඇතැම් අයට මෙහි අනෙක් පැත්ත එනම් නිදා ගැනීමේදී ඉතා තුනී කොට්ටයක් භාවිත කිරීමට හුරු වී සිටීනම් එමගින්ද ගෙල ආශ්‍රිත ප්‍රදේශය දීර්ඝ කාලීනව වැරදි ඉරියව්වක පිහිටීම නිසා ආබාධ හට ගැනීමේ අවදානමක් පවතිනවා. සුවදායි නින්දකට හා ආබාධවලින් තොර නින්දකට කොට්ටයේ උස අඟල් 4ක් පමණ ප්‍රමාණවත් බව පිළිගත් අගය ලෙස සැලකෙනවා. කෙනෙකුට ගෙල ආශ්‍රිත ආබාධයක් පවතීනම් කොට්ටය මැදින් රෙදි පටියකින් තදින් ගැටගසා සමනළයෙක් ආකාරයට සකස් කර ගෙලට තබා නිදා ගැනීම තුළ ගෙල ආශ්‍රිත ආබාධ අවම කර ගත හැකියි.

සුවදායි නින්දක් ලැබීමට මෙට්ටයෙන් ඉටුවන්නේ සුවිශේෂි කාර්යයක්, නමුත් අධික මිලෙන් යුක්ත මෘදු ෆෝම් මෙට්ට මිලදී ගත යුතුයැයි මෙයින් අදහස් කෙරෙන්නේ නෑ. විශේෂයෙන් අධික මෘදු මෙට්ට භාවිත කිරීමෙන් ඉතා පහසුවෙන් කොන්දේ ආබාධ හට ගත හැකියි. වෙළෙඳ ප්‍රචාරයන්ට රැවටී ප්‍රමිතියෙන් තොර මෙට්ට මිලදී ගැනීම මුදල් ගෙවා ආබාධ මිලදීගැනීමක් හා සමානයි. එයට හේතුව නිදා ගැනීමේදී සිරුර මෙට්ටය තුළට කිඳා බැසීමෙන් දීර්ඝ කාලයක් කොඳු ඇටපෙළ වක්‍රව පැවතීම තුළින් කොන්දේ ආබාධ ඇති වීමට මඟ පෑදීමය. මේ නිසා ඕනෑම අයෙකුට නිදා ගැනීට සුදුසුම මෙට්ටය අඟල් හතරක් පමණ උස මෘදු රබර් මිශ්‍ර මෙට්ටය බව හඳුන්වා දිය හැකියි.

මීට අමතරව සුළු කොන්දේ ආබාධවලදී පවා ඇතැම් අය වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව බිම නිදා ගැනීම, ලෑලි උඩ නිදා ගැනීම වැනි සිරුරට දැඩි අපහසුවක් ගෙන දෙන ක්‍රියා මාර්ගවලට යොමු වෙනවා. නමුත් නවීන වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව කොන්දේ ආබාධවලදී සිරුරට දුක්දීම කෙසේවත් සුදුසු වන්නේ නැහැ. ඒ සඳහා ආබාධය හටගත් හේතුව සොයා ඊට පිළියම් යෙදිය යුතුයි. වෛද්‍ය උපදේශයන් මත බිම නිදාගත යුතුනම් අඟල් දෙකක් පමණ උස ස්පොන්ජ කබැල්ලක් භාවිත කළ හැකියි.

යමක් කියවන විටදී මෙන්ම රෝගී අවස්ථාවල උපස්ථාන කිරීමේ පහසුව සඳහා කොන්ද පිටුපසට කොට්ට කිහිපයක් තබා සැහැල්ලු ඉරියව්වක තැබීමට වැඩි දෙනෙක් පෙළඹෙනවා. දිගු වේලාවක් මෙවැනි ඉරියව්වක සිටින විට කොඳු ඇට පෙළ අනවශ්‍ය පරිදි පීඩනයට පත්වීම නිසා කොන්දේ ආබාධ හට ගැනීමේ අවදානමක් පවතිනවා. මේ නිසා එවැනි පහසු ඉරියව්වක සිටීමට අවශ්‍ය නම් ආනතියක් සිටින සේ ලෑල්ලක් වැනි දෙයක් තබා පැත්තක් ඔසවා ඒ මත කොට්ටය තබා වැතිරීමට සැලස්විය හැකියි. නමුත් රෝගියෙකුට කෑම බීම දීම වැනි කටයුතු මෙම ඉරියව්වේ හිඳ නොකළ යුතු අතර එවැනි අවස්ථාවක බෙල්ල කෙළින් සිටින සේ සිරුර සකස් කිරීම අත්‍යවශ්‍යයි.


රූප සටහනේ දැක්වෙන්නේ අප නිදා ගත යුතු නිවැරදිම ඉරියව්වයි. එහිදී ඇඳක මතුපිට තිරස්, සමතලා මෘදු නොවන තලයක් ලෙස භාවිත කොට තිබෙනවා. එහිදී ඉරියව්ව සුවදායී හා ලිහිල්ව තිබීම ඉතා වැදගත්. මෙහිදී රූමෑටොයිඞ්, ආතරයිටීස් තත්ත්වයක් නොමැති නම් දණහිසට යටින් කොට්ටයක් තබා ගැනීම සිරුර තවදුරටත් ලිහිල් කිරීමට උපකාරී වෙනවා. ඒ තුළින් නින්දේ සුවදායි බව තවත් වැඩි කර ගත හැකියි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
භෞත චිකිත්සක
උදය ජී. චන්ද්‍රසේන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>