TT Ads

 

 

මවක් වීම කාන්තාවකගේ ජීවිතේ ස්වර්ණමය පැතුමයි. තමන්ගේ කුසයේ මාස 10කට ආසන්න එනම් දින 280ක් පමණ ආදරයෙන් රැකවරණය දෙමින් මෙලොවට බිහිකරන දරු පැටියා, උපදින මොහොතේ සිට මවගේ තුරුළට වන් සැණින් කිරෙන් බරවුණු පියයුරු තුඩුවල මුව තබා රන්කිරි තොලගාන මොහොත කාන්තාවකගේ ලෝකයේ අනර්ඝතම සිහිනයයි. විවාහක කාන්තාවක් ගර්භණීයක වූ පසු ඇයගේ සිරුරේ සිදුවන සියලුම වෙනස්කම් දරාගෙන අනාගතයේ තමා බිහිකරන කිරිකැටියා ගැන මවන හීන දන්නේ මවක් වූ කාන්තාවක් පමණමයි. අප මේ ලිපියෙන් කතා බහ කරන්නේ ලොව උත්තරීතරම පදවිය වන මව් පදවිය ලැබීමට සූදානම් වන ගර්භණී කාන්තාවක මුහුණ දෙන ශාරීරික වෙනස්කම් කිහිපයක් පිළිබඳවයි.

කෑමට දක්වන ප්‍රියතාවය හා ආහාර ජීර්ණය පිළිබඳ ගැටලු
උදෑසන අවදි වූ පසු ඔක්කාරය හා වමනය ඇතිවීම (Morning Sickness) ගැබිනි මවකට සුලබව සිදුවිය හැකිය. දරු පිළිසිඳ ගැනීමෙන් පසු පළමු මාස තුන තුළ මෙය සිදුවන අතර, ඇතැම් ගැබිනියන්ට වමනය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ද ඇති විය හැකිය. කෙසේ නමුදු, බොහෝ ගැබිනියන්ට මෙම තත්ත්වය පාලනය කරගත හැකිය. මේ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවුණද වෛද්‍ය නිර්දේශ අනුව ලබාගත හැකි ඖෂධ වර්ග තිබේ. ඇතැම් ගැබිනියන්ට ඉතාම අසාමාන්‍ය ලෙස පාලනය කරගත නොහැකි තරමට ඔක්කාරය හා වමනය සිදුවන අවස්ථා ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ඇයට කිසිදු ආහාරයක් ගැනීම පවා ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවෙයි. ඉතාම අපහසුවෙන්, අන් අයගේ බල කිරීම් මත හෝ ගන්නා සෑම ආහාරයක්ම වමනය ඇති කරන තත්ත්වයට පත් වේ. මේ තත්ත්වය හඳුන්වන්නේ Hyperemesis gravidarum නමිනි. මෙවැනි තත්ත්වයක් යටතේ ඇතැම් ආහාර වර්ග අනුභවය පමණක් නොව දැකීම පවා පිළිකුලක් හා බියක් ගෙන දීමට පුළුවන. මේ තත්ත්වය නිසා සිරුර විජලනයටද ලක්විය හැකිය. ඊට හේතුව වන්නේ කෑම නොගැනීම නිසා ශරීර අභ්‍යන්තරයේ සිදුවන ප්‍රෝටීන් බිඳ වැටීමයි. ඉතාම ප්‍රබල ලෙස ආහාර අරුචිය පවතින විට ඉතාම අහිතකර ආම්ලික සංයෝග (Ketone Body) ශරීරය තුළ නිපදවෙයි. මේ නිසා අධික වමනය හා අධිකව ආහාර ප්‍රතික්‍ෂේප කරන ගැබිනියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීම වඩාත්ම යෝග්‍යය.
වමනය සුළු වශයෙන් පවතීනම් ආහාර වර්ග කුඩා ප්‍රමාණවලින් ගත හැකි අතර එවැනි අවස්ථාවක වමනය සිදුවීම නවතාලීම සඳහා සුදුසු ඖෂධ වර්ග තිබේ. මේ සඳහා වෛද්‍ය උපදෙස් මත මිස, ෆාමසිවලින් හිතුමතේ ලබා ගන්නා ඖෂධවලින් පිහිට පැතීම නම් කිසිසේත්ම නොකළ යුතුය.

