TT Ads

වයසට යෑම හැකි තරම් දුරට පමා කර ගැනීමට සේම තම සිරුරේ ලාලිත්‍ය ඔප් නංවා ගැනීමටත් අපේ කාන්තාවන් තුළ තිබෙන උනන්දුව මෙතෙකැයි කිව නොහැක. කාන්තාවකට සුවිශේෂී වූ පිරිපුන් පියයුරු, සිහින් ඉඟටිය සහ පළල් වූ උකුළු තලයක හිමිකාරියක වී, කාන්තා ලාලිත්‍ය රැක ගැනීමට උදව්වෙන ඖෂධීය ශාකයක් නිතර දෙවේලේ ඔබේ ඇස් මානයේ තිබෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඒ අන් කවරක්වත් නොව, ඕනෑම තැනක ඉතා පහසුවෙන් වැවෙන හාතවාරිය වැලයි.

ඔබගේ ගෙවත්තේ දැනටත් සැඟව තිබිය හැකි මෙයින් තවමත් ප්‍රයෝජන නොගත්තා විය හැකිය. එසේම මිදුලේ අලංකාර මල් පැළයක් ලෙස නඩත්තු කරමින් වගා කරගත හැකි හාතවාරිය සංස්කෘත බසින් හැඳින්වෙන්නේ “ශතාවරී” ලෙසය. ශතාවරී යන්නෙහි තේරුමද “නාරිදේහ හැඩය වැඩි දියුණු කළ හැකිය” යන්නය. එසේම “ඉන්දීවරී”, “මහාගීතා” ලෙසද හැඳින්වෙන හාතවාරිය ඖෂධීය ශාක අතර රැජිනිය (Queen of Herbs) ලෙස කිරුළ පැළඳීමෙන්ම එහි අඩංගු ඖෂධීය ගුණ හා වටිනාකම් ගැන මනාව තේරුම් ගත හැකිය.

“Asparagas racemosus” ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන හාතවාරිය ද්‍රවිඩ භාෂාවෙන් “සංගවාරී”ය. කාන්තා රූපකාය හැඩ කරමින් වයස් කල්‍යාණය ආරක්ෂා කර දීමට හාතවාරිය ගුණ හේතුවන බව පැරණි සෘෂිවරුන් විසින් ලියන ලද පොතපතෙහි සඳහන් වෙයි. වියපත් ලක්ෂණ මතුවීම පමා කිරීමට මෙහි කොළ සේම අලද ආහාරයට ගැනීමෙන් හැකි බව ඒවායේ සඳහන් වෙයි. එසේම මේවා කැඳ ලෙස සකස් කර පානය කිරීමෙන් ලිංගික දුබලතා මඟ හරවා ගත හැකිය. වියළා සකසා ගත් හාතවාරිය අල කුඩු කර එළකිරි හා සමග මිශ්‍රකර පානය කිරීමෙන් ශුක්‍ර තරලයේ උකු බව වැඩි වන බව ආයුර්වේද වෛද්‍ය මතයයි. මෙය මුත්‍රාකාරකයක් ලෙස ක්‍රියා කරන අතර කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි එරීම උත්තේජනය කරමින් වැඩි කිරීමටද හේතුවන බව වෙද පොතපතෙහි සඳහන්ය. එපමණක් නොව ඇස් පෙනීමේ දුර්වලතා නැති කිරීමට, කැඩුම් බිඳුම්, උළුක්කු, හන්දි ඉදිමීම් සඳහා ප්‍රතිකාරයක් ලෙසද හාතවාරිය යොදා ගනී.

මෙතරම් ගුණ රාශියක් අඩංගු හාතවාරිය වැලක් ගෙවතු අලංකරණයේදී ආරුක්කුවක් ලෙසද වවාගත හැකිය. මෙහි හට ගන්නා සුගන්ධවත් සුදුපාට කුඩා මල් කිනිති ඔබේ ගෙමිදුලටද සිරියාව කැඳවාගෙන එනු ඇත. එපමණක් නොව නිතිපතා කැඳක් ලෙස භාවිතයෙන් සිරුරේ සුන්දර බව ඉස්මතු වන ආකාරයද ඔබට අත් විඳින්නට ලැබෙනු නිසැකය.

නාවින්න ආයුර්වේද වෛද්‍ය පර්යේෂණායතනයේ
උද්භිද අංශයේ හිටපු ව්‍යාපෘති නිලධාරි
අතුල කනකරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>