TT Ads

වර්තමානයේදී ගෘහස්ථ මට්ටමේ ස්වයං රැකියාවක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන රූපලාවන්‍ය ශිල්පයට කොරෝනාව නැවතීමේ තිත තැබුවා. පෙබරවාරි මාසයේ අග භාගයේ සිට තාවකාලික තහනමකට ලක්ව තිබූ රූපලාවන්‍යගාර මේ වන විට සීමිත අවස්ථා යටතේ සුවිශේෂී නියාමනයක් සහිතව යළි ඇරඹීමට අවසර ලබා දීම සතුටට කරුණක්.ඉතින් “රැජිනිය” අදහස් කළා රූපලාවන්‍ය ශිල්පයේ අද දවස පිළිබඳ විමසීමක් කරන්නට. ඒ සඳහා අප සම්බන්ධ කර ගනු ලැබුවේ ක්‍ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන ජොනී ගුණසේකර සහ සමන්ත ගුණසේකරවයි. රූපලාවන්‍ය ශිල්පියෙක්. උපදේශකවරයෙක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද ජොනී ගුණසේකර කටයුතු කරනවා.

 

 

 

 

 

 

■ ඉතින් ජොනී, කියන්නකෝ අපිට කොහොමද කොරෝනා සමග ජීවිතේ?
මුලින්ම ස්තුති කරන්න ඕනේ මේ සමිබන්ධයෙන් විමසීමක් කරන්න අපිව හොයාගෙන ආවට.    මේ බිහිසුණු වසංගතය ලංකාවට විතරක් සීමා වූවක් නොවෙයි. ගෝලීය වශයෙන් පැනවුණු නියාමනයක් එක්ක රූපලාවන්‍ය ශිල්පීන් වන අපිටත් බරපතළ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා.

මෙම ව්‍යාපාරය කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා විහිදුණු ව්‍යාපාරයක්. රට පුර දහස් සංඛ්‍යාත ශිල්පි ශිල්පිනියන් ප්‍රමාණයක් විසිරී සිටිනවා. මේ අන්ත දෙක අතරේ විවිධ මට්ටම් තිබෙනවා. මෙතනදී මධ්‍ය පරිමාණය දක්වා බොහොම දෙනෙකුට තියෙන්නේ මධ්‍යස්ථ මට්ටමේ රූපලාවන්‍යාගාර. මෙය දෛනික වශයෙන් පැමිණෙන සාමාන්‍ය ගනුදෙනුකරුවන් සමග ක්‍රියාත්මක වෙන තත්ත්වයක්. ඒ අයගේ සිට මහා පරිමාණයෙන් ක්‍රියාත්මක ශිල්පීන්ට පවා කොරෝනා ඇඳිරි නීතිය අර්බුධ රාශියක් නිර්මාණය කළා. ඇත්තටම මහා පරිමාණ මට්ටමේදී තත්ත්වය අතිශයින් සංකීර්ණයි. මේවාට තරමක සේවක මණ්ඩලයක් සිටිනවා. ඔවුන් යැපුනේ ආයතනයෙන් ලැබුණු වැටුපෙන්. අන්න එතනදී ඔවුන්ට වැටුප් ගෙවීමේ හැකියාව තිබුණේ මාසයයි. උපරිම එකහමාරයි. ඒවාට අමතරව මෙවැනි රූපලාවණ්‍යාගාර බොහොමයක් ආරම්භ කර තිබෙන්නේ බැංකු ණය මත. තම වාහන සඳහා ලීසිං වාරික, ජල සහ විදුලි බිල්පත් අමතරව එකතු වෙනවා.

■ දැන් යළිත් ක්‍රමානුකූලව රට යථාවත් වෙමින් පවතිනවා. රූපලාවණ්‍යාගාර යළි ඇරඹීමේදී නව නියාමනයන් සමග මොනවද ඇතිවෙන ගැටලු.

