TT Ads

ස්පාඤ්ඤයෙන් මුල් ආරම්භය සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන කොකර් ස්පැනියල් සුනඛයින්ව ඈත අතීතයේ යොදා ගත්තේ Wood Cook නම් වූ පක්‍ෂි විශේෂය දඩයම් කිරීමේ සහයකයකු ලෙසය. එබැවින් මෙම Cocker යන නම ලැබී ඇත. මෙම සුනඛයන් English Cocker Spaniel හා Amarican Cocker Spaniel ලෙස වර්ග දෙකක් ඇත. ඉන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ, English Cocker Spaniel යන වර්ගයයි.English Cocker Spaniel ට සාපේක්‍ෂව Amarican Cocker Spaniel වර්ගය ප්‍රමාණයෙන් තරමක් කුඩා වන අතර කෙටි මුහුණක්ද සහිතය. මෙම සුනඛයින්ගේ සිත් ඇදගන්නා පෙනුම නිසා ළමුන් හා තරුණියන් අතර බොහෝ ජනප්‍රිය වී ඇත. පසු කාලයේදී ඇමෙරිකාවට ගෙන ගිය මෙම Cocker Spaniel සුනඛ වර්ගය යම් යම් වෙනස් කිරීම්වලට භාජනය වීමෙන් Amarican Cocker Spaniel සුනඛයින් නිර්මාණය කර තිබේ. මේ සුරතල් සතුන්ගේ ඇති තියුණු ඉව නිසා පොලිස් මත්ද්‍රව්‍ය අංශවල සහයටද ගුවන් තොටුපළවල ඉව ඇල්ලීමටද යොදා ගනු ලැබේ.
කුඩා සුනඛ වර්ගයක් වන මොවුන් අතරින් English Cocker Spaniel පිරිමි හා ගැහැනු සතුන් අතර විශේෂ වෙනස්කමක් නැති අතර උස අඟල් 15ක් 16ක් පමණි. බර 13kg – 14kgක් පමණ වේ.

Cocker Spaniel සුනඛයන්ගේ වඩා කැපී පෙනෙන ලක්ෂණය වන්නේ අලංකාර දිලිසෙන සුළු දිග ලෝම සහිත පහළට එල්ලෙන කන් දෙකයි. මොවුන්ගේ වලිගය කුඩා කලදීම කොට කිරීම සිරිතක් වුවද “සත්ව හිංසනය” යටතේ දැන් සමහර රටවල එය සිදු නොකෙරේ. මොවුන් තනි කළු, රන්වන් පැහැති දුඹුරු, අළු පැහැය සහිත සුදු වැනි වර්ණ රැසකින් දැකගත හැකිය. කුඩා දරුවන් සමග සෙල්ලම කිරීමට වඩා ප්‍රිය කරන මොවුන් අධික ශබ්දවලට මෙන්ම අකාරුණික සැලකිලිවලටද කුඩුකර සිටීමටද බෙහෙවින් අකමැති සුනඛ වර්ගයකි. තම ස්වාමියාගෙන් මෙන්ම පවුලේ අයගෙන්ද ආදරය කරුණාව වැඩි වශයෙන් බලාපොරොත්තු වන සුනඛ විශේෂයක් වන අතර ලෝකයේ සුනඛ වර්ග අතරින් බුද්ධිමත් භාවයෙන් 18 වන ස්ථානය කොකර් ස්පැනියල්ට හිමි වේ.

සාමාන්‍යයෙන් කලහකාරී ගති ලක්‍ෂණ අඩුම සුනඛ වර්ගයක් වන මොවුන් නිවසේ සිටින අනෙකුත් සුනඛයන්ට මෙන්ම අමුත්තන්ටද දැඩි කැමැත්තක් නොදක්වන අතර කොකර් ස්පැනියල් මුරකරුවකු වශයෙන් නොව සුරතලෙක් ලෙස ඕනෑම පවුලක ඇති කිරීමට හොඳ සුනඛ වර්ගයකි. මොවුන් හොඳ සෞඛ්‍ය සම්පන්න සුනඛ වර්ගයක් වන අතර ශ්‍රී ලංකාවේ දේශගුණයට ඉතා හොඳින් ගැළපෙන සුනඛ වර්ගයක් ලෙස දැක්විය හැකිය. ඕනෑම ආහාර වර්ගයකින් තෘප්තිමත් වන මොවුන් ආහාර සඳහා ගිජු භාවයක්ද නොදක්වයි. මොවුන්ගේ ප්‍රජනනය වසරකට දෙවරක් සිදුවේ. ගැබ් කාලය දින 57 – 63කි. පැටව් 5-7 බිහි කිරීමේ හැකියාවක්ද ඇත.
කුඩා කල සිටම නිසි එන්නත් හා පණු බෙහෙත් නියමිත දිනට ලබා දීමෙන් හා කිනිතුල්ලන් සහ මැක්කන් වැනි පරපෝෂිතයන් ගෙන් සුනඛයා ආරක්‍ෂා කර ගැනීම තුළින් ලෙඩ රෝග පාලනය කර ගත හැක. අනුමත පශු වෛද්‍යවරයකුගේ නියමිත වෛද්‍ය උපදෙස් මත ලෙඩ රෝග පාලනය කර ගැනීම තුළින් මොවුන්ට වසර 12ක් පමණ ජීවත් වීමේ වාසනාවද ඇත. මෙවැනි නිරෝගී බලු පැටවෙකු රු. 20,000ක් 30,000 ක් අතර මුදලකට මිලදී ගත හැක.

 

ඇම්. රොෂාන් පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>