TT Ads

කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කරමින් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පසුගිය මැයි මාසයේ විශේෂ නිර්දේශයක් නිකුත් කර තිබිණි. මෙහි පළවන්නේ එහි ඇතුළත් කරුණු පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා සමග කළ සාකච්ඡාවකි.

 ලෝකයේ බොහොමයක් රටවලට සාපේක්ෂ්ව ලංකාවේ කෝවිඞ් 19 ව්‍යාප්තිය අවම මට්ටමක පැවතීමට හේතුව මොකක්ද?
බෝවන රෝගයක් පැතිරෙන යම් යම් මට්ටම් තියෙනවා. පිටරටකින් ආසාදිත කෙනෙක් ලංකාවට එන එක, එයාගෙන් සමීපතමයන්ට බෝවීම, ඒ අයගෙන් සමාජයේ අනිකුත් අයට බෝවීම වගේ මට්ටම් කීපයක්ම තියෙනවා. ඒ එක්තරා මට්ටමකට කියනවා ( Community Transmission ) කියලා. ඒ කියන්නේ සමාජමය මට්ටමේ පැතිරීමක්. නමුත් අපේ රට මේ මට්ටමට පත්වුණේ නැහැ. ඒ කියන්නේ තවමත් අපිට රෝගියෙක් හමු වුණාම එයාට රෝගය බෝ වුණේ කොහෙන්ද කියලා හොයා ගන්න පුළුවන්. බැරිවෙලාවත් මෙය Community Transmission තත්ත්වයට පත් වුණොත් ඉතා ශීඝ්‍රයෙන් පැතිරීයාම සිදු වෙනවා.

 ලංකාවේ මේ රෝගය අවසන් වෙලා නැති අවස්ථාවක රට විවෘත කිරීම සාධාරණද?
වසංගත රෝගයක් අවසන් වෙන්නේ එයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත්තාට පස්සේ. නමුත් කොවිඞ් 19 වෛරසයට තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ. ඒ වුණත් රටක් දීර්ඝ කාලීනව වසා තැබීමත් ප්‍රායෝගික නැහැ. රෝගී තත්ත්වය පාලනය කරමින් එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා රෝගය තිබියදීම ඒකත් එක්ක ඉන්නේ කොහොමද කියලා මහජනතාව දැනුවත් වෙන්න ඕනේ.

 ඔබ කියන විදියට රෝගය පැතිර යද්දී එය සමග ජීවත්වෙන්න පුළුවන්ද?
රෝගය බෝ වෙන ආකාරය ගැන මේ වෙද්දී හොඳටම පැහැදිලියි. ඒ නිසා එය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන එක නතර කර ගැනීමේ නිවැරදි ක්‍රම අනුගමනය කළොත් රෝගය තිබියදී ඒකත් එක්ක වැඩ කරගෙන යන එක අපහසු නැහැ. මෙහිදී අදාළ සෞඛ්‍ය අංශවලින් දී තිබෙන ප්‍රධාන නිර්දේශයන් පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ.

