TT Ads

ජීවිතයේ කවර දිනෙකවත් තරහා නොගිය කෙනෙක් සොයා ගත නොහැකිය. පෘථග්ජන අප කාටත් ඕනෑම මොහොතක කුමන කරුණක් නිසා හෝ තරහ ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. අපට තරහක් ඇති වන්නේ තව කෙනෙක් නිසාය. මෙයට මුල් වන්නේ වෙනත් අයකු වුවත් තරහ ඇති වන්නේ අපේ සිතේය. එනිසා අනිකකු ඇති කරන දෙයක් හේතුවෙන් අපේ සිතට මහත් අලාභයක් සිදු වෙයි.
එසේ නම් අපට වන ඒ අලාභය, පාඩුව නැති කර ගන්නේ කෙසේද?

දැන්, මේ මොහොතේ කිසිවකු ඔබව කෝපයට පත් කරවන දෙයක් කීවේ හෝ කළේ යැයි සිතන්න. ඒ අනුව දැන් ඔබේ සිතේ තරහක් ජනිත වී ඇත. ඔබට තරහක් ඇති වූ විට ඔබේ සිතට එය ඔබෙන් සඟවා
ගැනීමට හැකියාවක් නැත. එසේනම් “මගෙ හිතේ දැන් තරහක් ඇති වී තිබෙනවා” යනුවෙන් ඔබ ඒ තරහ හඳුනා ගන්න. තරහ දුරු කර ගන්නට නම් තරහක් සිතේ ඇති වී තිබෙන බව දැන ගත යුතු වෙයි.

මීළඟට ඔබ මෙසේ කල්පනා කරන්න. මේ කෝප සහගත සිතිවිල්ල නිසා ඔබට සිදුවන හානි බොහෝය. ඔබේ සිරුර වෙව්ලයි. ලේ ගමනා ගමනය වේගවත් වෙයි. මුහුණ අඳුරු වෙයි. මුහුණේ මස් පිඬු ඇද වී ගොස් ඔබේ මුහුණේ විකෘති පෙනුමක් ඇතිවේ. ඒ අනුව මුහුණ මුළුමනින්ම අවලස්සන වෙයි. “මූණට අබ අහුරක් දැම්මත් පුපුරනවා” යැයි තරහ ගිය අය ගැන සමහරුන් කියන අන්දම ඔබත් බොහෝ විට අසා ඇතිවාට සැක නැත. එයට හේතුව තරහ ගිය විට ඇඟේ රුධිරය උණුසුම් වීමය. මෙවැනි දේවල්වලින් ඔබට සිදුවන අවැඩ මෙනෙහි කරන්න. පාඩුව මෙනෙහි කරන්න. නිතර තරහ යන කෙනෙකුගේ ලේ ධාතුව අපිරිසිදු වෙයි. එනිසා අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් ආදී වූ ලෙඩ රෝග රාශියක් හට ගත හැකිය. රුධිරයේ සීනි මට්ටම වැඩි වීමටත් නිතර හට ගන්නා තරහ බලපායි. එසේම තරහ සිතිවිලි ක්‍රියාත්මක වීම තුළ ඔබට ලැබෙන්නට නියමිත ලාබ පවා අහිමි වී යන්නට පුළුවන. ඔබට පමණක් නොව ඔබ නිසා ඔබේ සමීපතමයන්ට පවා පාඩු සිදුවීමට ඉඩ ඇත. එසේම ඔබේ තරහව නිසා බිරිඳ/දරුවන් රෝගී වීමට වුව හැකියාව තිබේ. තරහ උපරිමයට ගිය විට සිය දිවි නසා ගැනීමට, ඔබව කෝපයට පත් කළ පුද්ගලයා මරා දැමීමට, ඒ පුද්ගලයා මරා ඔබත් සිය දිවි නසා ගැනීමට වුව සිතක් ඇති වන්නට බැරි කමක් නැත. ඔබ තුළ තරහවක් ඇති කළේ යම් දෙයක් අහිමි වීම නිසා නම් ඒ අහිමි වූ දෙය තව කෙනෙකුට හිමි වීම වැළැක්වීම සඳහා එය විනාශ කර දැමීමට වුව ඔබ පෙළඹෙන්නට බැරි කමක් නැත.

අනෙක් අතට තරහ පදනම් කර ගෙන එයට ප්‍රතිචාර දක්වන්නට යාම තුළ ප්‍රතිවාදියාගෙන් එල්ල වන ප්‍රහාරයක් නිසා සදාකාලික ආබාධිත වීමට, මිය යාමට, දේපොළ අහිමි වීමට, සිර දඬුවම් විඳීමට පවා සිදු විය හැකි බව අමතක නොකළ යුතුය. එනිසා සිතේ තරහක් හෙවත් ද්වේෂයක් හට ගත් කල එය නැති කර ගන්නේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් වනු ඇත.

