TT Ads

 

අනුර ව්‍යාපාරිකයෙකි. ඔහු විවාහකයකු වන අතර, ඔහු යටතේ සේවය කළ රමණි සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගනී. රමණිද විවාහක කාන්තාවකි. ඇයගේ සැමියා විදෙස් රටක රැකියාව කරයි. අනුර හා රමණි අතර පැවැති අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස රමණි ගැබ් ගත්තාය. මේ බව දැනගත් රමණි, අනුර සමඟ සාකච්ඡා කර වෛද්‍යවරයකු හමු වී එම දරු ගැබ නැති කිරීමට ගබ්සාවක් කර ගෙන තිබිණි.

මෙය නීතිය ඉදිරියේ වරදක්ද?

මෙම කරුණ ගැන දෙයාකාරයෙන් සලකා බැලිය යුතුය.
එනම් අනුර හා රමණි අතර පැවැති සම්බන්ධතාව හෙළිදරව් වේ යන බිය නිසා දරු ගැබ නැති කර ගැනීමේ අදහසින් ගබ්සාවක් සිදුකළහොත් එයට නීතියෙන් අවසරයක් ලබා දී නොමැත.
නමුත් මෙම පිළිසිඳගැනීම නිසා, රමණිගේ ජීවිතයට තර්ජනයක් පවතී නම්, එනම් එයින් රමණිගේ ජීවිතය බේරා ගැනීමේ කාර්යය සඳහා ගබ්සාව සිදු කිරීම කළ යුතු වන බව වෛද්‍යවරුන්ගේ මතය නම්, සද්භාවයෙන් සිදු කරනු ලබන එවන් ගබ්සාවක් නීතිය ඉදිරියේ වරදක් වන්නේ නැත.
අද අප සමාජයේ මෙවැනි සිදුවීම් මත ගබ්සාවන් සිදු කිරීම ඉතා සුලබ දෙයක් වී තිබේ. එවන් ගබ්සාවක් නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථාන මගින් සිදු කිරීමෙන් සමහර කාන්තාවන් මරණයට පත් වූ අවස්ථාද ඇත. තවමත් අප සමාජයේ බොහෝ පිරිසකට ගබ්සාව සිදු කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ගැන නිසි අවබෝධයක් නොමැති බව පෙනේ. එලෙස සමහර කාන්තාවන් විසින්ම දරුගැබ විනාශ කරගෙන මරණයට පත් වන අවස්ථාද වේ. තවද, කාන්තාවන් තම දරුවන් ඉපදුනු විගස මහමග අතහැර දමා යන අවස්ථාද ඇත. එම නිසා මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ගබ්සාවක් කිරීම හෝ නූපන් දරුවන්ට පාඩු කිරීම, ළදරුවන් අත්හැර යාම හා දරු උපත් සැඟවීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින නීතිමය තත්ත්වය සාකච්ඡා කරමු.
දරුවකු බිහි කිරීම සඳහා ඇති වූ දරු ගැබක් නැති කිරීම ගබ්සාවක් ලෙස හඳුන්වනු ලබයි. යම් කාන්තාවකට දරු ගැබක් ඇති වී එම දරුවා මෙලොවට බිහිකරන තෙක් එම කාන්තාවගේ දරු ගැබේ ජීවත් වන දරුවා නූපන් දරුවකු ලෙස හඳුන්වයි. එය සරලව කිවහොත් නොඉපදුනු දරුවෙකි.
අප නීතිය යටතේ ‘ගබ්සා කිරීම’ නැමැති වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන වගන්තියෙන් පැහැදිලි කර ඇත.
මෙහිදී කාන්තාවකගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා යම් වෛද්‍යවරයකු විසින් කරනු ලබන ගබ්සා කිරීමක් නීතිය ඉදිරියේ වරදක් ලෙස නොසලකයි.
උදා- යම් කාන්තාවකගේ පැලෝපීය නාළයක දරු ගැබක් ඇති වීම නිසා එම ගැබ තවදුරටත් වර්ධනය වුවහොත් එමගින් ඇගේ මරණය සිදු වීමට ඉඩ ඇති බවට සාධාරණ හේතු ඇත්නම් එවැනි අවස්ථාවලදී මවගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් වෛද්‍යවරයකුට එම ගැබ ගබ්සා කිරීමට සිදුවිය හැකිය. එය නීතිවිරෝධි නොවේ.
එවැනි තත්ත්වයන් හැර සිදුකරනු ලබන ගබ්සාවක් නීතිවිරෝධී වන අතර, එම ගබ්සාව සිදු කරන ආකාරය අනුව නීතිය විසින් දී ඇති දණ්ඩනයන් හි ප්‍රමාණයද වෙනස් වේ.
එනම්, කාන්තාවකගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා මෙලෙස සද්භාවයෙන් කරනු ලබන ගබ්සා කිරීමක් නොවන ගබ්සා කිරීමක් ගැබ් ගත් ස්ත්‍රියකට දරු ගැබ නැති කිරීම සඳහා ඇගේ කැමැත්තෙන්ම සිදු කරන තැනැත්තෙකුට අවුරුදු තුන දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.
තවද, එම කාන්තාව දරු ප්‍රසූතියට ආසන්නව සිටියදී එම ගබ්සාව එලෙස සිදු කරන තැනැත්තකුට අවුරුදු හත දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු අතර, දඩයකටද යටත් විය යුතුය.
යම් කාන්තාවක් තමා විසින්ම ගබ්සා කර ගනු ලබන්නේ නම් ඉහත විස්තර කර ඇති ගබ්සාව සම්බන්ධයෙන් අපරාධමය වරද සිදු කරනු ලබන අතර, ඇයටද ඉහත කී ආකාරයට දඬුවම් නියම වේ.
එසේම යම් කාන්තාවක් ගැබ්ගත් මුල් මාසවලදී හෝ ප්‍රසූතියට ආසන්න කාලයේදී ඇය නොදැනුවත්ව හෝ ඇගේ අකැමැත්තෙන් කුමන හෝ ආකාරයකට එම දරු ගැබ විනාශ කර දැමීමට කටයුතු කරන පුද්ගලයෙකුට අවුරුදු විස්ස දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු අතර දඩයකටද යටත් විය යුතුය. එනම්, එම ගැබ්ගත් කාන්තාවගේ කැමැත්ත නොමැතිව යම් පුද්ගලයකු ඇගේ දරු ගැබ නැති කිරීම නැත්නම් ගබ්සාවන් සිදු කරනු ලැබුවහොත් එම තැනැත්තා ඉහත පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 304 වගන්තිය අනුව ස්ත්‍රියකගේ කැමැත්ත නොමැතිව ගබ්සා කිරීම නැමැති වරදට වරදකරු වී දඬුවම් විඳීමට සිදුවේ.
තවද, මෙවැනි ගබ්සාවන් සිදු කිරීමේදී කාන්තාවන් මරණයට පත් වන අවස්ථාද ඇත. එලෙස ගැබ් ගත් කාන්තාවක් ගබ්සා කිරීමේදී එම ක්‍රියාව හේතුවෙන් එම කාන්තාව මරණයට පත් වුවහොත් එම ක්‍රියාව සිදුකළ තැනැත්තාට වසර විස්ස දක්වා කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු වන අතර, දඩයකටද යටත් විය යුතුය. තවද, වරදකරු විසින් එකී ක්‍රියාවෙන් මරණය සිදු වීමට ඉඩ ඇති බව දැන ගනු ලැබීම මෙම වරද සංස්ථාපනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවේ.