“එතනදී මෙහෙමයි. මේක අපි කිසිම කෙනෙක් මින් පෙර අත් නොවිඳි තත්ත්වයක්. ඒ වගේම කිසිම කෙනෙකුට මෙම නියාමනයන් මග හැර යා නොහැකියි. පෞද්ගලිකව ගත්තත් මේක ජීවිතය සහ මරණය අතර පවතින දෙයක්නේ.
ඇත්තටම ප්‍රථමයෙන්ම ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත විය යුතුයි. රාජ්‍ය මට්ටමෙන් පිළි අරගෙන තිබෙනවා කොණ්ඩා කැපීම සහ රූපලාවණ්‍ය කටයුතු අත්‍යවශ්‍ය සේවා මට්ටමේ පවතින්නක් බවට. නමුත් අද මේ මොහොත වනවිට අවසර ලබා දී තිබෙන්නේ කොණ්ඩා කැපීම සහ වර්ණ ගැන්වීමට පමණයි. මෙතනදී කොණ්ඩා කැපීමේදී අඩි එකහමාරකට වඩා දුරක ඉඳන් කිරීම අපහසුයි.

■ දැනට සිදු කරන්නේ ඔය කටයුතු දෙක පමණයි.
තව දෙයක් ඒවාට අමතරව අනවශ්‍ය රෝම ඉවත් කිරීමත් සිදු කරනවා. මේ අතරවාරයේ අග්‍රාමාත්‍යතුමාත්, සෞඛ්‍ය ඇමැතිතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් හිඳිනවා. සුපුරුදු විදිහට සැලෝන්වල කටයුතු කරගෙන යාමට ඉඩ හදා ගන්න. ඒකට ඉතින් විශාල ක්‍රමවේදයකට යා යුතුයි. එහිදී කළ හැකි දේවල් වගේම නොහැකි දේවල් තියෙනවා විෂබීජ හරණය සම්බන්ධයෙන්. එක්වරක් භාවිතයට ගෙන ඉවත් දැමිය හැකි දේ තිබෙනවා. නමුත් සමහර දේවල් ඉතා අධික මිලක් වෙනවා. ඒවගේ දේවල් එක් අයෙකුට වශයෙන් භාවිත කරන්න බැහැ. දැන් මෙහෙම ගම්මුකෝ. මේකප්වලදි භාවිත කෙරෙන ප්‍රමිතිගත බ්‍රෂ් සෙට් එකක් රුපියල් දස දහසක්, එකොළොස් දහසක් අතර මිලක් වෙනවා. හැබැයි ඉතින් රුපියල් තුන් හාරසීයටත් තියෙනවා. ඒ වගේ මිලකට නම් එක් අයෙකුට පමණක් යොදාගෙන ඉවත දැමීමට පුළුවන්. එතකොට දවසකට කළ හැකි හැඩ ගැන්වීම් ප්‍රමාණයත් තීරණය කළ යුතුයි. සමහර සැලෝන්වල දවසට මනාලියන් හැඩ ගැන්වීම් හත, අට, දහය කරනවා. එවැනි තත්ත්ව වලදී කොරෝනා පැතිරීමේ අවදානමක් තියෙනවද ආදිය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.
මේ වෙනකොට හොඳ විසඳුම් ලැබෙමින් පවතිනවා. තව සති දෙකක් විතර කාලයක් ගතවෙද්දී යම් ආරක්ෂිත ක්‍රමවේද සමගින් සුපුරුදු ක්‍රමවේදවලට යා හැකියි කියා විශ්වාස කරනවා.

■ මංගල උත්සව වලට සැලකිය යුතු තරමේ සීමාවන් පනවා තිබෙනවා නේද?
“ඔව්, මේ මොහොත වෙද්දීත් මනාලියන් හැඩ ගැන්වීම සඳහා අපිට අවසර ලැබී නැහැ. අර මුලින් කිව්ව අවස්ථා තුන පමණයි දැනට. නමුත් විවාහ උත්සවය සම්බන්ධයෙන් ගත්තොත් දෙසීයක් සිටිය හැකි වෙලාවකට සීයක ප්‍රමාණයක් එක් කර දුරස්ථතාවය
රැකගෙන ක්‍රියා කරන්න පුළුවන්. විෂබීජහරණ ද්‍රව්‍ය භාවිතය, මුඛ ආවරණ පැළඳීම කළ යුතුමයි. සිප වැළඳ ගැනීම්, නැටුම් සහ මත්පැන් භාවිතය තහනම්. කෑම වෙන් වශයෙන් බෙදා ගැනීම නොකළ යුතුයි. ඒ සඳහා
පිළිගැන්වීමේ පිරිස් සිදු කරන්න ඕනේ.
මෙතන තිබෙන ලොකුම ගැටලුව තමයි මඟුල් ගෙදර ප්‍රධාන සාධකය මනාලියනෙ. ඇයගේ සුන්දරත්වය අනිවාර්යයි. ඒ සඳහා මනාලිය හැඩ ගැන්විය යුතුමයි. නමුත් තාම ඒ අවසරය නැහැ.