මෙහිදී මුලින්ම කළ යුත්තේ සිතිවිල්ල හඳුනා ගැනීමය.
“මට මේ ඇවිත් තියෙන්නේ තරහක්. ද්වේෂ සිතක්” යන්න දැන ගන්න. ඉන්පසු එහි ආදීනවයන් එනම් තරහව නිසා ඔබට ඇති විය හැකි ඉහත දැක්වූ ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරගන්න. (සදෝස චිත්තංති පජානාති)

ඒ අනුව තරහ නැති කර ගැනීම සඳහා සිතේ කැමැත්තක් ඇති කරන්න ගන්න. (ඡන්දං ජනේති)

ඒ සඳහා වෑයම් කිරීමද කළ යුතුය. (වායමතී)

වීර්යය ආරම්භ කළ යුතුය (විරියං ආරභතී)

“නෑ මං කේන්ති ගන්නෙ නෑ” යනුවෙන් සිත තද කර ගත යුතුය. (චිත්තං පග්ගන්හාති)

කෝපය හෙවත් තරහ ආකාර 2කි. ඒ සාමාන්‍ය කෝපය සහ ක්ෂණික කෝපයයි.

කෝපය පදනම් කරගෙන වෛරය ඇතිවේ. වෛරයද ආකාර 2කි. සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරයයි.

කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකිය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ “අල්ලා හිටින” දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරයයි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.

තරහ දුරු කර ගන්නා ආකාරය පිළිබඳව අංගුත්තර නිකායේ එන ආඝාත පටිවිනය සූත්‍රයෙහි විස්තර වේ. මේ සූත්‍රය ආඝාත පටිවිනය 1 සහ 2 ලෙසින් කොටස් දෙකකි. ආඝාතය යනු කෝපයයි. පටිවිනය යනු දුරු කිරීමයි.
මෙහි පළමු සූත්‍රයෙහි කරුණු 5ක් පදනම් කරගෙන තමන් තුළ ගොඩ නැගුනු ද්වේෂය දුරු කර ගන්නා අන්දම දැක්වේ.

1. ඒ තරහව ඔබ තුළ ඇති කළේ යම් පුද්ගලයකු නම් ඔහුට/ඇයට මෛත්‍රී කරන්න.

2. ඔහු/ඇය කෙරෙහි කරුණාව ඇති කර ගන්න.

3. ඒ පුද්ගලයා පිළිබඳ මැදහත් සිතින් සිතන්න. නිදසුනක් ලෙස ඔබ පිළිබඳව වැරදි දෙයක් ඔබේ හිතවතකු විසින් ඔබේ ප්‍රධානියාට පවසා ඇතැයි සිතමු. එවිට ඔබ තුළ තදබල කෝපයක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් මේ විදිහෙ යටිකූට්ටු වැඩ කිරීම, කේලාම් කීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒක ඒ මනුෂ්‍යයාගේ දුර්වල කමක්. ඒ නිසා මං ඒ ගැන කලබල වෙන්න ඕන නෑ” යනුවෙන් මැදහත්
සිතින් සිතීමට ඔබ පුරුදු පුහුණු විය යුතුය.

4. යම් පුද්ගලයකු ඔබ තුළ තරහක් ඇති කළේ නම් ඒ පුද්ගලයා සහ එම කාරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් වැළකී හිඳින්න. බොහෝ විට අප කරන්නේ ඒ ගැන සිත සිතා හීල්ලීම, හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම ආදියයි. නමුත් ඔබට ඒ පුද්ගලයා පිළිබඳ යළි යළිත් මෙනෙහි වන්නේ නම් සහ ඒ හැම විටම කෝපය අලුත් වන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ
පුද්ගලයාට මෛත්‍රී කිරීමයි. කරුණාවක් ඇති කර ගැනීමයි. උපේක්ෂාව ඇති කර ගැනීමයි.

5. එය ඒ පුද්ගලයාගේ කර්ම ස්වභාවය යැයි සිතා අනුකම්පා කරන්න.

මේ ආකාරයට කටයුතු කරන විට ඔබ තුළ තරහ හට ගැනීම වැළකී යයි.

කරන්දෙනියේ, උණගස්වෙල සිරි නිවේසාරාමාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ අවධාරණය කරති

සැකසුම – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>