TT Ads

කොරෝනා වසංගත තත්ත්වය දවසින් දවස වෙනස් වෙනවා. හැම දවසකම අලුතින් රෝගීන් කීප දෙනක් හමුවෙනවා. හෙට වෙන කොට අපිටත් හැදෙන්න බැරිද කියලා දන්න අඳුනන අය අහන්න පටන් අරගෙන. ඉතින් ලෙඩේ හදාගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියල අහන අයට කියන්න තියෙන්නෙ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමයි හොඳම දේ කියලා.

ඒත් අපි කාටවත් හැමදාම ගේ ඇතුලට වෙලා ඉන්න පුලුවන් කමක් නෑ. මොනව නැතත් කෑම ටික ගන්න හරි එළියට යන්න වෙනව. ඇඳිරි නීතිය ලිහිල් කරපු ගමන් හැමෝම බලන්නේ කඩේට ගිහින් ගෙදරට අවශ්‍යම කරන කෑම බීම ටික හරි අරගෙන එන්නයි.අන්න ඒ වගේ වෙලාවට ගෙදරින් යනකොට තනියම යන ඔයාල ආපහු එනකොට තනියම එන්නෙ නැතුව කොරෝනා වත් ගෙදර එක්කගෙන එන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි අපි කල්පනාවෙන් වැඩ කලොත් කොරෝනා නැතුව ගෙදරින් යන ඔයාට කොරෝනා නැතිවම ආපහු ගෙදර ඇතුලට එන්න පුලුවන්. කඩේ හිටපු කොරෝනා ඔයාලත් එක්ක ආවත් වෛරසය එලියෙ තියල ඔයාලට විතරක් ගෙදර ඇතුලට යන්න පුලුවන්. එතකොට කඩේ යන කෙනා වගේම ගෙදර ඉන්න අයත් ආරක්ශිතයි.

මේ දවස් වල වැදගත් ම දේ කඩේ යන වාර ගනන වගේම ගෙදරින් එලියෙ ඉන්න කාලය අඩු කරගන්න එක. ඒ නිසා කලින් ම සූදානම් වෙන්න.

බඩු ලයිස්තුව හදාගන්න. ගෙදරින් එළියට යන්නෙ එක්කෙනෙක් නිසා ගෙදර හැමෝම එක්ක කතා කරල හරියටම ලයිස්තුව හදාගන්න. ඒ වගෙම ඒ ඒ බඩු ගන්නෙ කොහෙන්ද කියලා පොඩි අදහසක් තියාගන්න. කොයි තරම් සල්ලි ඕනෙද කියලා හරියටම කලින් දැනගන්න . මාරු සල්ලි තියෙනවා නම් අරගෙන යන්න.ගෙදරින් බෑග් අරගෙන යන්න. හෝදලා වේලන්න පුලුවන් ඒව නම් හොඳයි.

පුලුවන් හැම වෙලාවකම ගෙදර ඉන්න වයස 40ට අඩු නිරෝගී කෙනෙක් කඩේ යන වැඩේ කරන්න. වයස 60ට වැඩි වගේම දියවැඩියාව ප්‍රෙශර් වගේ ලෙඩ වලට බෙහෙත් ගන්න අය එලියට යවන එක අඩු කරල ඒ අයට ගෙන්න ඕනෙ දෙවල් ගෙනත් දෙන්න. අල්ලපු ගෙදර හරි කඩේ යවාගන්න කෙනෙක් නැති එහෙම කෙනෙක් ඉන්නව නම් ඒ අයට උවමනා දේවල් ගෙන්න ගන්න උදවු කරන්න.

ඊලඟට ඇඳුම.ටී ශර්ට් වගේ ඔලුවෙන් ගලවන ඇඳුම් තෝරගන්න එපා. බොත්තම් තියෙන ඇඳුමක් තෝරගන්න. මොකද ඇඳුමෙ වෛරසය තිබ්බොත් ගලවනකොට මූන පුරා ගෑවෙනව. ඒ වගේම අමතර පලඳනා අඩු කරන්න. අතේ ගැටගහල තියෙන දේවල් , ඔරලෝසු වුනත්. ඔබ ටයි එකක් දාන කෙනෙක් නම් ඒක නැතුව කඩේ යනව නම් හොඳයි.

