TT Ads

මෙරට කොරෝනා වසංගතයේ අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට ඒ ගැන අමතකව ඇති බවයි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ. එබැවින් කොරෝනා වසංගතය මෙලෙස නොතකා හැරීම සැබැවින්ම සුදුසුද? ලෝකය සහ ලංකාව තුළ මේ වනවිට කොරෝනා වසංගතයේ සැබෑම බලපෑම කෙබඳුද යනාදී කරුණු කාරණා ගැන කතාබහ කිරීමට මෙලෙස “රැජිනිය” සමඟ එකතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි.

කොරෝනා වසංගත තත්ත්වය තවමත් අප හැර ගිහින් නැහැ. මොකද මෙය ගෝලීය වසංගත තත්ත්වයක්. මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. අපේ රටටත් එම තත්ත්වය බලපෑම් නොකරාවි කියලා අපට කියන්න බැහැ. මොකද අපි හුදෙකලා වුණු මිනිසුන් කොට්ඨාසයක් නෙමෙයි. ලෝකයේ අනෙකුත් රටවල් සමගින් ගනුදෙනු කරන්නට අපට සිදුවෙනවා. නොබෝ දිනකින් ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීමත් සමග යළි කොරෝනා උවදුර අප වෙත ළඟාවෙන්නත් බැරි කමක් නැහැ.
ඇත්තටම මේක මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්. එනිසා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම බොහොම වැදගත්. කොහොම වුණත් රටක් විදියට අපට මෙම තත්ත්වය සාර්ථකව පාලනය කරන්නට හැකියාව ලැබුණා. රාජ්‍ය සහයෝගය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ සහයෝගය වගේම ජනතා සහයෝගයත් උපරිමව ලැබුණු නිසා තමයි මේ තරම් අඩු කාලයකින් මෙම තත්ත්වය පාලනය කරගැනීමට හැකියාව ලැබුණේ.

අමතක වෙන්න දෙන්න එපා

යම් යම් අවස්ථාවලදී මහජන සහයෝගය අඩු වැඩි වෙන අන්දම පේනවා. මොකද මේ වෙනකොට ගොඩක් අයට කොරෝනා තත්ත්වයක් තිබුණාද කියලාවත් අමතක වෙලා. සාමාන්‍යයෙන් අමතක වීම ස්වාභාවිකයි. ඒත් අප පසුගිය කාලය ගෙවා දැමූ අන්දම, ලෝකයේ බොහෝ රටවල් අදටද පවතින තත්ත්වය අමතක වෙන්න දෙන්න එපා. මොකද මේ පිළිබඳව අවධානය අඩු වූ නිමේෂයක් පවා නැවතත් රෝගය සමාජය තුළ පැතිර යන්නට ප්‍රමාණවත්.
මේ වන විට කොරෝනා දෙවැනි රැල්ලක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කතා කරනවා. ඔවුන් එම තත්ත්වය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්වා දෙනවා. එවන් මොහොතක මෙම වෛරසයත් සමඟින් ජීවත් වීමේදී අනුගමනය කළ යුතු මූලික කාරණා අමතක කර දමා අපට ඉදිරියට යන්න බැහැ.

තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ නීතී සමඟ

යම් හෙයකින් නැවත රෝගය පැතිරෙන්න ගත්තොත් රටක් විදියට හැමෝම එකතුව කරපු කැපවීමේ මහන්සිය අපතේ යනවා. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ නීතීන් අනුව ජීවත් වීමට අප කටයුතු කිරීම අවශ්‍යයි. ඒ අනුව මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම වගේම නිතර දෑත් පිරිසිදු කිරීම කියන කාරණා තවදුරටත් පවත්වාගෙන යෑම අවශ්‍යයි. ඒ දේවල් මේ රෝගය ලෝකයේ පවතින තාක් කල් අප සතුව පවත්වා ගැනීම වැදගත්.
ඒ සඳහා කොතෙක් කලක් ගතවෙයිද කියන කාරණාවට නිශ්චිත පිළිතුරක් දෙන්නට බැහැ. බොහෝදුරට වසරක් හෝ දෙකක් වෙන්න පුළුවන්. 1918 දී ඇති උණ ස්පාඤ්ඤ උණ කියන්නෙත් ලොව කැළඹූ මෙවැනිම වසංගත තත්ත්වයක්. එම තත්ත්වයත් වසර දෙකක් විතර කාලයක් පැවතුණා. ඒ අනුව කොරෝනා වෛරස තත්ත්වයත් ඒ තරම් කාලයක් අපත් සමඟින් ඉන්නට ඉඩ තියෙනවා.
පාසල් විවෘත වෙනවා… ගුවන් තොටුපළ ඇරෙනවා… රට තුළට විදේශිකයන් සංක්‍රමණය වෙනවා… ඒ අයට මඟ පෙන්වන්න වෙන්නේ අපේ රටේ ඉන්න මඟ පෙන්වන්නන්ටයි. ඉතින් මේ දේවල් එක්ක ආයෙමත් වතාවක් රට තුළට වෛරසය ඒමට තිබෙන අවදානම වැඩියි.

