TT Ads

අපගේ සෞඛ්‍ය සම්පන්න බව තීරණය කිරීමේදී, “ආහාර” එහි ප්‍රධානතම සාධකයක් වන බව කිවයුතු නැත. කිසියම් ආහාර ද්‍රව්‍යයක් අප වෙත ලැබෙන අතරතුර ඒවා නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී ඒවායේ ගුණ මිනිසාට හිතකර ලෙස පවත්වා ගැනීම සහ ආරක්‍ෂා කර ගැනීම ආහාරයක සුරක්‍ෂිත බව රැකගැනීම ලෙස හඳුන්වනු ලබයි. මෙහි ගැබ්ව තිබෙන අතිශය වැදගත්කම නිසා සෑම වසරකම ජුනි මස 7 වැනිදා “ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය” ලෙස නම් කර ඇත. මෙවරද ආහාර සුරක්‍ෂිතතාවය ගැන කතා කළේ, අද ලෝකයටම බලපා තිබෙන කොවිඩ්19 රෝගී තත්ත්වය හේතුකරගෙන ආහාර සුරක්‍ෂිතතාවයට බලපෑම් සිදුවන ආකාරය සාකච්ඡා කිරීමටය. එසේම මේ වනවිට ලෝකය පුරාම වාගේ ආහාරවලට එකතුවන, එකතු කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මතුවී තිබෙන ගැටලුද සාකච්ඡා කළ යුතුම වූවකි. නමුත් අද මේ මතුවී තිබෙන කොවිඩ් 19 රෝගී තත්ත්වය හරහා, ආහාරවල පිරිසිදු බව රැකගන්නා ආකාරය . මෙවර තේමාව වී ඇති සෞඛ්‍ය සම්පන්න වෙළෙඳපොළ ප්‍රමුඛ කරගත් කතිකාවේදී ඉතා වැදගත්වේ.

ආහාර වර්ග අනුභවය හරහා කොවිඩ් බෝවන්නේ නැති බව සැබෑය. නමුත් ආහාර වර්ග ප්‍රවාහනයේදී ගබඩා කිරීමේදී, විකිණීමේදී, පරිහරණයේදී කොවිඞ් පැතිරීම සිදුවිය හැකි බැවින් ඒ ගැන සමාජය දැනුවත්ව සිටීම අතිශයින්ම වැදගත්ය.

ඔබ ආහාර මිලදී ගන්නට ගොඩවෙන වෙළෙඳසැල ගැන මුලින්ම විමසිලිමත්වන්න. එහි ඇතුළු වීමේදී දෑත්වල විෂබීජ හරණය කර ගැනීම සඳහා පහසුකම් සලසා තිබේදැයි විපරම් කර බලන්න. මීටරයක පරතරයක් තබාගෙන ඔබට අවශ්‍යදේ තෝරා ගැනීමට මිලදී ගැනීමට ඔබට පහසුකම් තිබෙන තැනක් දැයි විපරම් කර බලන්න. ඔබට එම පහසුකම් නොමැති නම් ඒ ගැන වෙළෙඳසැල් හිමියා දැනුවත් කිරීමේ අයිතියද ඔබ සතුබව අමතක නොකරන්න. එසේම වැඩි අපහසුවකින් තොරව ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම පහසුවන ආකාරයට වෙන වෙනම අසුරා තිබෙන තැනක් තෝරා ගැනීමෙන් ඔබට එහි වැඩි කාලයක් ගත නොකොට අවශ්‍ය දෑ රැගෙන යාමට පහසු වනු ඇත. එසේම වෙළෙඳසැල තුළට ඇතුළු කිරීමේ සිට භාණ්ඩ රැගෙන ඉන් පිටවනතුරුම මීටරයේ පරතරය සේම සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන සියලු උපදෙස් අනුගමනය කිරීමට අදාළ වෙළෙඳ සැල් හිමියා පාරිභෝගිකයන් යොමු කරන්නේ දැයි විමසිලිමත් වන්න. එසේ නොමැති විට ඒ ගැන පැමිණිළි කිරීමේ අයිතියද ඔබ සතුවෙයි. එසේම පාරිභෝගිකයෙකු ලෙස ඔබටද ඒවා තුළ හැසිරීමේදී විශාල වගකීමක් තිබෙන බවද අමතක නොකළ යුතුය.

 වෙළෙඳසැලකට ඇතුළුවීමට පෙර දෑත් පිරිසිදු කරගන්න.
 හැම විටම මීටරයේ පරතරය තබා ගන්න.
 ඔබ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය හැර සෙසු ඒවා අතපත ගෑමෙන් වළකින්න
 වෙළෙඳසැල තුළ වැඩි කාලයක් ගත නොකොට හැකි ඉක්මනින් අවශ්‍ය කාර්ය කරගෙන ඉන් පිටව යන්න.
 ඔබට මොන තරම් නම් හදිසි වුවද අධික ලෙස සෙනඟ පිරී තිබෙන වෙළෙඳ සැලකට ඇතුළු නොවන්න.
 වෙළෙඳ සැල අවට කෙළ ගැසීමෙන් වළකින්න.
 සෙනඟ ගැවසෙන වෙළෙඳසැල් තුළ ආහාර ගැනීමෙන්, ජංගම දුරකථනය භාවිත කිරීමෙන් හැකි තරම් වළකින්න.

ආහාර හරහා කොරෝනා බෝවන්නේ නැති නමුත් ආහාර ද්‍රව්‍යයක් මත විෂබීජය තැවරී එය සමාජගත වුවහොත් තත්ත්වය වඩාත් ව්‍යාකූල විය හැකිය. මන්ද ඔබ නිරෝගී මිනිසුන් ලෙස දකින සමහර අය කොරෝනා රෝගීන් වීමට ඉඩ ඇති නිසාය. තවම අප අතර සැඟව තිබෙන අනතුරුදායක බව සම්පූර්ණයෙන් පහව ගොස් නැත. එබැවින් නිතරම පරිස්සම් වීම කාගේත් සෞඛ්‍ය සම්පන්න බවට හේතු වනු නොඅනුමානය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරිනී,
සුනේත්‍රා හීන්කෙන්ද

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>