ඇඟට තද ඇඳුමක් ඇඳගෙන යන්න. සුපර් මාර්කට් එකක රාක්ක දෙකක් මැදින් යනකොට හතර අතේ ගෑවි ගෑවි යන ඇඳුමක් හොඳ නැති බව තේරුම් ගන්නම වෙනව.ජන්ගම දුරකතනය තියල යන්න පුලුවන් තරම් උත්සහ කරන්න. වෛරසය මූනෙ ගාගන්න හොඳම විදිහ තමයි ජංගම දුරකතනය මූණෙ තියාගන්න එක. බැරිම නම් හෑන්ඩ්ස් ෆ්‍රී එකක් පාවිච්චි කරන්න.

ගෙදර දොර ළඟ  අත සෝදන්න පුලුවන් තැනක් හදන්න. භාජනේකට වතුර ටිකකුයි සබන් කෑල්ලකුයි තිබ්බම ඇති. හැබැයි ගෙයි දොරට එළියෙන්.

ගේන බඩු ටික තියන්න එලියෙන් පොඩි තැනක් ලෑස්ති කරල තියන්න.දැන් තමයි වැදගත්ම දේ. ගෙදරින් එලියට බහින ඔබට හිතන්න වෙනව ගෑවෙන හැම තැනම වෛරසය තියෙනවා කියලා.

සරලවම කිවුවොත් මුලු පරිසරයම ඇතුල එලිය හැම තැනම,ඔබ මිලදී ගන්න හැම බඩුවකම වගේම ඔබ ට හමුවෙන හැම මනුස්සයගෙම වේලිලා නැති තීන්ත ජාතියක් ගාල තියෙනවා කියලා. ඔබට පුලුවන් නම් මේ කියන තීන්ත බින්දුවක් වත් ගේ ඇතුලට අරන් යන්නෙ නැතුව ඉන්න ඔබ දිනුම්. හැබැයි ඒක කොහොමටවත් ලේසි නෑ.

ඒක කරන්න නම් මූලිකවම ඔබට කරන්න වෙන වැදගත් දෙයක් තියෙනව. ඒ තමයි කඩේ ගිහින් ගෙදර එනකල් මොනම හේතුවක් නිසා වත් ඔබේ මුහුන අතින් නොඅල්ලා ඉන්න එක. සාමාන්‍ය කෙනෙක් පැයකට විසි වතාවක් වත් මුහුන අල්ලනවා නොදැනුවත්වම. ඉතින් ඒක ලේසි නෑ.ඔබට පුලුවන් කමක් තියෙනවා නම් ඔන් ලයින් සල්ලි ගෙවන්න ඒක තමයි හොඳම. දන්න කියන කඩයක් නම් කෙලින්ම ගිනුමෙන් සල්ලි යවන්න ඔබ සෑහෙන්න ආරක්ශිතයි. ඒත් හැමවෙලාවෙම ඒක කරන්න බෑ.

ඊලඟ කඩුල්ල තමයි ඒ ටී එම් එක.ඒක ලේසි නෑ. කොරෝනා රෝගියක් කලින් ඇවිත් ගිහින් තිබ්බොත් කී පෑඩ් එකේ වඓරසය ඉන්න ලොකු ඉඩක් තියෙනවා. මම ඔබට කියන්නෙ එක්කො ටූත් පික් එකක් හරි කොට්න් බඩ් එකක් හරි ගෙනියන්න. නැතිනම් අතට දාගන්න පුලුවන් පොඩි ශොපින් බෑග් එකක්. බෑග් එක අතට දාගෙන අංක ටික ඔබල සල්ලි ටික ගන්න පුලුවන්. මොකක් හරි කමක් නෑ කී පෑඩ් එක අතේ ගෑවෙන්නෙ නැති ක්‍රමයක් පාවිච්චි කරන්න.

කඩේකින් උනත්, ලොරියකින් වුනත් ඕනෙම දෙයක් ගන්නකොට බඩු විකුනන අය මාස්ක් එකක් , තොප්පියක් දාගෙන ඉන්නවද බලන්න. එහෙම තැන් වලින් ගන්නව නම් හොඳයි.බඩු ගන්න වෙලාවට වැදගත් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ගන්නෙ මොනවද කියන එක.

අත්‍යාවශ්‍යම දේවල් විතරක් ගන්න. ඒ වගේම පුලුවන් තරං අඩුවෙන් කඩේ එන්න වෙන විදිහට දේවල් තෝරාගන්න. කල් තියාගන්න පුලුවන් දේවල් වැඩියෙන් ගන්න. හැම දෙයකම කල් ඉකුත් වන දිනය බලන්න. මොකද වෙනදට වගේ ගෙදර ගෙනිහින් ආයෙ අරන් එන්න බෑ.

