TT Ads

තරුණ කාන්තාවකගේ සුන්දර බව කෙරෙහි බලපාන ප්‍රධානතම අංගයක් වන්නේ නිරෝගී දිගු කෙස් වැටියයි. නමුත් අද තරුණ තරුණියන් අතර හිසකෙස් හා සම්බන්ධ ගැටලු ඉතා සුලභය. අකාලයේ හිස කෙස් සුදු වීම, කෙස් පැලීයාම, කැඩීයාම වැනි තත්ත්ව වලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. විශේෂයෙන්ම කිවයුත්තේ කෙස් කළඹ නිරෝගී එකක් කර ගැනීමේ අඩිතාලම දැමිය යුත්තේ කුඩා වයස් වලදීමය.

පාසල් යන වයස් වල පසුවන කුඩා දරුවන්ට තම හිසකෙස් සම්බන්ධයෙන් දැනුමක් නැත. එබැවින් ඒ ගැන වගකීමෙන් කටයුතු කළ යුත්තේ ගෙදර මවය. ගැහැනු දරුවන් කුඩා වයසේ සිටම හිසකෙස් දිගට වැවීම සුදුසු නැත. මේ වයස්වල පසුවන දරුවන්ට තම දිගු හිස කෙස් නඩත්තු කර පවත්වා ගැනීමේ හැකියාවක් නැත. එසේම තරුණ වයසේදී හොඳ නිරෝගී දිගු කෙස් කළඹක් අවශ්‍ය නම් හිස කෙස් වැවීම ආරම්භ කළ යුත්තේ වයස අවුරුදු 15-16ක් පමණ වූ විටය. මේ වයස් වන විට දරුවන්ට තම හිසකෙස් රැක බලා ගැනීමේ හැකියාව තිබේ. එසේම පාසල් කාලය නිම වී උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වන නිසා, දරුවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ හැකිය.

තරුණ දැරිවියන්ගේ හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට නම් ප්‍රධාන ලෙසම ආහාර වේල් සමබර ඒවා ලෙස ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම හොඳින් කුණු දූවිලි ඉවත්ව යන සේ කොණ්ඩය සෝදා වියළා ගෙන තෙල් සාත්තුවක් කිරීමට පිළිවන. ඒ සඳහා වඩාත් උචිත වන්නේ අපි කල්ප කාලන්තරයක් තිස්සේ භාවිත කළ පිරිසිදු පොල් තෙල්ය.

නමුත් අද වෙළෙඳපොළේ පිරිසිදු පොල් තෙල් සොයා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. බොහෝ තැන්වල ඇත්තේ පාම් තෙල් වැනිදෑ කලවම් කර තිබෙන පොල් තෙල්ය. කෘත්‍රිම වර්ණකාරක, කෘත්‍රිම සුවඳ ද්‍රව්‍ය අඩංගු කර තිබෙන තෙල් වර්ගවල සමහර රසායනික වර්ග අඩංගු වී තිබිය හැකිය. එබැවින් පිරිසිදු පොල් තෙල් ටිකක් අල්ලට ගෙන හිස කෙස් වල බඳට හොඳින් ආලේප වනසේ ගා ගන්න. කොණ්ඩය ගොතන හෝ ගැට ගසන දරුවෙකුට මේ තෙල් දවසක් හමාරක් හිසකෙස්වල තිබුණාට ගැටලුවක් වන්නේ නැත.

එසේම හිසකෙස් සේදීම සඳහා වඩාත් උචිත වන්නේ ඇල් ජලයයි. අද බොහෝ දෙනෙකු විවිධ නවීන මෙවලම් වලින් ලැබෙන උණුවතුර නෑමට පුරුදු වී සිටින නමුත්, එය හිසකෙස් ගැටලු වැඩි කිරීමට හේතුවන්නක් බව කිව යුතුමය. එසේම හිස කෙස්, ෂැම්පු වර්ගයක් යොදා සෝදා හැර, වියළාගත් පසු එහි තෙත ගතිය රැකීම සඳහා පොල් තෙල් ආලේපය සුදුසු බව අපි මීට පෙර කීවෙමු. පොල් තෙල් යොදන්නේ නැතිනම් සුදුසු කන්ඩිෂනර් වර්ගයක් භාවිත කළ යුතුමය. එසේම හිස පිසදා ගැනීම සඳහා තමන්ට වෙනම තුවායක් තබාගැනීමද අතිශයින් වැදගත්ය. හිස පිස දැමීම සඳහා භාවිත කරන කුඩා තුවාය අවම තරමින් සතියකට වරක්වත් සෝදා වියළා ගන්න. එසේම බොහෝ අයට අමතක වන්නක් නම් තම හිස පීරන පනාවය. හිස මොනතරම් නම් පිරිසිදු කරගෙන වුවද කිළිටි පනාවකින් පීරීමෙන් නැවත අපිරිසිදු විය හැකිය. එබැවින් නිතරම තම පනාවද හොඳින් සබන් යොදා බුරුසුවකින් අතුල්ලා සෝදා ගන්නා ලෙස දරුවන් දැනුවත් කරන්න.

මේ වයසේ දරුවන් හිසකෙස් කෙළින් කිරීම්, රැලි කිරීම්, වර්ණ ගැන්වීම් ආදියට යොමු වීම වළක්වන්න. මන්ද මේ කුඩා වයස්වලදීම හිසකෙස් විවිධ රසායනිකයන්ට නිරාවරණය වීම, පසු කාලීනව හිස කෙස් දුර්වලවීමට කැඩී යාමට මඟ පාදන බැවිනි. හිසකෙස් වලට මෝස්තර අවශ්‍ය වන්නේ ඒවායේ ලස්සන තරමක් අඩුවන මැදිවයස් වලදී බව දරුවන් දැනුවත් කරන්න.

තංගල්ල මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ
වෛද්‍ය හිරෝමල් ද සිල්වා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>