TT Ads

මේ වෙද්දි බැලු බැලු තැන්වල ඉන්නේ ෆේස් මාස්ක් එකකින් මුහුණෙන් බාගයක් වහගත්තු අය. ඒ අතරේ කවුරු හරි කෙනෙක් ෆේස් මාස්ක් එකක් නොදා හිටියොත් එයා දිහා ආපහු හැරිලා බලන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ. නමුත් මීට මාස තුනට කලින් අතීතයට ගියොත් ඒකෙ අනිත් පැත්ත. ෆේස් මාස්ක් එකක් දාගෙන මුහුණෙන් බාගයක් වහගත්තු කෙනෙක් පාරෙ හිටියොත් අපි බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. එයාව අපිට පෙනුනේ නිකන් මංකොල්ලකාරයෙක් විදියට. මාස තුනක පරතරයක කාලයක් තුළ ඇතිවුණු වෙනස තමයි ඒ.
පෞද්ගලික ආරක්ෂාව උදෙසා නිර්මාණය වුණු ෆේස් මාස්ක් මේ වෙද්දි ෆැෂන් එකක් බවට පත් වෙලා තියෙන හැටි අපිට පෙනෙන්නම තියෙනවා. ෆේස් මාස්ක් එක ලෝකෙ පළවෙනි වතාවට ෆැෂන් එකක් බවට පත් කර ගත්තේ ස්ලෝවැකියානු ජනාධිපතිනිය සුසෑනා කැපුටෝවා. ඇය පහුගිය මාර්තු 21 වෙනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වෙලා හිටියේ දම් පැහැයට හුරු මෙරූන් පැහැති ගවුමක් ඇඳගෙන, ඒ පැහැයෙන්ම නිර්මාණය කරපු ෆේස් මාස්ක් එකක් පැළඳගෙනයි. ඒ වෙද්දි අපිට සියයට 99 ක් ම දකින්න ලැබිලා තිබුණේ ලා නිල් සහ සුදු පැහැයන්වලින් යුතු සර්ජිකල් ෆේස් මාස්ක් විතරයි. ඒ නිසා ස්ලෝවැකියානු ජනාධිපතිනියගේ ඇඳුමට ගැළපෙන ෆේස් මාස්ක් විලාසිතාව ගැන ෆේස් බුක් එකේ පවා පෝස්ට් නිර්මාණය වුණා. එතනින් පටන් ගත්තු මේ අලුත් විලාසිතාවට, ජනප්‍රිය අය අතර වගේම සාමාන්‍ය අය අතරත් ඇබ්බැහියක් වගේ දෙයක් ඇති වුණා.
ඊළඟට අපිට ෆේස් මාස්ක් විලාසිතාව දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවෙන්. ජෙනිෆර් ලෝපේස් එයාගේ සහකරු එක්ක ෂොපිං ගිහින් ඉන්න ඡායාරූප රැසක් ඇය ට්විට් කරලා තිබුණා. ඒවායේ ඔවුන් දෙදෙනා කහ පැහැති එක සමාන ෆේස් මාස්ක් පැළඳ සිටියා. ඊළඟට ජර්මනියේ Angermaier Trachten හිමිකරු කෝටිපති ව්‍යාපාරික ඇක්සල් මන්ස් සහ බිරිඳ තවත් අලුත් විලාසිතාවක් ෆේස් මාස්ක්වලට එකතු කළා. ඒ මිනිස් රූප සහිත ෆේස් මාක්ස් පැළඳීමෙනුයි. ඉන් පස්සේ ලෝකෙ වටේ ඉන්න ජනප්‍රිය බොහොමයක් දෙනා විවිධාකාර ෆේස් මාස්ක් පැළඳගෙන ගත්තු පිංතූරවලින් ට්විටර්, ඉන්ස්ටාග්‍රැම්, ෆේස්බුක් පිරී ගියා.

 


අද වෙද්දි තත්වය තවත් වර්ධනය වෙලා. මංගල උත්සවවල මනාල මනාලියන් සඳහා ඇඳුම් නිර්මාණය කරන ප්‍රසිද්ධ නමගිය නිර්මාණ ශිල්ප ආයතන දැන් ඇඳුම් නිර්මාණය කරන්නේ ෆේස් මාස්ක් එක්කමයි. මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන රෙදි මෙටීරියල්වලින්ම ෆේස් මාස්ක් එකකුත් නිර්මාණය කරනවා. මනාලයාගේ ඇඳුමේ ටයි එකේ හෝ බෝ එකේ වර්ණයෙන් ඔහුට ෆේස් මාස්ක් එක නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ කාලේ ෆැෂන් ෂෝ සඳහා නිර්මාණය කරන සියළුම ඇඳුම්වලට ෆේස් මාස්ක් නිර්මාණය වෙමින් පවතිනවා.
මේ කාලේ ෆේස්බුක් එකේ පේජ් හදාගෙන ෆේස් මාස්ක් තොග වශයෙන් විකුණන අය ඉන්නවා. ඒ අතරේ ඇස් ඇදිලා යන විකාර රූපී ෆේස් මාස්ක් වගේම දැක්කම හිනාව නතර කරගන්න බැරි ඒවත් ඕනෙ තරම්. ඒ දත් ඉස්සරහාට ආපු ලොකු කටක රූපයක් තියන මාස්ක්, දිව එළියට දාගෙන ඉන්න රූපයක් තියෙන මාස්ක්, ලේ පෙරාගෙන ඉන්න කටක රූපයක් තියන මාස්ක්, මස් කට්ටක් හෝ රෝස මලක් හපාගෙන ඉන්න රූපයක් තියෙන මාස්ක් ආදී විවිධ රූප ඒවායේ මුද්‍රණය කරලා තියනවා.
ඊළඟට පුංචි දරුවන් වෙනුවෙන් නිර්මාණය වන “හුරතල්“, “කියුට්” ෆේස් මාස්ක්වලට මේ කාලේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. සාමාන්‍යයෙන් පුංචි අය ෆේස් මාස්ක් පැළඳගෙන ඉන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඔවුන් වෙනුවෙන් ප්‍රසිද්ධ කාටූන් චරිත වර්ණවත්ව මුද්‍රණය කරපු ෆේස් මාස්ක් නිර්මාණය වෙනවා. කොහොම වුණත් “කල දුටු තැන වල ඉහ ගන්නවා” වගේ මේ කාලේ වැඩිම මාකට් එකක් පවතින ෆේස් මාස්ක්, ෆැෂන් අයිකන් එකක් බවට පත් කරපු ස්ලෝවැකියානු ජනපතිතුමියව නම් නැවත වරක් මතක් කරන්නම ඕනෙ.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>