TT Ads

කොරෝනා වසංගතය ශීඝ‍්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් තවමත් ලොව බොහෝ රටවල් සමාජ දුරස්ථකරණය පවත්වාගැනීම උදෙසා දැඩි පනවා තිබේ.මේ හේතුවෙන් සිය නිවෙස්වලටම කොටුවී සිටින ලොව බොහෝදෙනා තුළ පැනනැගී තිබෙන ගැටලූව වන්නේ මෙම වසංගතය කවදා සදහටම තුරන්වී යළිත් සුපුරුදු ජීවිතය ගතකිරීමට ලැබේද යන්නය.මෙහි පළවන්නේ එම ගැටලූවලට පිළිතුරුදෙමින් හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත හා බෝවන රෝග අංශයේ පීඨාධිපති ආචාර්ය ගැබ්රියෙල් ලියොන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡුාවේ සිංහල අනුවාදයයි.

ඇඳිරි නීතිය හැමදාටමද/ දිගු කාලීනවද? එය ඉවත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
ඇඳිරි නීති නිරෝධායනය වැනි ඉතා දැඩි පුද්ගල දුරස්ථ ක්‍රියාවලියන්හි ඇති සාර්ථක බව රහසක් නොවෙයි. ඒත් ඒවා දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න බැහැ. එහෙම කළහොත් ජනතාවගේ එදිනෙදා ආදායම මෙන්ම මානසික සෞඛ්‍යයටද ඇතිවන අවදානම සුළුපටු නැහැ. මුළු ලෝකයේම රාජ්‍යයන් හා පාලක අධිකාරීන් ඇඳිරි නීතිය මෙන්ම පුද්ගල දුරස්ථභාවය ගැන තීරණ ගැනීමේදී ඔවුන් මෙම සියලු කරුණු ගැන අවධානය යොමු කරනවා. එනමුත් ඔවුන් මෙම තීරණ ගැනීම සඳහා භාවිත කෙරෙන විද්‍යාත්මක පසුබිම කුමක්ද යන්න කියන එක ගැන පැහැදිලි නැහැ. ගැටලු තියෙනවා.

ඇඳිරි නීතිය පැනවීමට සුදුසු අවස්ථාව කුමක්ද එය ලිහිල් කළ යුත්තේ කුමන අවස්ථාවේද? එය නැවතත් පැනවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?
මෙය තීරණය කළ යුත්තේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. මෙම විද්‍යාත්මක ක්‍රමවේදය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. අප තරයේ මතක තබාගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. එය තමයි ඕනෑම ක්‍රමවේදයක මූලික අරමුණ විය යුත්තේ ජීවිත රැක ගැනීමයි. ජීවිත රැක ගැනීමට නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය රැක ගත යුතුයි. රෝගය හෝ රෝගීන් නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කඩා වැටීමක්, බිඳ වැටීමක් සිදු වුවහොත්….

උදාහරණයක් වශයෙන් රෝහල්වලට පාලනය කරගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළු වෙනවා නම් හෝ දැඩි සත්කාර පහසුකම් තිබෙන ප්‍රමාණයට වඩා වැඩි දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවා නම් හෝ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්හි පවතින යම් දුර්වලතාවන් නිසා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයද රෝගීන් වීමෙන් සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා. එහෙම වුවහොත් ජීවිත නැති වීම් වළක්වා ගත නොහැකියි.

උතුරු ඉතාලියේ, ස්පාඤ්ඤයෙත්, ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේත් මෙම තත්ත්වය ඇති වුණා. එම නිසා ඕනෑම විද්‍යාත්මක ක්‍රමවේදයක ප්‍රධාන අරමුණ විය යුත්තේ සෞඛ්‍ය සේවයේ කඩා වැටීමක් නොවන පරිදි රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි.

අපි හැමෝම දන්නවා මෙම වසංගතය ස්වාභාවිකව පාලනය වීමට නම් ජනගහනයෙන් බාගයකටවත් ඊට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇතිවිය යුතුයි. ප්‍රතිශක්තිය ඇති වීමට නම් රෝගය ආසාදනය විය යුතුයි. එසේ නැතිනම් ප්‍රතිජීවක ඔෟෂධයක් එන්නත් කළ යුතුයි.