ඇතැම් ආහාරවලට දැඩි ප්‍රියතාවයක් දැක්වීම
මේ තත්ත්වය හඳුන්වන්නේ Food Craving and food dislike ලෙසය. ඇතැම් ආහාර පිළිබඳව දක්වන දැඩි රුචිය මෙයින් අදහස් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී දොළ දුක ලෙස හැඳින්වෙන්නේ ද මේ තත්ත්වයයි. මෙය තරමක් අසාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී ඇඹුල් රසැති ඇඹරැල්ලා, වෙරළු, නෙල්ලි, සියඹලා, අමු අඹ, ලුණුදෙහි වැනි දේටත් පොළොස් ඇඹුල, ඉස්සන්, දැල්ලන්, බීට්, කිරි කොස්, මාළු ඇඹුල් තියල්, දෙල් , නෙළුම් අල, කොහිල අල ඇඹුල, ලබුකොළ ආදී ව්‍යංජන වලටත් සමහර ගැබිනියෝ දැඩි ප්‍රියතාවයක් දක්වති. (මෙහිදී දැල්ලන්, බල මාළු, ඉස්සන් වැනි ආහාර නොමැතිව මෙලෙස ඔවුන් ප්‍රියකරන අනෙකුත් ආහාර ලබාදීමේ කිසිදු වරදක් නැත.) මෙහිදී ගර්භණියක වීමට පෙර ඉතාම කැමැත්තෙන් ගත් ආහාර ගර්භණී වීමෙන් පසු ප්‍රතික්‍ෂේප කිරීම තදින්ම සිදුවිය හැකිය. විශේෂයෙන්ම ඒවා මස් වර්ග, කරවල වර්ග, මාළු වර්ග හෝ මැල්ලුම් වර්ග විය හැකිය. මේ පිළිබඳවද ගැබිනි මවුවරුන්ගේ පවුලේ අය කලබල විය යුතු නැත. මන්ද දරුවා ප්‍රසූත කළ පසු නැවතත් එම පෝෂ්‍යදායී ආහාරවලට නිරන්තරයෙන්ම ඇය තුළ රුචියක් ඇති වන නිසාය. එහෙත් කිරි ආහාර හා ගැබිනි මව කැමති ආහාරවලින් හොඳම පෝෂ්‍යදායී ආහාර මේ කාලයේදී ලබාදීමට නිවැසියන් කටයුතු කිරීමත් මෙහිදී ඉතාම වැදගත් වේ. ඊට හේතුව මුල් අවධියේ සිටම ගැබිනි මවක් නිසි පෝෂණයෙන් පසුවිය යුතු වීමය.

ආසාමාන්‍ය ආහාරවලට දක්වන කැමැත්ත
ඇතැම් අවස්ථාවලදී සමහර ගැබිනියන් හට තරමක අසාමාන්‍ය ආහාර සඳහා රුචියක් ඇතිවිය හැකිය. (Food Unfititting) ගල්, පස්, අඟුරු, මැටි, ගඩොල් කැබලි වැනි ආහාර නොවන දේ සූරමින් ආහාරයට ගැනීමට මෙහිදී සමහර ගැබිනි මවුවරුන් පෙළඹෙති. මෙය දරු ගැබට විශාල ලෙස හානි සිදුකළ හැකි තත්ත්වයකි. මෙවැනි තත්ත්වයන්වලදී මව රෝගී වීමට ඇති අවස්ථාවන් සුලබය. ගැබිනියක් මෙවන් ආහාර සඳහා රුචිකම් දක්වනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම සුදුසුවේ.

