TT Ads

අගාධයකට වැටිලා තිබුණු ජීවිතයක් ඉන් ගොඩ අරන් හරි මාර්ගයේ ගමන් කරන්න කියලා දුන්න කෙනෙකු විසින්ම නැවතත් එම ජීවිතය අගාධයට ඇදලා දාන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? “සැමියෙක් නැතිව ඉන්නවාට වඩා මෙහෙම හරි කෙනෙක් ඉන්න එක හොඳයි. ඒ නිසා ඉවසනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ” මෙහෙම කියන්නේ නාඩියා. නාඩියාට දැන් වයස අවුරුදු 16 යි. ඇය දෙදරු මවක්. ජීවත් වෙන්නේ කර්නාටක ප්‍රාන්තයේ දුෂ්කර ගමක.

මීට අවුරුදු 4 කට කලින්, ඒ කියන්නේ ඇයට වයස අවුරුදු 12 දී ඇගේ තාත්තා ඇයව මෙහෙකාරකමට විකුණුවා. නමුත් ඇත්තටම ඇයට කරන්න වුණේ මෙහෙකාර සේවයක් නෙවෙයි කියලා දැන ගත්තේ ඇයව මිලදී ගත් පුද්ගලයා නාඩියාව එක්කගෙන ගිහින් කාමර ගොඩාක් තියන ලොකු ගෙදරක හිටපු වයසක කාන්තාවකගේ භාරයට ඇයව පත් කළාට පස්සෙයි. ඇයට හැම රැයකම හැම දවාලකම කරන්න වුණේ පිරිමින්ව ලිංගිකව සතුටු කරවන එකයි. මුලදී එය නුහුරු වුණත් අර කාන්තාවගේ උදව්වෙන් ඇය ඒ වැඬේට ප්‍රවීණයෙක් බවට පත් වුණා. මේ විදියට අවුරුද්දක ගෙවුණා. දවසක් ඇයගේ පහස ලැබූ එක් තරුණයෙක් පිට පිට දවස් තුනක් ඇය සොයාගෙන ආවා. තුන් වෙනි දවසේ ඔහු “අපි බඳිමු. ඔයා ඉන්න ඕන මේ වගේ තැනක නෙවෙයි” කියලා කිව්වා. ඉන් දවස් කීපයකට පස්සේ ඇය හොර රහසේ අර කාමර ගොඩක් තියෙන ගෙදරින් පැනලා ඔහුත් එක්ක ගියා.
අවුරුද්දක් විතර ගත වෙනකන් ඔවුන් සතුටින් හිටියා. ඉන් පස්සේ ගතවුණු අවුරුදු තුන ඇතුළත ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. ඒ කාලයේ තමයි මුළු ලෝකයටම වගේම කර්නාටක ප්‍රාන්තයටත් කොරෝනා වසංගතය හමාගෙන ආවේ. . නාඩියාගේ සැමියා රැකියාව විදියට කළේ නාට්ටාමි වැඬේ. කොරෝනාවත් එක්ක ඔහුට රස්සාව නැති වුණා. සතියක් දෙකක් යද්දී කන්න බොන්න පවා මිල මුදල් නැති වුණා. ඒ කාලේ තමයි ඔහුට මතක් වුණේ සල්ලි උල්පතක් තමන්ගේ නිවසේ සිටින බව. ඒ තමයි නාඩියා. ඔහු නාඩියාව පුරුදු රස්සාවට යවලා මුදල් ටිකක් උපයා ගන්න සැලසුම් කළා. නමුත් නාඩියා මෙය එකහෙලා ප්‍රතික්ෂේප කළා. ඉන් පස්සේ තමයි ඇයට ගුටි බැට වැදෙන්න පටන් ගත්තේ. ඒ විතරක්ම නෙවෙයි. ඇය ගණිකා සේවයේ නිරත වෙලා මුදල් ඉපැයීමට අකමැති වුණොත් ඔහු ඇයව අතහැර යන බව වරින් වර ඔහු මතක් කළා. එහෙම වුණොත් දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක්, තමන්ට සැමියෙක් නැති වෙනවා. ඉන්දියාව වගේ රටක, කර්නාටක ප්‍රාන්තය වගේ ප්‍රදේශයක සැමියෙක් නැතිව ජීවත් වීම හරියට නිර්වස්ත්‍රයෙන් ජීවත් වෙනවා හා සමානයි.
ඒ වෙද්දී දරුවෝ දෙන්නෙක් ඉන්න අවුරුදු 16 ක් වුණු නාඩියා තීරණයක් ගත්තා. වසංගතේ ඉවර වෙලා යළිත් නාට්ටාමි රස්සාව ලැබෙනකන් විතරයි ඒ රස්සාව කරන්නේ කියලා සපථ කරපු ඇය හිත හදා ගත්තා. . මේ වෙද්දී ඇය නැවතත් ගණිකා සේවයේ යෙදෙන්න පටන් අරන්. උදේම ගෙදර වැඩ කරලා දරුවන්ට කෑම හදලා කවලා ඇය ගෙදරින් පිට වෙනවා. ඔහු මුළු දවසම දරුවෝ දෙන්නා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. නගරාසන්නයේ සෙනඟ ගැවසෙන හරියේ පාරට වෙලා ඉද්දී ඇයට දවසකට ගනුදෙනුකරුවන් හතර දෙනෙක් පස් දෙනෙක් විතර හමු වෙනවා. ඒ කියන්නේ හොඳ ආදායමක්. හවසට ඇය ගෙදර එනකන් බලාගෙන් ඉඳලා ඒ සල්ලි ටිකත් අරගෙන නාඩියාගේ සැමියා යන්නේ තැබෑරුමට. ගමේ අයට කියලා තියෙන්නේ ඇය හැමදාම උදේට උදේට යන්නේ ලෙඩ වෙච්ච වයසක ජෝඩුවක් බලාගන්න රස්සාවකට කියලයි.


අද වෙද්දී කොරෝනා වසංගතය නිසා වසා දමා තිබූ කර්නාටක ප්‍රාන්තය විවෘත කරලා. ඒ වගේම නගරයේ නාට්ටාමිලත් වැඩ පටන් අරන්. නමුත් නාඩියාගේ සැමියා වැඩට යන්නේ නෑ. මොකද, ඔහු දන්නවා දවසකට මුට්ට තිහ හතළිහක් කර ගැහුවත් නාඩියා හොයන තරම් මුදලක් ඔහුට හොයන්න බෑ කියලා. ඒ නිසා ඔහු වැඩට යන්නේ නෑ. ඒත් නාඩියාට හැමදාම වැඩට යන්න වෙනවා. නොගියොත් ඔහු බය කරනවා. “ගිහින් රස්සාව කරපං. නැත්නං මම උඹලව දාලා වෙන ගමකට යනවා ඔහු ඒ අවස්ථාවලදී එහෙම කියනවා. සැමියෙක් නැතිව ඉන්න එක ගමක් ඉස්සරහ නිරුවත්ව ඉන්නවා වගේ කියලා හිතන නාඩියා හැමදාමත් වැඩට ගිහින් කවදාවත් දැකලාවත් නැති පිරිමි ඉස්සරහ නිරුවත් වෙනවා.

දුලාංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>