මින් පළමු වැන්න ඇති වුවහොත් ඉන් වන හානිය අපි හැමෝම දන්නවා. දෙවැන්න එනම් ප්‍රතිජීවක එන්නතක් සොයා ගැනීමට අඩුම තරමින් තව අවුරුද්දක් හෝ අවුරුදු එක හමාරක් පමණ ගතවිය හැකිය. එම නිසා අපි දැන් කළ යුත්තේ තව වසරක් හෝ වසර එක හමාරක් මෙම රෝග ව්‍යාප්තිය කෙසේ හෝ පාලනය කර ගැනීමයි. වෙනත් වචනවලින් කිවහොත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා නොවැටෙන පරිදි රෝග ව්‍යාප්තිය සීමා කිරීමයි. නැතිනම් පාලනය කිරීමයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි නීති දමන්න සිදු වෙනවා. ඇඳිරි නීතිය වගේ. නමුත් අපිට ඇති ගැටලුව තමයි වසරක් හෝ ඊට වැඩි කාලයක් ඇඳිරි නීතිය පවත්වාගෙන යෑම කළ නොහැකි දෙයක් වීම. එහෙම වුණොත් ජනතාවගේ අති බහුතරයකගේ ආදායම සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. බිංදුවට වැටෙනවා. එය තුළින් සාගත දුර්භික්‍ෂ තත්ත්වයක් ඇති විය හැකියි. එහි බරපතළකම කොරෝනා රෝගයේ බරපතළකමටත් වඩා වැඩි විය හැකියි.

එසේ නම් තව වසරක් හෝ ඊට වැඩි කාලයක් මෙම වසංගත ව්‍යාප්තිය පාලනය කරන්නේ කොහොමද?
අපි හැමෝම දන්නවා නීති රීති දැඩි කළ විට රෝග ව්‍යාප්තිය පාලනය වෙනවා. නමුත් ජනතාවගේ ආදායම හා එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. අවුල් වෙනවා. අනිත් අතින් නීති රීති ලිහිල් කළාම ආදායම හා ජන ජීවිතය හොඳ අතට හැරෙනවා. නමුත් අවාසනාවකට රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. මෙවැනි තත්ත්වයකදී වසංගත රෝග විශේෂඥයන්ගේ මතය තමයි නීති රීති දැඩි කිරීම. හෝ ලිහිල් කිරීම (Suppress or Lift) යන ක්‍රියාදාමය යම් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කළ යුතු බව. නැතිනම් වරින් වර බලාත්මක කළ යුතු බවයි.

එසේනම් නීති රීති දැඩි කිරීම හෝ ලිහිල් කිරීම යන ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමේ නිවැරදි ක්‍රමවේදය කුමක්ද?
මෙහි පළමුවෙනි අවශ්‍යතාව තමයි නිවැරදි දත්ත හා සංඛ්‍යා පවත්වා ගැනීම. දිනකදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාවෙන් පමණක් මෙම තීරණ ගත නොහැකිය. අවාසනාවකට සියලු මාධ්‍යයන් අවධාරණය කරන මූලික දත්තයන් මෙය පමණයි. නමුත් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉතාම අවිනිශ්චිත දත්තයක්. මම කියන්නම් ඒ ඇයි කියලා.

පළමු කාරණය තමයි රෝගය ආසාදනය වීම සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින 06ක පමණ පරතරයක් තිබීම. රෝග ලක්ෂණ පෙන්වූ පසුවත් දින 3-4 යනතුරු සෞඛ්‍ය අංශ වෙත නොයෑමත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා ආසාදනය වී දින 10-14ක් අතර කාලයට පසුවයි ආසාදිත රෝගියෙක් ලෙස වාර්තා වන්නේ. අනිත් කාරණය තමයි පරීක්ෂණ කටයුතුවල ප්‍රමාදය හා පහසුකම් හිඟවීම. ඒ නිසා බොහෝ රෝගීන් හෝ විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලා ගත වීම අවශ්‍ය නොවන රෝගීන් ඛ්ධමඪඤ ආසාදිතයන් ලෙස වාර්තාගත වන්නේ නැත. එම නිසා යම් දිනයක වාර්තා වන රෝගීන් සහ එම දිනයේ ඇත්ත වශයෙන්ම ආසාදිතයන් බවට පත් වූ සංඛ්‍යාව අතර ඇත්තේ විශාල පරස්පර බවක්.

වසංගත රෝග විද්‍යාවේ මේ සඳහා භාවිත කළ යුතු නිවැරදි නිර්ණායකයක් ලෙස හඳුන්වන්නේ සම්ප්‍රේෂණ ගුණාකාරය (Reproductive Number) යන නමින්. මේ සම්ප්‍රේෂණ ගුණකාරය කියන්නේ කුමක්ද?
සරල භාෂාවෙන් කියනවා නම් එයින් කියන්නේ එක් ආසාදිත පුද්ගලයෙක් තව පුද්ගලයන් තිදෙනකුට ආසාදනය සම්ප්‍රේෂණ කරනවාද කියන එකයි. සම්ප්‍රේෂණ ගුණාකාරය 1 නම් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව නියතයක් 1ට වඩා වැඩි සමස්ත ආසාදිත සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. 1ට වඩා අඩු නම් සමස්ත ආසාදිත සංඛ්‍යාව අඩු වෙමින් පවතිනවා.