පාසල් ඇරඹුණු පසුව

පාසල් ආරම්භ වීම නිසා විශාල බලපෑමක් ප්‍රවාහන සේවාවෙන් මතුවෙන්න පුළුවන්. අපි හැමෝම දන්නවා අපේ දරුවන් ප්‍රවාහනය කරන වාහනවල පරතරයක් තබා ගැනීම අපහසු බව. ඒ විදියට සමාජගත වන දරුවා රෝග වාහකයෙක් විදියට ආපසු නිවසට එන්න පුළුවන්. ඒ අයගෙන් ගෙදර සිටින අයටත් රෝගය පැතිරෙන්න පුළුවන්.
කොහොමත් මේ වන විටත් පළාත් හතක අධ්‍යාපන බලධාරීන් වෙත නිවැරැදි උපදෙස් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව වාර්තා වෙනවා. එය හොඳ දෙයක් නෙමෙයි. කොහොමත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතුව හරි යාන්ත්‍රණයක් දෙන්න ඕනේ. මේ දේවල් හරියට නියාමනය කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සතුයි. මේ දේවල් හරියට කළමනාකරණය නොවුණොත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් එන්න පුළුවන්.
පාසල් පද්ධතිය තුළ පැය ගණනාවක් මුඛ ආවරණ දමාගෙන උගන්වන්න අමාරුයි. කුඩා දරුවන්ට පැය ගාණක් මුඛ ආවරණ දමාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. මේ වගේ තත්ත්වයන් නිවැරැදිව කළමනාකරණය නොකළොත් එය නැවත රෝගය පැතිර යාමට හේතුවක් වෙන්න පුළුවන්.

මැතිවරණයට පෙර හිතන්නට යමක්

මේ වෙලාවේ ගොඩක් අය හැමදේම අමතක කරලා මැතිවරණයට සූදානම් වෙනවා. මේ වෙලාවේ ඡන්දය පවත්වන එක නෙවෙයි ගැටලුවක් වෙන්නේ. ඒ සඳහා වන පෙර සූදානම. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර රැස්වීම් පවත්වනවා. ගෙයින් ගෙට යනවා. ඒක බොහොම අවදානම්. ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් මැතිවරණය පවත්වන්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශි කරගෙන රැස්වීම් පැවැත්වීම ලොකු අවදානමක්. ඒ ගැන අවධානය යොමු වීම අවශ්‍යම කාරණයක්.

විදේශිකයන් ආවොත්

ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟින් විදෙස්ගත අය එනකොට ඒ අයත් එක්ක රෝගය එන්න පුළුවන්. රටට ඇතුළු වෙනකොටම ඡක්‍ඍ පරීක්ෂණයට ලක් කරලා ඒ අය එක් වරම රට තුළට ගැනීම අවදානම්. මොකද රෝග කාරක ශරීරගතව තිබී පසුව ආසාදනය වෙන්න පුළුවන්. එහෙම නම් රටට ඇතුළු වන විදේශිකයන් නිරෝධායන කාලයකින් පසුව තමයි රට තුළ සංචරණයට අවස්ථාව ලබා දෙන්නට සිදුවෙන්නේ. ඒ වගේ නිරෝධායන කාලයක් ගත කරන්නට සංචාරකයන් කැමැති වෙයිද? මේ වගේ ප්‍රායෝගික ගැටලු බොහොමයක් මතුවෙන්න පුළුවන්.
නමුත් අද වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලක් මතුවෙන්නට පටන් අරගෙන. ඒ අනුව රෝගීන් 50, 60 වාර්තා වෙන්න අරගෙන තියෙනවා. ඒ රට එවන් තත්ත්වකට පත්ව තිබෙන්නේ ගුවන් තොටුපළ සහ නිරෝධායන මධ්‍යස්ථාන හරියට කළමනාකරණය නොවීම නිසයි. අපේ රටටත් එහෙම වෙයි ද කියන තත්ත්වයත් එක්ක අප සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්.

අවදානම තවමත්

කොහොමත් සංචාරකයන්ට රට විවෘත කළාම ඒ අය නිරෝධායනයකින් තොරව ආවොත් රට තුළදී මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ අයට මඟ පෙන්වන අයගෙ ජීවිත අවදානම්. ඉතින් ඒ අයට කියන්න වෙන්නේ , මූලික සිද්ධාන්තවලින් බැහැර වෙන්න බෑ කියලා. ඒ අනුව මීටරයක පරතරය, මුව ආවරණ, දෑත් සේදීම අනුගමනය කරනවා වගේම සමීප සුහද ගනුදෙනු බැරි බවත් අමතක කරන්න එපා. හැබැයි ඒ තුළින් 100% ක්ම අවදානම බැහැර වෙන්නේ නැහැ. ඒ වුණත් රටේ ආර්ථිකය ගොඩ නගා ගන්නට නම් අපට මේ අපහසුතා සහ අවදානම මැදින් මේ ගමන යන්නම වෙනවා.

කවුරුන් හෝ අකර්මණ්‍ය වුණොත් නැවතත් වෛරසය අප අතරට එන්න පුළුවන්. කොහොමත් ලෝකයේ කොරෝනා රෝගීන් ඉන්න තුරු අපට ඒ අවදානම ගන්න වෙනවා. ඉතින් මේ ගෙවුණු කාලය වගේම ඉස්සරහට එන කාලයත් තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කරමින් ජීවත් වෙන්නම වෙනවා. හැබැයි ගෙවුණු කාලයට වඩා ඉස්සරහට එන කාලය අවදානම වැඩිවෙන්න පුළුවන්. මොකද ගෙවුණු කාලයේ අපි හිටියේ නිවෙස්වල. අද අප සමාජගත වෙලා. එදා රට වැහිලා. නමුත් ඉස්සරහට එන කාලය රට විදේශිකයන්ට විවෘත වෙලා. මේ දේවල් එක්ක බොහොමත් පරිස්සමින් යහපත් සෞඛ්‍ය පුරුදු සමගින් අපට ජීවත් වෙන්න සිදු වෙනවා.

උපදෙස්:
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය
හරිත අලුත්ගේ

කල්හාරි දසනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>