TT Ads

ලෝක සෞඛ්‍ය සංවිධානයද, චීනය, යුරෝපය, මෙන්ම අමෙරිකාවේද විද්වතුන් කොරෝනා වෛරසයට ප්‍රතිරෝධී එන්නතක් ‍හෝ ඖෂධයක් සොයාගන්නට දැන් කලෙක සිට වෙහෙස වෙති. එය දැන් ඖෂධ සමාගම් අතර උග්‍ර තරගයක් මතුකර තිබේ. ඊශ්‍රායල සමාගමක් තව සති. 7-10ක් ඇතුළත නව එන්නතක් ලබා දීමට බලාපොරොත්තු පළකර තිබේ. ඒ අතර ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණික ආයතනයේ විද්වත් පිරිසක්ද තමන් සතු සම්පත් යොදා ඒ පිළිබඳ විශේෂ පර්යේෂණයක් ඇරැඹීය.

ඒ ලෝකයේ කාටවත් ඒ වනවිට සිහියට නොපැමිණි නවතම අදහසක් අනුවය. මුළුමනින්ම විද්‍යාත්මක අනුමානයක් වූ ඒ නව සංකල්පය මීට පෙර විශිෂ්ට සොයාගැනීම් රැසක් සිදුකළ විද්‍යාඥයකු වන ආචාර්ය සමීර ආර්. සමරකෝන්ගේය.

කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යුහය සහ එහි අඩංගු ප්‍රවේනික ද්‍රව්‍ය අනුපිළිවෙළ පිළිබඳව චීනයෙන් පිටත විද්‍යාගාරයකදී සොයා ගැනීමත් සමග ඒ තොරතුරු ලබාගත් අපේ පර්යේෂකයෝ තමන්ගේ නව පර්යේෂණය ඇරඹූහ. ඔවුන් උත්සාහ කළේ දැනට භාවිතයේ පවතින අනුමැතිය ලත් ප්‍රතිවෛරස ඖෂධ අතරින් මේ සඳහා සුදුසු විකල්පයක් සොයා ගැනීමටය. ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදාගෙන සිදුකළ ඒ අනුමාන පර්යේෂණය සාර්ථක වීය. මෙම පර්යේෂණය ඔස්සේ නව සොයාගැනීම සිදුකළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන මහාචාර්ය කමනී තෙන්නකෝන්, ආචාර්ය සමීර ආර්. සමරකෝන් සහ ආචාර්ය කනිෂ්ක සේනතිලකය. මේ වනවිට ඔවුන් සිය සුවිශේෂී පර්යේෂණයේ දත්ත පිළිබඳ වාර්තාව අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහැර තිබේ.

කොරෝනා වෛරසවලට එම නම ලැබී ඇත්තේ එහි පිටත ඝන ප්‍රෝටීන් ආවරණයේ දක්නට ලැබෙන ඔටුනු බඳු නෙරුම් නිසාය. මේවා ඔටුනු හැඩැති නෙරුම් නිසා ලතින් බසින් ඔටුන්න යන අරුත දෙන (corona) නම එයට දී ඇත. ලංකාවේ පර්යේෂකයන්ගේ අවධානය දිනා තිබුණේද මේ පිටතින් ඇති ඝන ප්‍රෝටීන් ආවරණයේ දක්නට ලැබෙන විශේෂ ව්‍යුහයන් දෙසටය. සාමාන්‍යයෙන් වෛරසයක් මිනිස් සිරුරට ඇතුළු වූ පසු අපේ සෛල සමග ඒවා සම්බන්ධ වන්නේ එහි පිටත ආවරණයේ ඇති විශේෂ ස්ථානවලිනි. අගුලකට යතුරක් වැටෙනවා සේ සම්බන්ධ වන මේ විශේෂ ස්ථාන නොමැති නම් හෝ එකිනෙකට නොගැළපේ නම් හෝ විකෘති වී ඇත්නම් වෛරසය ඇඟට ඇතුළු වුවත් එයට වර්ධනය වෙමින් ගුණනය වී අපට හානිකරන්නට නොහැකිය. ඒ විශේෂ ලක්ෂණය අවධානයට ගත් අපේ විද්වත්හු ඒ විශේෂ අගුලු යතුරු යාන්ත්‍රණ සම්බන්ධය වළක්වාලීමට සමත් දැනට භාවිතයේ පවතින ඖෂධ ගැන දීර්ඝ පරීක්ෂාවක් ඇරඹූහ. මූලිකව ඖෂධ 3500ක් යොදාගන පෙබරවාරි මස මුල ඇරඹුණ එහි ප්‍රතිඵල දත්ත විමසා බැලීමේ දී ඖෂධ සංයෝග රැසක් ඒ සඳහා කාර්යක්ෂමව ප්‍රතික්‍රියා දක්වන බව වාර්තා විය. මේ ඖෂධ දැනටත් භාවිතය සඳහා අනුමැතිය ලබා ඇති ඒවා නිසා වෛරස පැතිර යාම මර්දනයට ඒවා කෙළින්ම යොදා ගැනීමේ හැකියාව පවතින බව ආචාර්ය සමීර සමරකෝන් පෙන්වා දෙයි. වෛරස පැතිරීම ඉහළ චීනයේ නිසා චීන බලධාරීන්ට අවශ්‍ය නම් මේ සොයාගත් ඖෂධ භාවිතයෙන් තවදුරටත් එය පැතිර යාම පාලනය කළ හැකි බව ඔහු කියයි.
මේ තරම් තදින් රෝගය පැතිරෙද්දී, මිනිසුන් මියයද්දී අලු‍තෙන්ම ඖෂධ තැනීම කල් ගතවන වැඩකි. පවතින ඖෂධ එකිනෙක ගෙන වෛරස ප්‍රතිරෝධී බව සඳහා පරීක්ෂාවද මිල අධික සහ කල් ගතවන වැඩකි. එහෙයින් දැන් ඇති දියුණු තාක්ෂණය යටතේ වෛරස ප්‍රෝටීනයේ පරිගණක ආකෘතිය සහ ඖෂධයන්හි රසායනික ආකෘති යොදා ගනිමින් ඉහත අනුමානයට අනුව වැඩකරන වඩාත් ක්‍රියාකාරී ඖෂධ සංයෝගය සොයා ගැනීම වඩා ලාබදායී, ඉක්මන්, ප්‍රතිඵලදායී ක්‍රියාවලියකි. මේ අදහස නව සංකල්පයක් ලෙස හිතට ඒමත් මෙහි ඇති අපූරුවයි. දැන් ඇත්තේ මේ ඖෂධ සායනිකව පරීක්ෂාවට ලක් කිරීම පමණි.