හැබැයි මෙතන තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මෙම සම්ප්‍රේෂණ ගුණාකාරය යාවත්කාලීනව ගණනය කිරීම. (Real Time Calculation) අපට සම්ප්‍රේෂණ ගුණාකාරය යාවත්කාලීනව ගණනය කළ හැකි නම් අප කලින් සඳහන් කළ නීති දැඩි කිරීම්, ලිහිල් කිරීම් මෙම ක්‍රමවේදය අනුව කළ හැකියි. හැබැයි මම කලින් සඳහන් කළා වගේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පමණක් සලකා බලා නම් මෙම යාවත්කාලීන සම්ප්‍රේෂණ ගුණාකාරය ගණනය කළ නොහැකියි. එය ගණනය කළ යුත්තේ යම් දිනකදී ඇත්ත වශයෙන්ම ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව සලකා බැලීමෙනුයි. මීට අතිරේකව යම් දිනකදී වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සලකා බලා එම දිනයේදී ඇත්ත වශයෙන්ම ආසාදිත වන රෝගීන් සංඛ්‍යාව අනුමාන කිරීමේ සංඛ්‍යාමය (Statistical) ක්‍රියාදාමයක් තියෙනවා. එය හඳුන්වන්නේ Now – Casting කියලා. එය ටිකක් සංකීර්ණ ක්‍රමයක්.

නීති දැඩි කිරීමකින් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද?
ඉන් සිදුවන්නේ යාවත්කාලීන සම්ප්‍රේෂණ ගුණාකාරය (Real Reproductive Number) අඩු කිරීමයි. අපි උදාහරණයක් ගනිමු. යම් රටක ජනගහනය මිලියන 10ක් කියලා සිතමු. ඒ රටේ දැඩි සත්කාර ඒකකවල තියෙන මුළු පුරප්පාඩු (ඇඳන්) සංඛ්‍යාව 1000ක් යැයි සිතමු. සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ දින 14ක් පමණ කල් ගෙවන්න සිදු වෙනවා. එහෙම වුණාම එම රටේ දැඩි සත්කාර ඒකකයට දිනකදී අලුතින් ඇතුළත් කර ගත හැකි රෝගීන් සංඛ්‍යාව වන්නේ 71ක් පමණයි. (1000/14) අපි සිතමු. ආසාදිතයන්ගෙන් 5%කට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍යයි කියලා. එහෙම වුණොත් දිනකදී ආසාදිතයන් බවට පත් වන සංඛ්‍යාව 1420ට (71×20) වඩා වැඩි වුවහොත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අවදානම් තත්ත්වයකට පත් වෙනවා. මෙවැනි අවස්ථාවකදී සම්ප්‍රේෂණ ගුණාකාරය 1 වුණත් වැඩක් නැහැ. මා මුලින් කිව්ව වගේ සම්ප්‍රේෂණ ගුණාකාරය 1 කියලා කියන්නේ ආසාදිතයන් සංඛ්‍යාව ස්ථාවරව පවතින බවයි. එම නිසා දැඩි නීති පනවල හරි මෙම අගය පහළ මට්ටමකට ගෙන ආ යුතුයි. එවිටයි මෙම තත්ත්වය පාලනය කරගත හැකි වන්නේ.

අවසන් වශයෙන් තවත් එක් කරුණක් කිව යුතුයි. මා කලින් පෙන්වා ඇති අන්දමට එම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දිනකදී නව ආසාදිතයන් 1420ක් පාලනය කරගත හැකි වුවත් සමහර විට රටේ පවතින සමාජීය, සංස්කෘතික හා සමාජ ආකල්ප සමඟ බලන විට මෙම සංඛ්‍යාවද ඉතා ඉහළ සංඛ්‍යාවක් ලෙස සමාජයට නිරීක්ෂණය විය හැකියි. එම නිසා එක් එක් රටවල් තීරණය කළ යුත්තේ එම රටේ සෞඛ්‍ය, සමාජීය හා ආර්ථික යාන්ත්‍රණය අතර සමබරතාව රැකගත හැකිවන පරිදි එම රටට වඩාත් සුදුසු සම්ප්‍රේෂණ ගුණාකාරය (Reproductive Number) කුමක්ද කියලයි. ඊට පස්සේ මෙම සම්ප්‍රේෂණ ගුණාකාරය යාවත්කාලීනව ගණනය කිරීමද, එය පදනම් කරගෙන නීති දැඩි කිරීම් හෝ ලිහිල් කිරීම් ක්‍රමවේදය වරින් වර සක්‍රියව ක්‍රියාත්මක කළ යුතුයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>