බඬේ ඇතිවන දැවිල්ල
ගැබිනියක් වූ පසු පියයුරුවලට මඳක් පහළින් බඩ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇති විය හැකිය. මෙය පපුවත් සමග ඇති වන දැවිල්ලක් බැවින් එය Heart Burn ලෙස හැඳින්වේ. මෙලෙස ඇති වීමට හේතුව වන්නේ ආමාශයේ තිබෙන ආහාර ජීර්ණයට උදව්වෙන අම්ල (ආමාශයික යුෂ) ගලනාළය දිගේ උඩට ගමන් කිරීම නිසාය. ක්‍රමයෙන් දරු ගැබ මෝරා එද්දී උදරයද ක්‍රම ක්‍රමයෙන් විශාල වන විට අමාශය මත ඇති වන තෙරපීම හා පීඩනයද ටිකෙන් ටික ඉහළ යයි. මෙහිදී මෙම ආමාශයික යුෂ උඩු අතට ගමන් කිරීමෙන් බඩ දැවිල්ල ඇති විය හැකිය. (හෘද රෝගවලදීත් මේ හා සමානවම රෝග ලක්‍ෂණ ඇති විය හැකිය) ගර්භණී මවකට බඬේ පපුවේ දැවිල්ලක් ඇති වේ නම් ඇය වහාම සුදුසු වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. බඬේ පපුවේ දැවිල්ල සමනය කෙරෙන ඖෂධ හා උපදෙස් සුදුසුකම්ලක් වෛද්‍යවරයෙකුගෙන් නිවැරදිවම ලබා ගත හැකිය. මෙම තත්ත්වය පවතින විට කෝපි පානය කිරීම නුසුදුසුය. ආහාර ඉතා කුඩා ප්‍රමාණවලින් වරින් වර ගැනීම සුදුසුය. තෙල් අධික ආහාරවලින් වැළකීම ඉතාමත් සුදුසුවේ. මෙහිදී නිදාගන්නා විට හිස තබාගත යුතු ආකාරය හා තවත් වැදගත් උපදෙස් වෛද්‍යවරයා විසින් පැහැදිලිව විස්තර කරදෙනු ඇත.

නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය (Frequent Urination)
ගර්භණී මවක බවට පත් වූ පසු වකුගඩු වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය වෙනදට වඩා අඩකින් පමණ වැඩිවිය හැකිය. එමෙන්ම ප්‍රොජෙස්ටරොන් හෝමෝනවල බලපෑමෙන් මුත්‍රා මාර්ගයේ පේශිවල වැඩිපුර ඉහිල්වීමක් ඇති වේ. මෙහිදී ද නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වේ. මේ තත්ත්වය මත ගර්භණියකට මුත්‍රා ආසාදන ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී. මෙවැනි ආසාදන මගින් “වෘක්ක දාහය” වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මෙහි බරපතළකම කොතෙක්ද කියන්නේ නම්, දරුවා ලැබීමට නියමිත කාලයට පෙර දරු උපත සිදුවීමටත් එය සෘජු බලපෑමක් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ නිසා ගැබිනි මවක් සැලකිලිමත් විය යුතු විශේෂම තත්ත්වයක් වනුයේ මුත්‍රා කරන විට වේදනාවක් ඇති වීම හා මුත්‍රා සමග සුළු හෝ රුධිර වහනයක් සිදුවනවාද යන්න පිළිබඳව පරීක්‍ෂාකාරී වීමය. තවත් විශේෂයෙන් මතක තබා ගතයුතු වැදගත්ම කාරණයක් වනුයේ නිතර නිතර මුත්‍රා පිටවීම නිසා එය මඟහරවා ගැනීමේ අරමුණෙන්, වෙනදා පානය කරන ජල ප්‍රමාණය වෙනුවට ගැබිනියක් වූ පසු දිනකට ජලය පානය කරන ප්‍රමාණය “ටිකෙන් ටික වැඩි කිරීමයි” පිපාසය ඇති වීමට පෙර පැය බාගයෙන් බාගයට වතුර උගුරු කීපයක් පානය කිරීමේ පුරුද්ද මේ සමයේ ඉතාමත්ම සුදුසුය.