■ රූපලාවණ්‍යාගාරයක් තුළ ආරක්ෂිතව හැඩ ගැන්වීමක් කරන්නත් බැහැ … එහෙමද?
“අනිවාර්යයෙන්ම ෆේෂල් බැහැ. ඇහි බැම සැකසීම් බැහැ. ඉතින් දැනට බාධක ගොඩයි. ඒවා මග හරවා ගැනීමේ ක්‍රමවේදවලට යායුතුමයි.”

■ මෙහෙම දෙයකුත් තියෙනවා. ඔබට තියෙන්නේ අංග සම්පූර්ණ
රූපලාවණ්‍යාගාර. නමුත් එවැනි පහසුකම් නැති තවත් දහස් ගණනක් ඉන්නවා?
“ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ මතු කළේ. අංග සම්පූර්ණ සැලෝන් එකකට තිබිය යුතු අංග ගණනාවක් තියෙනවා. අමුත්තන්ට රැඳී සිටීමට ලොබි එකක්. කොණ්ඩා කැපීමේ කොටස, ෆේෂල් රූම්, බ්‍රයිඩල් මේකප් සඳහා වෙන් වූ කොටසක් වගේම වොයින් ඒරියා, සනීපාරක්ෂක පහසුකම් ආදියත් ඒවාට ඇතුළත්. ඒ වගේම වරක් භාවිත කළ උපකරණ විෂබීජහරණය කළ හැකි යන්ත්‍රයක් තිබිය යුතුමයි. ඒක මේ කොරෝනා නිසා ඇති වූ නියමනයක් නෙවෙයි. දැන් මෙහෙම හිතන්නකෝ මෙතනට එන අය අතර යම් චර්ම රෝගයක්, අළුහම්, හිස්හොරි තිබිය හැකියි. ඉතින් ආරක්ෂිත ක්‍රමවේද නොමැතිනම් වෙනත් කෙනෙක් අනාරක්ෂිතයි. උදාහරණයක් විදිහට ගෙලවටා දවටන කේප් එක. මේවා එක් අයෙකුට භාවිත කර නැවත පිරිසිදු නොකිරීම වරදක්. අද කාලෙනම් වරක් භාවිත කර ඉවත දමන කේප් තියෙනවා. අපි වෙනදා ගන්නේ ඒවා. ඒ හේතු නිසා නව නියාමනයන්ට අනුගත වීම අපිට නම් ගැටලුවක් නෙවෙයි. නමුත් ඔබ කිව්වා වගේ බහුතරය අඩි දහය, දොළහ ප්‍රමාණයේ කුටියක් තමයි රූපලාවණ්‍යාගාරයක් විදිහට යොදාගෙන තියෙන්නෙ.
අපිට අමතර එකතු කිරීමකට ආවේ පිටතින් අත් සෝදා ගැනීමට සින්ක් එකක් සවි කිරීම. නමුත් ඒ සඳහා විකල්පයක් විදිහට සැනිටයිසර් යොදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ණය වාරික සහ විවිධ බිල්පත් මාස තුනකට ගොඩ ගැසීම, වැටුප් ගෙවීම් ආදිය විශාල අර්බුධයක් නම් නිර්මාණය කර තිබෙනවා.

උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී,
සමන්ත ගුණසේකර / ජොනී ගුණසේකර
සැලෝන් මූඞ්ස්
සංවාදය- අජන්ත ජයසේකර
ඡායාරූප – දිනේෂ් සේයා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>