TT Ads

මහරගම සිරි වජිරඥානධර්මායතනවාසී
පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමිපාණෝ
අවධාරණය කරති

තමන්ගේ දරුවකු සඟ සසුනට පූජා කිරීම නැතහොත් මහණ දිවියට ඇතුළත් කිරීම හතරවරිගයම නිවන් දකින පින්කමක් යැයි පවසන්නෝ අපේ සමාජයේ සිටිති. නමුත් එවැන්නක් සිදු වෙනවා නම් හතර වරිගයේ හැම දෙනාටම කලින් නිවන සාක්ෂාත් කර ගන්නේ මහණ දිවියට පිළිපන් එම හාමුදුරුවන්ය. හතර වරිගයටම කෙසේ වෙතත් අඩු තරමින් ඒ හාමුදුරුවන්ගේ දෙමාපියන්ටවත් නිවන් යාම සඳහා ඒ පින හේතු වන්නේ නැත. අප එසේ කියන්නේ ඔබගේ සිත තුළ බුදු දහම කෙරෙහි කිළුටක් ඇති කිරීමට නොවේ. එසේ කිළුටක් ඇති කර ගත යුතුත් නැත. ඔබ යථාවබෝධය ලැබිය යුතුය.

මේ සඳහා වෙන කිසිදු උදාහරණයක් අවශ්‍ය නැත. සිදුහත් කුමරා බුදු බව ලැබුවාට ඒ පිනෙන් සුදොවුන් රජුට නිවන් අවබෝධ කරගත හැකි වූයේ නැත. එසේම යසෝදරා දේවියට, රාහුල කුමරාට වුව එලෙස ඉබේ නිවන් fදාර විවර වූයේ නැත. නිවන් අවබෝධ කරගත්තේ උත්සාහයෙන් වීර්යයෙන් ප්‍රතිපත්ති පූරණය කළ නිසාය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන මේ චතුරාර්ය සත්‍යයේ අංග හතර තමන්ගේ ඥානයට ඉබේ පහල වන දෙයක් නොවේ. ධර්ම ශ්‍රවණය කළ යුතුය. ඒ මග යා යුතුය. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ සුනාත (හොඳින් අසන්න) ධාරේථ (හොඳින් ධාරණය කරගන්න) චරාථ (ඒ අනුව හැසිරෙන්න) යනුවෙනි.

වීර්යයත් උත්සාහයත් නැතිව සසර දුකෙන් එතෙර වන්නට නොහැකිය. මේ වීර්යය කොතරම් විය යුතුද කිවහොත් කුමන හේතුවක් නිසාවත් මෙය අත්හල යුතු නොවේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එක් රාත්‍රියක දේවතාවකු පැමිණ මෙවැනි පැන කිහිපයක් විමසීය.

“දිවා රෑ දෙකෙහිම පින් වැඩෙන්නේ කවරෙකුටද?”
“ස්වර්ග සම්පත්තිය ලබා ගත හැක්කේ කවර අන්දමින් ජීවිතය ගත කළ අයකුටද?”
“දෙව්ලොව සැප විඳිය හැක්කේ කුමන අයටද?”
මෙහිදී දේවතාවා විමසා සිටියේ නිවනට බලපාන කාරණා නොව සුගතියට බලපාන කාරණාය.
සුගතියට බලපාන්නේ පින්කම්ය. සුගතිය යනු යළි යහපත් භවයක උපත ලැබීමය.
නිවනට හේතු වන්නේ කුසල්ය.
පින සහ කුසල්වල වෙනස එයයි. නමුත් ඔබ දක්ෂ නම් සුගතියට බලපාන පින්කම් කුසලයට හරවා ගන්නට බැරිකමකුත් නැත.

අපි එය මෙලෙස පැහැදිලි කර ගනිමු.

ඔබ දිනපතා බුදුරදුන් උදෙසා මල් පූජා කරන්නට පුළුවන. දිනපතා නැතත් පෝ දිනට විහාරස්ථානයට ගොස් මල් පූජා කරනු ඇත. මෙසේ මල් පූජා කර “මේ පිනෙන් මට දිව්‍ය සැප සම්පත් ලැබේවා” යනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරන්නට පුළුවන. ඒ අනුව එම පින ඔබට සුගතිගාමී උප්පත්තියක් සඳහා හේතු වනු ඇත. එයම නිවනට හරවා ගන්නේ මේ ආකාරයටය. මේ ගාථාව තුළම සඳහන් වන්නේ එය නිවනට හේතුවන ආකාරයයි.