සෝදන්න පුලුවන් දේවල් ගන්න. කෑම ජාති වුනත්. බේකරි කෑම වගේ පිරිසිදු කරගන්න බැරි කෑම නොගන්නව නම් තමයි හොඳ. මොකද නිරාවරනය වුනු බනිස් එකක් උඩ වෛරසය තිබ්බොත් ඒක ඉවත් කරගන්න කිසිම විදිහක් නෑ.

සාමාන්‍ය කඩේකට යනවා නම් පැහැදිලිව බඩු ලයිස්තුව ලියගෙන යන්න. ඔබට පුලුවන් ඒක දීල සෙනග අතරෙ තෙරපෙන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න. බඩු ටික ලෑස්ති උනාම අරගෙන ඉක්මනින් පිටවෙන්න.

ගෙදර කවුරු හරි අන්තර්ජාලය හරහා බැංකු කටයුතු කරනවා නම් ඒ ගිනුමට සල්ලි ටිකක් දාල බිල් ගෙවන දේවල් ඒකෙන් කරගන්න.

මේ ගමන අතර තුර කොහේ හරි තැනක අත සෝදන්න ලැබුනොත් දෙපාරක් හිතන්නෙ නැතුව ඒක කරන්න.

පිටත් වෙන්න කලින් මග ඇරුන දෙයක් තියෙනවා නම් හොයලා බලන්න. ආයෙ එන්න බෑ.

දැන් ඔබ බඩු ටිකත් අරන් ගෙදර එනව. වෛරසයත් අරගෙන. ඒකට කමක් නෑ. මේ වෙනකල් වෛරසය ඔබේ මූනෙ ගාගෙන නැත්තම් ඔබ දිනුම්.ගෙදර ගේට්ටුවක් තියෙනවා නම් ඒක අරින්න එපා. ඇතුලෙ ඉන්න කෙනෙකුට කතා කරල ගේට්ටුව ඇර ගන්න. ගේට්ටුවෙ ගෑවෙන්නෙ නැතුව ඇතුලට යන්න. බඩු අල්ලන්න ගෙදර අය ගෙ උදවු ගන්න එපා. නැත්තම් පුරුද්දට හැමෝම ගේට්ටුව ලඟට ඇවිත් බඩු ටික ඇතුලට අරන් යයි. එතකොට කරපු ඔක්කොම ඉවරයි.

දැන් බඩු ටික කලින් ලෑස්ති කරපු තැන තියන්න. ඔබ ගෙනා හැම දේමත් , පර්ස් එක ඉතුරු සල්ලී හැම දෙයක් ම තියන්න. ඊට පස්සෙ හොඳින් අත සෝදන්න.බැරි වෙලාවත් ඔබ ගේ ඇතුලට ගිහින් අත සෝදන්න හිටිය නම් අතේ ඉන්න වෛරසය දොරට මාරු වෙන්න පුලුවන්.

දැන් පුලුවන් කෙලින්ම නාන තැනට ගිහින් හොඳින් නාගන්න. ඇඳුම් ටිකත් හෝදගන්න. මතක තියාගන්න. මූන අල්ලන්න එපා. නාන කාමරය තියෙන්නෙ ගේ ඇතුලෙ නම් කොහේවත් ගෑවෙන්නෙ නැතුව නාන කාමරයට යන්න. ඇඳුම් තුවාය කලින් ලෑස්ති කරල තියල යන්න.නාන කාමරේට යන පාරෙ දොර රෙදි තියෙනවා නම් අයින් කරල තියන්න.නාල ආවම ඔබ වෛරසයෙන් නිදහස්.

දැන් තමයි දෙවැනි කොටස.ගෙනාපු දේවල් වටේ තියෙන මලු ඉවත් කරල, පුලුවන් හැම දෙයක් ම සබන් දාල සෝදගන්න. අතට ග්ලවුස් දෙකක් දාගන්න පුලුවන් නම් හොඳයි. දෙතුන් දෙනා සම්බන්ද නොවී තනියම කරනවා නම් හොඳයි.

දැන් බෑග් ටිකයි අත් වැසුමුයි ඉවත් කරල, අත් සෝදල බඩු ටික ඇතුලට ගන්න.මතක තියාගන්න, ඔය අතරෙ ෆෝන් එක අල්ලන්න එපා.මේක ටිකක් අමාරු වැඩක්. ඒත් අපිට වෙන විකල්පයක් නෑ. අපේම වැරදි හැසිරීම් නිසා තව ටික දවසකින් වෛරසය නිදහසේ සමාජයේ බෝවෙන තත්වයක් ආවොත් අපිට මේ කියපු දේවල් හරියටම පුරුදු වෙලා ඉන්න වෙනවා.

වෛද්‍ය නුවන් තොටවත්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>