TT Ads

 

කොරෝනා වසංගතය අන් සෑම අංශයකට මෙන්ම ක‍්‍රීඩාවටද බරපතල පහරක් එල්ල කර තිබේ.ලොව අසිරිමත්ම ක‍්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මේ වසරේ ජූලි මාසයේ ජපානයේ ටෝකියෝහිදී ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද එය ලබන වසර දක්වා කල් දැමීමට මීට මසකට පමණ පෙරදී ජපාන රජය සහ ඔලිම්පික් කමිටුව තීරණය කරනු ලැබුවේ පවතින තත්ත්වය හමුවේ ගත හැකි වෙනත් විකල්පයක් නොවූ නිසාය.එ අනුව මෙවර ඔලිම්පික් උළෙල 2021 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේදී පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ.කෙසේවෙතත්,යම්හෙයකින් කොරෝනා වසංගතය දීර්ඝ කාලීනව ලොවට බලපෑම් එල්ලකිරීම හේතුවෙන් එම දිනයේදීද ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නොහැකිවුවහොත් මෙවර ඔලිම්පික් උළෙල අවලංගු කරදැමීමට සිදුවනු ඇතැයි 2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු සභාපති යොෂිරො මෝරි පසුගියදා හෙළිකළේය.
ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබෙන්නේ යම්හෙයකින් කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේදීද ඔලිම්පික් උළෙල පැවැත්වීමට බාධා එල්ල වුවහොත් එය 2022 වසර දක්වා කල්දැමීමට සිදුවේද යන්න ගැන කළ විමසීමකදීය.කෙසේවෙතත්,මේ පිළිබද වැඩිදුර අදහස් පළකරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඉතිහාසයේ පැවැත්වුණු අන් සියලූ ඔලිම්පික් තරගාවලි වලට වඩා මෙය වටිනා එකක් බවත්,කොරෝනා අභියෝගය ජයගෙන , සැලසුම් කර ඇති පරිදි 2021 වසරේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.
මේ අතර,ජපාන වෛද්‍ය අංශ ප‍්‍රධානී Yoshitake Yokokura සැක පහළ කර තිබෙන්නේ ඉදිරි කාලය තුළ කොවිඞ් 19 රෝගය සුවකළ හැකි එන්නතක් හෝ ඖෂධයක් නිපදවීමට අපොහොසත්වුවහොත්,ලබන වසරේදීද ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට හැකිවේද යන්න සැකසහිත බවය.ජපානයේ පමණක් නොව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අනෙකුත් සියලූ රටවලද එම වසංගතය කෙතරම් දුරට පාලනය වී ඇත්ද යන්න ලබන වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට පෙර සැලකිලිමත් වියයුතු බවද ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබේ.
එළැඹෙන ඔලිම්පික් උළෙල පිළිබද මෙලෙස විවිධ මත පළවෙමින් තිබියදී ජපාන අගමැති ෂින්ශෝ ඇබේද පසුගියදා ඒ පිළිබද සිය ස්ථාවරය ප‍්‍රකාශ කර සිටියේය.ඒ පාර්ලිමේන්තුවේදී ඔහුගෙන් අසන ලද පැනයකට පිළිතුරු ලෙසිනි.එහිදී ඔහු ප‍්‍රකාශකළේ ඔලික්පික් සහ පැරාලිම්පික් යන ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගාවලි පැවැත්විය යුත්තේ ඒ සදහා සහභාගි වන සියලූදෙනා සුරක්ෂිතව ඊට එක්වන වටපිටාවක් තුළ බවත්, කොරෝනා වසංගතය දිගටම පැවැත්වුනහොත් එම තරගාවලීන් කිසි ලෙසකින්වත් පැවැත්වීමට නොහැකිවනු ඇති බවත්ය.එහෙයින් ප‍්‍රථමයෙන් වසංගතය පරාජය කිරීමට කටයුතු කළයුතු බව ඔහු පෙන්වාදී තිබේ.
මෙවර ඔලිම්පික් උළල , අවලංගු කිරීමක් සිදු නොකර කල්දමන ලද පළමු ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසයට එක්වෙයි.මීටපෙර පළමු සහ දෙවැනි ලෝක යුද සමන්හිදී , ඔලිම්පික් උළෙල පැවැත්වීම අවලංගු කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබිණි.
ජපානය ගිම්හාන ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දරන දෙවැනි වතාව මෙය වන අතර,2021 දක්වා කල්දැමුණද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නමින්ම එහි ප‍්‍රචාරක කටයුතු කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>