“පුප්ඵං මිලායාති යථා ඉදංමේ
කායෝ තථායාති විනාසභාවං”

“මේ මල් පරවී යන අයුරින් මගේ ජීවිතයද විනාශ වී යනු ඇත” යන්න මෙහි අරුතයි.
මෙයින් හැඟවෙන්නේ අනිත්‍ය ස්වභාවයයි. මල් පූජා කරන විට එම ගාථාව සජ්ජායනා කරන අතරේම එම සත්‍යයද මෙනෙහි කරන්නේ නම් එය නිවන් මගට හොඳ කමටහනක් වනු ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මෙනෙහි කිරීම විදර්ශනා වැඩීමකි. එකම පූජාවකින් කෙනෙකුට සුගතියටත්, තව කෙනෙකුට නිවනටත් යා හැකි වන්නේ එලෙසිනි. නිවනට හේතු වන්නේ විදර්ශනාවයි.
පින යනු සැපයට කියන තවත් නමකි. සැප රැස් කිරීම යනු පින් රැස් කිරීමය. මේ ආත්මභාවයේදීම නිවන අවබෝධ කර ගැනීමට අපේක්‍ෂාවක් ඔබට නොමැති නම් සුගතිගාමී උප්පත්තියක් ලැබිය යුතුය. සුගතියක ඉපදීමෙන් සැප ලැබේ. සැප ලබන්න නම් පින් රැස් කළ යුතුය. පව් රැස් කළොත් දුකය. නමුත් මෙවැන්නකුත් තිබෙන බව ඔබ අමතක කළ යුතු නැත. සැපයෙහිද දුක තිබේ. නමුත් පව් රැස් කර අගතියක ඉපදීම තරම් නම් දුකක් මෙහි නැත.

සැප තුළත් දුක පවතින බව ඉහත දැක්වීමු. ඒ කෙසේදැයි විමසා බලමු.
ඔබට මිල මුදල් සැප සම්පත් කිසි දෙයකින් අඩුවක් නැතැයි සිතන්න. නමුත් ඔබට වයසට යාම නතර කර ගන්නට හැකියාවක් තිබේද? මේ කාලයේ වයස හැත්තෑවක අසූවක පමණ කෙනෙකුට හතළිහක පනහක පමණ පෙනුමක් ගෙන දෙන ක්‍රම තිබෙන බව සැබෑය. නමුත් ඔබේ ශරීරය අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන් වයසට යන එක ඔබට නතර කරන්නට පුළුවන්ද? එසේම ඔබට මුදල් හදල් සැප සම්පත් හැමදේම තිබුණත් යම් හෙයකින් ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවත් ඔබට කිසිදා ලෙඩක් නොසෑදී සිටින්නට පුළුවන්ද? ඔබට කොයි තරම් ධන නිධාන තිබුණත්, ඔබ වටා බොහෝ පිරිසක් සිටියත් ඒ කාටවත් ඔබගේ අවසන් හුස්ම හැර යන්නට ඉඩ නොදී රඳවා තබා ගන්නට හැකියාව තිබේද? සුගතිය හොඳය. සුගතිය යනු බොහෝ සැප ගෙන දෙන්නකි. නමුත් සුගතිය කෙළවරද ඇත්තේ දුකකි. ඒ නිසා සුගතිය යනු පරම සැපයක් නොවේ.
දිවා රෑ දෙකෙහිම පින් වැඩෙන කාරණා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේවතාවාට මෙසේ දෙසූ සේක.

ආරාම රෝපා වනරෝපා
යේ ජනා සේතු කාරකා
පපංච උදපානංච
යේ දදන්ති උපස්සයං
අරාම රෝපා

නිවස හා අවට පරිසරය ඉතා හොඳින් පිරිසිදුව තබා ගන්න. මෙලෙස නිවස හා නිවස අවට පරිසරය ඉතා හොඳින් සුන්දරව පවතින විට දකින අයගේ සිත ප්‍රසන්නවේ. මෙය දිවා රෑ දෙකේදීම පින් වැඩෙන්නට හේතුවේ.

වනරෝපා

ස්වාභාවික වනාන්තර රැක ගන්න. ගස් වවන්න. එවිට සියලු සත්වයන්ට පිරිසිදු වාතය ආශ්වාස කරන්නට හැකිවේ. පිරිසිදු ජලය ලැබේ. මේවා දිවා රාත්‍රී දෙකේම පින් වැඩෙන දේවල්ය.

යේ ජනා සේතු කාරකා
ගමකින් ගමකට යා නොහැකි තැන් වේ නම් ඊට උඩින් පාලම් ඉදි කරන්න. බොහෝ දෙනෙකුට යහපත සැලසෙන මේවායින් දිවා රෑ දෙකේම පින් වැඬේ.

පපංච උදපානංච
මනුෂ්‍යයන්ට පානය කිරීමට සහ පරිභෝජනයට පිරිසිදු ජලය ලබා ගත හැකි ක්‍රම ඉදි කරන්න. මෙකල වකුගඩු රෝග බහුලව තිබෙන පළාත්වල වාසීන්ට ජලය පිරිසිදු කරන යන්ත්‍රයක් ලබා දීමද දිවා රෑ දෙකේම පින් වැඩෙන කරුණකි.

මෙලෙස ධර්මානුකූලව කටයුතු කළ හැකි නම් ඔබට සුගතිය වරදින්නේ නැත. මේ කරුණු අවබෝධ කරගෙන පරම සැපය වූ නිවන සාක්ෂාත් කර ගැනීමටද කටයුතු කරන්න.

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>