නූපන් දරුවකුට සිදු කරනු ලබන වැරදි ක්‍රියා

අප සමාජයේ දරුවකු ඉපදීමට පෙර මව් කුසේ දීම දරුවා පණ ඇතිව ඉපදීම වැළැක්වීම සඳහා ඕනෑකමින්ම විවිධ ඖෂධ ලබා ගනිමින් හෝ විවිධ ක්‍රියා මගින් මළ දරු උපත් සිදු කිරීමට ක්‍රියා කරන අවස්ථා දක්නට ලැබේ.
එලෙස, කාන්තාවකට දරුගැබක් ඇති වූ අවස්ථාවකදී, දරුවකු ඉපදීමට පෙර ඒ දරුවා පණ ඇතිව ඉපදීම වැළැක්වීමේ හෝ එම දරුවා ඉපදීමෙන් පසු දරුවාගේ මරණය සිදු කිරීමේ අදහසින් යම් තැනැත්තකු විසින් යම් ක්‍රියාවක් කරනු ලැබූ විට එකී ක්‍රියාව නිසා දරුවා මළ දරුවකු ලෙස උපත ලදහොත් හෝ දරුවා ඉපදීමෙන් පසු ඔහුගේ මරණය සිදු කරනු ලැබුවොත් එයද අපරාධමය වරදක් වේ.
මෙලෙස දරුවකු පණ ඇතිව ඉපදීම වැළැක්වීමේ හෝ ඉපදීමෙන් පසු මරණය සිදු කිරීමේ අදහසින් කරනු ලැබූ ක්‍රියාවට වරදකරුවකු වන තැනැත්තකුට අවුරුදු දහය දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් ලැබිය හැකිය.
යම් පුද්ගලයකුගේ ගැබිනි කාන්තාවකගේ මරණය සිදුවිය හැකි බව දනිමින්ම පහර දීමක්, තල්ලු කර දැමීමක් ආදී වශයෙන් වන කුමන හෝ ක්‍රියාවක් කළ විටෙක ඇය මිය නොගොස් කුසේ සිටි දරුවා එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස මිය ගියහොත් එය සාවද්‍ය මානුෂ්‍ය ඝාතනයකි. එහිදී එම නොඉපදුනු දරුවාගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වේ.
එලෙස වරදකරුවකු වන තැනැත්තකුට අවුරුදු 10 දක්වා කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි අතර, දඩයකටද යටත් විය හැකිය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>