කොරෝනා රෝගයේ නිජබිම වූ චීනයේ පිහිටි වූහාන් වෛරස් විද්‍යායතනය හා මිලිටරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය රෝගය බෝවීම වැළැක්වීමට සමත් ඖෂධ තුනක් ගැන එය හිස එසවූ මුල්කාලයේම ලෝකයට නිර්දේශ කළේය. එම ඖෂධ තුන පසුගිය කාලයේ
“ඉබෝලා”, “මැලේරියාව”, “ඒඞ්ස්” රෝගය මර්දනයට යොදාගත් ඒවාය. තාමත් ඒවා වැඩිදුර සායනික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

මේ වන විට අලු‍ත්ම එන්නතක් තැනීමේ කාර්යයට ඊශ්‍රායලයේ         MIGAL Research Instituteඅතගසා තිබේ. ඔවුන්ද උත්සාහ දරන්නේ දැනට තමන් සතු කුරුලු‍ උණ වෛරස විරෝධී එන්නතක් වැඩි දියුණුකර භාවිතයට ගන්නටය. කුකුළන් තුළ වාර්තා වන කොරෝනා වෛරස මාදිලියකට එරෙහිව සාර්ථකව භාවිත වන මේ එන්නත කොවිඞ් 19 සඳහා වෙනස්කර භාවිත කළහැකි වෙතැයි ඔවුන් අනුමාන කරන්නේ එම වෛරස් මාදිලි 2 අතර දක්නට ලැබෙන ප්‍රවේණික ද්‍රව්‍ය සැකසුමේ සමාන කම් සලකා බලාය. ඉදිරි සති 10ක කාලය තුළ මුඛයෙන් ගතහැකි එන්නත් ඖෂධයක් තැනීම ඔවුන්ගේ උත්සහයයි.
මේ අතර චීන කොම්පැණි 4ක් ප්‍රකට ඖෂධ සමාගමක් වන NuGenerex සමග එක්ව වෛරස ප්‍රෝටීනයට බලපෑම් කරන ප්‍රබල එන්නතක් නිපදවීමට අතගසා ඇත.මේ සමාගම කුරුළු උණ, සූකර උණ, ඒඞ්ස් සහ මෙයට කලින් ආ සාර්ස් කොරෝනා රෝගයටද සාර්ථක එන්නත් නිපද වූ ආයතනයකි.

කොවිඞ් වෛරසයේ ජාන අනුපිළිවෙළ වාර්තා වී දින 42ක් ගතවනවිට නව එන්නතක් තැනීමට කෙම්බි්‍රජ් හි පිහිටා ඇති ජෛව තාක්ෂණික ඖෂධ සමාගමක් වන Moderna Therapeutics සමත්ව තිබේ. එය මේ වනවිටත් අසාත්මිකතා සහ වසංගත රෝග සඳහා වූ ජාතික ආයතනයේ අනුමැතියට යොමු කර ඇති අතර අප්‍රේල් මාසයේදී මිනිසුන් සඳහා සායනිකව පරීක්ෂාව සිදුකිරීමට හැකිවෙතැයි බලාපොරොත්තුවේ. ඉබෝලා සඳහා භාවිතකළ ඖෂධයක් වන remdesivir නමැති ඖෂධය ගැනද විශ්වාසය තැබිය හැකි බව මේ වන විට වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මෙල්බර්න්හි පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යා පර්යේෂණායතනය වන CSIRO  ආයතනය තමන් නිපද වූ එන්නතක් මේවන විටත් සතුන් යොදා පරීක්ෂාව අරඹා තිබේ.මේ එන්නත ක්‍රියාත්මක වන්නේද අපේ විද්වතුන් අනුමානකර සොයාගත් ආකාරයටම වෛරසයේ බාහිර ප්‍රෝටීන ආවරණයේ ඇති ඔටුනු වැනි නෙරුම් ආශ්‍රිතවය.
කෙසේ වුවද ලංකාවේ විද්වතුන් සිදු කළ සාර්ථක සොයා ගැනීම පිළිබඳව මේ වන විටත් කිසිදු බලධාරියෙක් හෝ ආයතනයක් ඔවුන්ගේ අවධානය යොමු කර නැති බව දැනගන්නට ලැබීම කනගාටුවට කරුණකි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>