TT Ads

මේවනවිට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිමවී බොහෝ විට ඉතිරි සති කිහිපය තුළ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ආරම්භ වීම සිදුවේ. එම අන්තර් මෝසම් කාලයේ බලපානු ලබන කාලගුණ සාධක සහ පද්ධති මගින් විවිධ ස්වාභාවික ආපදා සිදුවන අතර ඉන් අකුණු ප‍්‍රධාන ආපදාවකි. මේ සෘතුව තුළ අප රටට සෘජු ලෙසට සූර්යතාප කිරණ ළඟාවීම නිසා උණුසුම්වන පහළ වායු ගෝලය තුළ සංවහන ක‍්‍රියාවලිය ශීඝ‍්‍රලෙස සිදුවීමේ ප‍්‍රතිලයක් ලෙස අකුණු වළාකුළු හෙවත් සංවහන වලාකුළු වර්ධනය වීම සිදුවේ.
ප‍්‍රථම අන්තර් මෝසම් සෘතුවේ බොහෝ දිනවල දිවා කාලය උණුසුම් බවක් උසුලන අතර සවස් හෝ සන්ධ්‍යා කාලයේ බොහෝ ප‍්‍රදේශවල වර්ධනය වන සංවහන වලාකුළුවලින් උත්පාදන කෙරෙන අකුණු ධාරාවලින් විවිධ ආපදාවන්ට මුහුණ පෑමට සිදුවන්නේ අපට පමණක් නොව අනෙකුත් සත්වයන්, ගහකොළ සහ ගොඩනැගිලි ආදියයි. එබැවින් අකුණු අනතුරු, ආපදා අවම කර ගැනීමට හැකි සියලූ ආරක්‍ෂක පියවර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
සෑම වසරකම අකුණු අනතුරුවලට ලක්වීමෙන් අප රටේ සිදුවන මරණ ගණන පනහ  ඉක්මවන අතර තවත් බොහෝ දෙනෙක් විවිධ ආබාධවලට ලක්වේ. ඊට අමතරව මේ තුළින් සිදුවන දේපළ හානිය ඉතා විශාලය. අකුණු අනතුරුවලින් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නම් එ් පිළිබඳව කල් ඇතිව අවධානය යොමු කළ යුත්තේ එ් නිසාය.
දිවයිනේ අකුණු ඇති වීම සලකා බලනවිට අන්තර්මෝසම් වකාවානුව මත මාර්තු – අපේ‍්‍රල් සහ ඔක්තෝබර් – නොවැම්බර් කාල ප‍්‍රධාන වේ. අකුණු ඇති කරන කැටි වැහි වලාකුළු අප රටේ වැඩි වශයෙන් වර්ධනය වන්නේ සංවහන ක‍්‍රියාවලිය ශීඝ‍්‍ර ලෙස සිදුවන අන්තර් මෝසම් සෘතුවලය. එසේ වුවද වර්ෂය පුරාම විවිධ කාලගුණ තත්ත්වයන් යටතේ අකුණු අනතුරු ඇති වන නිසා එ් පිළිබඳව අපගේ අවධානය සැමදාම තිබිය යුතුය.
අකුණු ඇති වීම වැළැක්විය නොහැකි වුවද ආරක්‍ෂක පූර්වෝපායන් පිළිබඳව සැලකිලිමත් වුවහොත් අකුණුවලින් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි බොහෝ සේ අඩුකර ගත හැක.

කාලීන ආරක්‍ෂක පූර්වෝපායන්

ගොඩනැගිලිවල විද්‍යුත් පරිපථ හා සම්බන්ධ භූගත කම්බි ප‍්‍රතිරෝධ ඕම් 10ට අඩුවන ලෙසට සවිකළ භූගත කූරු හෙවත් පෘථිවි දඬු හා සම්බන්ධ කරන්න.
1. සමාන්තර ගත පෘථිවි දඩු කිහිපයක් සවිකර එම දඬු කිහිපය අතර තඹ නැතිනම් වෙනත් සන්නායක කම්බිවලින් ඉතා හොඳින් සන්නායක සම්බන්ධයක් පවත්වාගෙන ප‍්‍රතිරෝධය අඩුකර ගත හැක.
2. එසේම ගොඩනැගිල්ල වටා පෘථිවි දඬු කිහිපයක් සවිකොට ගොඩනැගිල්ලේ විද්‍යුත් පරිපථයේ විවිධ ස්ථානවලදී පෘථිවි කමිබිය දණ්ඩට මනාව සම්බන්ධ කිරීමෙන්ද, ප‍්‍රතිරෝධය අඩුකර ගත හැක. මෙම දෙවන ක‍්‍රමය පළමු ක‍්‍රමයට වඩා උචිත වේ.
2 රූප සටහන

ගොඩනැගිලිවල එම කොටස් හා පොළොව සම්බන්ධ වන ලෙස සිරස් සන්නායක කම්බි සහිත අමතර කණුවක් ඉදිකිරීම ඉතා උචිතය. නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් අසල උසට වැඩුණු ගහකොළ නොමැති විටදී එම ගොඩනැගිලි සෘජු අකුණු පහරවලට භාජනය වීමට ඉඩ ඇත. මෙම අවදානම බොහෝ දුරට අඩුකර ගත හැක්කේ අකුණු සන්නායකයක් සවිකර ගැනීමෙනි. මීට අමතරව නිවස සහ අවට ගස් අතර යකඩ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යය මගින් සම්බන්ධ කිරීම නොකළ යුතුය. කම්බි යොදා බැඳ ඇති රෙදිවැල්ද අබලන් ගස් බැඳ තැබීමට යොදන කම්බිද අනතුරුදායක බවට උදාහරණ වේ.

අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ගැන අනාවැකි ප‍්‍රකාශ වූ විටක කළ යුතු දෑ.

අකුණු සහිත තත්ත්වයකට පෙර, පරිසරයට නිරාවරණය වීම අවම කිරීම සඳහා ආරක්‍ෂක ස්ථානයක් වෙත යෑම ඉතා සුදුසුය. සංවෘත ගොඩනැගිල්ලක් හෝ වඩාත්ම සුදුසුවන සංවෘත වාහනයක් තුළට පිවිසීම වඩා ආරක්‍ෂාකාරී පිළිවෙත වේ. අකුණක් දර්ශනය වීම හා ගිගුරුම් හඬ අතර කාලය තත්ත්පර 15ට අඩු නම් හෝ ඉතා ආසන්නයේ අකුණු ඇති වන අවස්ථාවල මෙම කටයුත්ත ඉතා ඉක්මනින් කළ යුතුය.
අකුණු පහරක් අධික ධාරාවක් අර්ධ ලෙස හෝ සම්පූර්ණ ලෙස තැනින් තැනට රැුගෙන යාමට පරිසරයේ ඇති සන්නායක කම්බි ආධාර වේ.
විදුලිබල සැපයුම් කම්බි, රූපවාහිනි ඇන්ටනා කම්බි සහ දුරකථන කම්බි හරහා අකුණු ධාරා සන්නායනය වීම නිසා දේපළ හා ජීවිත හානිවන අවස්ථා බොහෝය. මේ නිසා අකුණු කාලගුණ තත්ත්වයන් ගැන අනාවැකි ප‍්‍රකාශ කළ පසුද විදුලි උපකරණ විද්‍යුත් පරිපථ වලින් විසන්ධිකර තැබීමත් රූපවාහිනී ඇන්ටෙනා එම යන්ත‍්‍රවලින් විසන්ධි කොට ඇන්ටනා පේනුව නිවසින් බාහිරව පොළවට ආසන්න වන පරිදි තැබීමත් සුදුසු වේ.

අකුණු සහිත කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවලදී සැලකිලිමත් විය යුතු කරුණු

x ක‍්‍රීඩා පිටි, තේවතු හෝ කුඹුරු වැනි විවෘත ස්ථානවල ගැවසීම සීමා කරන්න. විශේෂයෙන්ම උදළු, අලවංගු වැනි උපකරණ භාවිතා කරමින් එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින්න. මෙය නොවැළක්විය හැකි නම් දෙපා ආසන්නව තබා පහත් වන්න. වියළි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රවයක් මත සිටීම ආරක්‍ෂාව වඩාත් තහවුරු කරයි.
x හුදෙකලා වෘක්‍ෂ අසල හෝ උස් භූමිවල නොරැදෙන්න. නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගසක් අසල සිටීමට සිදුවේ නම් අතු විහිද ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න.
x ස්ථානය කුමක් වුවත් ශරීරයේ ක‍්‍රියාකාරී උස ප‍්‍රමාණය අඩු කරලීම සඳහා වාඩිවී හෝ සයනයක දිගා වී සිටීම වඩා සුදුසු ක‍්‍රමයය.
x විවෘත බෝට්ටුවක නම් වාඩි වී සිටින්න. නැතිනම් තරමක් උස් වූ ජැටියක් හෝ පාලමක් යට එ් සෘජු ස්පර්ශයක් නොමැතිව නැගුරම් ලෑම ආරක්‍ෂාව වැඩි කරයි.
x පා පැදි, යතුරුපැදි ට‍්‍රැක්ටර් වැනි විවෘත වාහන පැදවීම නොකරන්න.
x ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්ථාන මත ඇවිදීමෙන් වළකින්න
x විදුලි ස්ත‍්‍රික්ක, ශීතකරණ, ලෝහ ජනේල් රාමු, ගුවන් විදුලි යන්ත‍්‍ර වැනි උපකරණ ස්පර්ශයෙන් හා පරිහරණයෙන් වැළකී සිටීම.
x උස් ලෝහ ආකෘති, කමිබි වැටවල් හෝ කමිබි රෙදි වැල් අසල සිටීමෙන් හා එ්වා ස්පර්ශ කිරීමෙන් වැළකීම.
x දුරකථන භාවිත අවම කිරීම
x කොන්ක‍්‍රීට් ලෑලි මත සකස් කළ ළිප හා කොන්ක‍්‍රීට් ලෑලි සෙවිලිකළ දුම් කවුළු සහිත මුළුතැන්ගෙවල්වල විශේෂයෙන් එම කොන්ක‍්‍රීට් ලෑලිවලට ආසන්න රැඳී නොසිටින්න.
අකුණු අනතුරු සැමවිටම අනතුරුදායක නොවේ. එ් නිසා අකුණු අනතුරකට ලක්වූවකුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන තෙක් ප‍්‍රථමාධාර ලබාදීම සඳහා කඩිනම් පියවර ගැනීම ඉතා සුදුසුය.
අකුණුපහරකට ලක් වූවකු හට අත්පා හිරි වැටීමකට හෝ දරදඬු වීමකට ලක්වූ විට සම්බාහනය මගින් ප‍්‍රකෘති තත්ත්වය ලබාදීමට කටයුතු කරන්න. ස්වසනය නැතිවී ගිය අයෙකුට කෘත‍්‍රිම ස්වසනය ලබා දීමට කටයුතු කරන්න. විශේෂයෙන් අකුණු අනතුරකට ලක්වූවකු ස්පර්ශ කිරීම හෝ එසවීම අනතුරු දායක නොවන බව මතකයේ රඳවා ගන්න.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>