 මොනවද ඒ නිර්දේශයන්?
අනිවාර්යයෙන්ම කළ යුතු පොදු කාරණා තුනක් තියනවා. ඒ නිවැරදිව අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය. කොවිඞ් 19 කියන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත තත්ත්වයක්. ඒ නිසා මෙය බෝ වෙන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයන්වල බිඳිති මගින් විතරයි. ඒ කියන්නේ රෝගී කෙනෙකුගේ ස්වසන පද්ධතියේ තිබෙන වෛරසය ස්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති එක්ක නිරෝගී කෙනෙකුගේ ස්වසන පද්ධතියට ඇතුළු වුණොත් විතරයි එය බෝ වෙන්නේ. ප්‍රධාන වශයෙන් ස්වසන පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන් විධි දෙක වෙන්නේ නාසය සහ කට. ඇස් දෙක සහ නාසය අතරත් සම්බන්ධතාවක් පවතින නිසා තමයි නිතරම ඇස් අල්ලන්න එපා කියලා කියන්නේ. කොවිඞ් 19 රෝගියෙක් කතා කිරීමේ දී හෝ කිවිසීමේදී ඒ බිඳිති අපේ මුහුණට ආවේ නැත්නම් සහ අපේ අත්වල වැදුණේ නැත්නම් මේ රෝගය බෝ වීමේ අවදානමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙය නතර කර ගැනීමේ සරලම ක්‍රමය තමයි නිවැරදිව අත් සේදීම. ලෝකයේ පිළිගැනීම තමයි නිවැරදි විදියට අත් සේදීම කරනවා නම් නිරෝගී අය රෝගී වෙන එකත්, රෝගී කෙනෙකුගෙන් තව කෙනෙකුට සම්ප්‍රේශණය වීමත් නතර කර ගන්න පුළුවන් කියන කාරණය. මෙය කෝවිඞ් 19 ට විතරක් නෙවෙයි සියලුම ස්වසන රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලින් ආරක්ෂා වෙන්න සබන් යොදා නිවැරදි ක්‍රම අනුගමනය කරමින් අත් සේදීම ඉතාම වැදගත්. මෙය පුරුද්දක් කර ගන්න ඕනේ.
දෙවෙනි කාරණය නිවැරදි මුහුණු ආවරණ පැළඳීම. මේ වෙද්දී ප්‍රධාන වශයෙන් මාස්ක් වර්ග තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි ගෙදර මසා ගන්නා රෙදි මාස්ක් එක. රෙදි මාස්ක්වල තිබෙන්නේ ඉතාම කුඩා සිදුරු නිසා ස්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති ඒ හරහා ගමන් කරන්නේ නැහැ. කලින් කිව්වා වගේ මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ රෝගියෙකුගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයන්ගේ බිඳිති මගින්. ඒ නිසා බිඳිති එහා මෙහා යන්නේ නැත්නම් රෝගය ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. අනිත් මාස්ක් වර්ගය පාවිච්චි කර ඉවත දමන සර්ජිකල් ෆේස් මාස්ක් එක. වැදගත්ම දේ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ එක්වරක් විතරයි. මේවා නිවැරදිව පැළඳීමටත් වරක් පාවිච්චි කර ඉවත් කිරීමටත් වගබලා ගන්න ඕන. තුන් වෙනි වර්ගය N 95 හෝ KN 95 මාස්ක් වර්ගය. එය ටිකක් මිල වැඩියි. මේවා බොහෝවිට පාවිච්චි කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ ඍජුවම රෝගියා සමග ගැටෙන අය විතරයි. මේවාත් පාවිච්චි කර ඉවත දැමිය යුතු වෙනවා.
තුන් වෙනි කාරණය තමයි සමාජ දුරස්ථභාවය. කෙනෙක් එක්ක කතා බහ කිරීමේ දී යම් දුරක් පවත්වා ගැනීමත් මේ තත්ත්වය ව්‍යාප්ත වීම වළක්වා ගන්න ඉතාම වැදගත්.

 මේ කාරණා තුන අනුගමනය කළොත් අනිවාර්යයෙන්ම රෝගයෙන් වැළකෙන්න පුළුවන්ද?
විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි පළමු කාරණා දෙක, ඒ කියන්නේ අත් සේදීම සහ මාස්ක් පැළඳීම කියන කාරණා දෙකේ නරක දෙයක් තියෙනවා. ඒ තමයි අත් බාගෙට සේදීමෙන් සහ මාස්ක් වැරදියට පැළඳීමෙන් මහජනයාට ආරක්ෂාව ගැන වැරදි හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අත් සෝදලා මාස්ක් දාලා ඉද්දී “දැන් මම ආරක්ෂිතයි” කියලා හැඟෙනවා. නමුත් අත් සෝදලා තියෙන්නේ නිවැරදි ක්‍රම අනුගමනය කරමින් නෙවෙයි නම් සහ මාස්ක් එක පැළඳගෙන ඉන්නේ වැරදියට නම් ඔවුන් කිසිසේත්ම ආරක්ෂිත වෙන්නේ නැහැ. මේකට කියනවා False Security කියලා. මේ තත්ත්වය නතර කර ගන්න නම් අඩුම තරමින් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවයවත් ආරක්ෂා කරන්න ඕනේ. මේ කියපු කාරණා තුනෙන් වැදගත්ම දෙක වෙන්නේ නිවැරදිව අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි. නමුත් මාස්ක් පැළඳීම අපේ රටේ අනිවාර්ය කරලා තිබෙන නිසා එය පළඳින්න ඕනේ. ඒ අතරම අනිත් කාරණා දෙක තරයේම කළ යුතුයි කියලා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කරලා තියෙනවා.

පුත්තලම් දිස්ත්‍රික්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය
සැපයුම් අංශයේ වෛද්‍ය
දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>