දෙපාවල මස් පිඬු පෙරළීම
Leg Gramp නමින් හඳුන්වන මේ තත්ත්වය ඇති වෙන්නේ ගැබිනි මව විවේක සුවයෙන් පසුවන විට හා නින්දට ගිය විටය. නිදා සිටින විට ඉතාම සුලබව මස් පිඬු පෙරළීම සිදුවිය හැකිය. මේ තත්ත්වය විඳ දරා ගැනීම තරමක් අසීරුය. මෙවැනි තත්ත්වයකදී, දෙපාවලට ඔබින ව්‍යායාම පිළිබඳව ඔබට පවුල් සෞඛ්‍ය නිලධාරීනියගෙන් උපදෙස් ලබාගත හැකිය. ගැබිනි සමයේ වමනය පිට වීම වැඩි වශයෙන් සිදුවීමෙන්ද ශරීරයේ අඩංගු කැල්සියම් හා පොටෑසියම් ප්‍රමාණය අඩුවීමෙන් මෙලෙස සිදුවිය හැකිය. (මේ සඳහා වෛද්‍ය උපදෙස් නොමැතිව කැල්සියම් හෝ පොටෑසියම් අඩංගු ඖෂධ වර්ග ෆාමසිවලින් මිලදී ගෙන හිතුමතයේ පාවිච්චි කිරීම ඉතා නුසුදුසුය.)

මලබද්ධය (Constipation)
ගර්භණී සමයේ මලබද්ධය සුලභව ඇති විය හැකිය. හෝමෝනවල වෙනස් වීමේ බලපෑමෙන් ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන චලන (කුසගිනි දනවන ක්‍රියාවලිය) අඩුවීම නිසා වෙනදා සුපුරුදු අපද්‍රව්‍ය බහිශ්‍රාවය කිරීමේ සිරිත අක්‍රමවත් වීම තුළින් ගර්භණී සමයේ මලබද්ධය ඇති විය හැකිය. මෙහිදී මලද්‍රව්‍ය දැඩි බවට පත් වීම නිසා මලපහ පිටකිරීම ඇයට ඉතාම අපහසුකාරියක් වන්නට ඉඩ තිබෙන අතර, මලපහ කිරීමට වැඩි ආයාසයක් ගැනීම නිසා ගුද විවරය අවට තුවාල ඇති වීමට පවා ඉඩ තිබේ. නැවුම් එළවළු, නැවුම් පලතුරු හා පලා වර්ග දෛනික ආහාර වේලට වැඩි වශයෙන් එක්කර ගැනීම මෙන්ම වැඩිපුර ජලය පානය කිරීම මේ සඳහා ඉතාම යෝග්‍යය. ගැබිනි සමයේදී ශරීරය විජලනය නොවී සජලන මට්ටමක තබා ගැනීම ඉතාම වැදගත්ය. පැපොල්, කෙසෙල්, අඹ වැනි පලතුරු කැබලි හෝ යුෂ මේ සඳහා ආහාරයට එක්කර ගැනීම ඉතාම සුදුසුය. අඹ, කෙසෙල් මුව, කොහිල අල වැනි ව්‍යංජන වර්ග මාරුවෙන් මාරුවට දෛනිකව කෑමට ගැනීම මෙන්ම සුළු ව්‍යායාමවල නිරතවීමත් මේ සඳහා සුදුසුය. මලබද්ධය දින කීපයක්ම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුය.

කෑගල්ල ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ

වෛද්‍ය රුවන් ලාල් උදය බණ්ඩාර

සටහන – කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>