TT Ads

ඔබේ නිවහනේ ගෙවත්තේ සිට සඳැල්ල දක්වා සිදු කෙරෙන බව බෝග සඳහා වගා මාධ්‍යයක් ලෙස කොහුබත්වලින් ලැබෙනුයේ සුවිසල් පිටුබලයකි.
ලෝකයේ කෘෂි තාක්‍ෂණය නවමං සොයා කරන ලද පරීක්‍ෂණවලට අනුව කිසියම් බෝගයක් වැවීම සඳහා පසෙහි ඇති සියලූ ගුණාංගයන් සහිත විකල්පයක් ලෙස කොහුබත් සොයා ගැනුණේ කලකට පෙරය. විශේෂයෙන් සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් බැහැර වී නවීන ශිල්පීය ක‍්‍රම උපයෝගී කර ගනිමින් ඉහළ ඵලදාවක් ලැබීම සදහා කොහුබත් ප‍්‍රධාන වගා මාධ්‍ය ලෙස භාවිතයට ගැනීම ඉතාම සාර්ථක ක‍්‍රමයකි.
වගා මාධ්‍යයක තිබිය යුතු මූලික ලක්‍ෂණ කිහිපයක් ඇත. එ් අතර මුල්ම ලක්‍ෂණය වන්නේ ශාකයක් හෝ පැළයක් ශක්තිමත්ව රඳවා තබාගැනීමට ඇති හැකියාවය. එම හැකියාව පසට තරමටම කොහුබත්වලටද ඇත. කොහුබත්වල බහුල ලිග්නින්  නමැති ද්‍රව්‍යය මේ සඳහා උපකාරී වේ. එ් හැරුණු විට ඉක්මනින් දිරාපත් නොවන ලක්‍ෂණය ජලය රඳවා ගැනීමට ඇති හැකියාව හා ඔක්සිජන් ගමන් කිරීමට පවා කුටීර පසේ තරමටම කොහුබත්වල පැවතීම පසට ඇති හොඳම විකල්පය ලෙස කොහුබත් යොදා ගැනීමට හේතු විය. එ් හැරුණු විට බෝගයේ වර්ධනය සඳහා පිටතින් ලබාදිය යුතු මූල ද්‍රව්‍යයන් කොහුබත් හරහා පහසුවෙන් ලබා දීමට හැකි බැවින්ද පාංශු මාධ්‍යයට වඩා ව්‍යාපාරික බෝග වගාවේදී වැඩි වාසි සලසා දෙන මාධ්‍යයක් ලෙස කොහුබත් කැපී පෙනේ. එ් අනුව වර්තමානය වනවිට කොහුබත් පිරවූ කුඩා බඳුනක් තුළ නිවසේ කුස්සියේ, සාලයේ හෝ විසිත්ත කාමරයේ ඉතා සරු ඵලදාවකින් යුතු එළවළු, මල් හෝ වෙනත් විසිතුරු ශාකයක් පහසුවෙන් වගා කිරීමට පුළුවන.
වගා මාධ්‍ය ලෙසින් කොහු බත් භාවිතයට ගත් මුල්කාලයේ පස් තරමටම කොහුබත් යොදා ගැනීම සිදුවිය. එනමුත් වර්තමානය වනවිට කෘෂි තාක්‍ෂණය කොයි තරම් දියුණු වී ඇත්දැයි කිවහොත් රුපියල් දෙකේ කාසියක තරම් කුඩා තෙරපීමකට ලක්කළ කොහුබත් ඇසුරුමක ජලය යොදා ලිහිල් කිරීමට ලක් කිරීමෙන් පසු මිරිස්, වම්බටු, තක්කාලි වැනි බෝගයක් හෝ විසිතුරු මල් පැලයක් ඉතා සාරවත්ව පැළකර ගැනීමේ මට්ටමට පැමිණ ඇත. ඉන්පසුව එය තමන් කැමති බිමක හෝ කොහුබත් වලින්ම සැකසූ වගා බෑගයක තැන්පත් කර ඉතා සාරවත්ව වර්ධනය කරගත හැක.
මුල්කාලයේ තවානකින් ලබාගත් පැළ කොහුබත් මධ්‍යයේ සිටුවා අස්වැන්නක් ලබා ගත්තත් තවාන් සදහා ද කොහුබත් යොදා ගැනීම වඩාත් ප‍්‍රතිඵල දායක බව තහවුරු වී ඇත. එ් අනුව අතීතයේදී භාවිතයට ගැනුණු කුට්ටි තවාන් ක‍්‍රමය ආදර්ශයට ගනිමින් කුඩා කොහුබත් පැලට් මත ඇට සිටුවා එය පැළ වීමෙන් පසු එම කොහුබත් කුට්ටිය සමගම මධ්‍යයක සිටුවා ගැනීම පැළයට සිදුවිය හැකි අපහසුතා බොහොමයක් මගහැරවීමට හේතුව වේ.
සාමාන්‍යයෙන් අපට හුරුපුරුදු ක‍්‍රමයට අනුව තවානක් දමා ගැනීමෙන් පසු ඉන් පැළය ගලවා නැවත වෙනත් මධ්‍යයක සිටුවා ගැනීම සිදුවිය. නමුත් එ් තුළින් පැළයේ මුල් කැඞීයාම තුළින් පැළයේ වර්ධනයට හානි සිදුවේ. නමුත් නවීනතම සොයා ගැනීමට අනුව කොහුබත් පැලට්ටුව තවානක් ලෙස භාවිතා කිරීම තුළින් පැළයට වෙනසක් සිදු නොවීම ප‍්‍රවාහනයට ඉතා පහසු වීම, වර්ධනය වේගය වැඩි හා තවාන් කාලය ඉතා අඩු වීම සුවිශේෂය. මේ නිසා කෙටිකලක් තුළ සරු ඵලදාවක් ලබා ගැනීමට මෙම ක‍්‍රමය සාර්ථක ක‍්‍රමයකි.
කොහුබත් පැලට්ටුව විවිධ ප‍්‍රමාණයට සකසා ඇති අතර කෙසෙල් වැනි බෝග පවා පැළකළ හැකි මට්ටමට පිළියෙළ කර ඇත. දැල් කවරයකට කොහු බත් පුරවා පීඩනයකට ලක්කර කැටිකර ගැනීම තුළින් මෙම පැලැට්ටු නිෂ්පාදනය කර ඇත. අවශ්‍ය විටෙක ජලය යෙදූවිට පැලැට්ටුව ලිහිල් වී බීජයක් පැළ කිරීමට අවශ්‍ය සාධක සපුරා දෙයි. මේවා මිලදී ගැනීමට සුළු මුදලක් වැයවන නමුත් කාලය, ශ‍්‍රමය හා ඵලදාව හා වගා කිරීමේ පහසුව පිළිබඳව අවධාය යොමු කරන විට එය මුදල ආයෝජනයකි. එ් පුංචි ඉඩකඩක් තුළ, ඉහළ මාලයක සඳළුතලයක හෝ විසිත්ත කාමරයක වුව සරු ඵලදාවක් සහිත බෝගයක් ආයාසයකින් තොරව වගා කරගැනීමට හැකිවීමය. මේ තුළින් ආර්ථික වශයෙන් සැලසෙන වාසියට අමතරව මානසික වශයෙන් ලබන තෘප්තිය වටිනාකම මිලකළ නොහැක.

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>