TT Ads

ආරක්‍ෂාවට මෙන්න උපදෙස්

අපි අද කතා කරන්නේ අලුතින් ශීතකරණයක් වෙළෙඳපොළෙන් මිලදී ගැනීම සම්බන්ධවයි. නමුත් ඔබ සතුව දැනටමත් ශීතකරණයක් මුළුතැන්ගෙයි තිබෙන්නට පුළුවන්.

පැරණි ශීතකරණයෙන් අලුත් ශීතකරණයකට යායුතු අවස්ථාව

ඔබේ පැරණි ශීතකරණය බොහෝ කාලයක් ඔබත් සමග මුලුතැන්ගෙයි සිටින කෙනෙක් වන්නට පුළුවන්. බැලූ බැල්මට එහි ඇති අඩුපාඩුවකුත් නැතිවත් ඇති. නමුත් ඔබ අලුත් ශීතකරණයක අවශ්‍යතාවකින් පෙළෙනවා විය හැකියි.

ලෝකයේ විදුලි භාණ්ඩ සඳහා තිබෙන්නේ පුදුමාකාර තාක්‍ෂණික දියුණුවක්. දින දින වෙනස් වෙනස් අයුරින් අලුත් පහසුකම් ඉටුකරමින් විදුලි භාණ්ඩ වෙළෙඳපොළට එනවා. ශීතකරණත් එහෙමයි. ඒ නිසා අපි පැරණි ශීතකරණය සහ අලුත් එකක් සමග සසඳා බැලීම වරදක්. නමුත් පැරණි ශීතකරණය සහ ඔබේ අවශ්‍යතා සමග සසඳා බැලීම වැදගත් වෙනවා.

පැරණි ශීතකරණයේ ඔබේ එළවළු, පලතුරු ඉක්මනින් අවපැහැ ගැන්වීම් කරනවා නම්, එයින් ඔබට පාඩුවක් සිදුවෙනවා. සාමාන්‍යයෙන් එළවළු සහ ඉදුණු පළතුරු දින 5ක් හෝ සතියක් ශීතකරණයේ තබා ගන්නට පුළුවන්. ඔබ ගාන ලද පොල් ශීතකරණයේ තැබුවේ නම් දින දෙකක් හොඳ තත්ත්වයෙන් තබා ගන්නට හැකියි. නමුත් ඔබේ පැරණි ශීතකරණයේ මේ වගේ දේවල් ඉක්මනින් නරක් වෙනවානම් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් ඔබට දැනෙනවා නම් ඔබේ පැරණි ශීතකරණයෙන් සමුගන්න කාලය ඇවිත්.

මීළඟට සලකා බලන්න ශීතකරණයේ අයිස් බැඳීම පිළිබඳව. සතියකටත් කලින් අධිශීත කොටසෙහි (ෆ්‍රීසර් කොටසෙහි) අයිස් බැඳෙනවා නම් ඒ සඳහා විශාල විදුලි ප්‍රමාණයක් වැය වෙනවා. ඔබට නිතරම එය පිරිසිදු කරන්නටත් සිදුවෙනවා. ඒ වගේම අධිශීත කොටස ප්‍රයෝජනයට ගැනීමට මැලි වෙනවා. එසේ නම් පැරණි ශීතකරණය ඔබට පාඩු ගෙන දෙනවා. ඉන් ඉවත් වීම නුවණට හුරුයි.

පැරණි ශීතකරණයේ විදුලි පිරිමැසුම පිළිබඳව ඊළඟට සලකා බලන්න. සාමාන්‍යයෙන් නවීන ශීතකරණවල විදුලිය පිරිමැසුම්දායී වෙනවා. නමුත් පැරණි ශීතකරණවල එවැනි පහසුකම් සපයා දී නැහැ.

ඔබ ශීතකරණයෙහි ජලය ගබඩා කරන්නේ නම්, ඉතාම ඉක්මනින් ශීතල වී ජලයේ පැහැය වෙනස් වීමක් හෝ අයිස් බව පත්වේ නම්, ශීතකරණයෙහි අඩුවක් පවතිනවා. ඒ වගේම අයිස්කැට බවට පත් වෙන්නට ගත වන කාලය ශීත මීටරය සමග සසඳා බැලුවහොත් 0 තිබියදී සාමාන්‍යයෙන් පැය 06 ක් හෝ ඊට අඩු කාලයකදී ජලය අයිස් බවට පත් වෙනවා. මේ කාලය අඩුවෙන් හෝ වඩා වැඩි කාලයක් ගතවේ නම්, එය ශීතකරණයේ වරදක් නිසා සිදුවිය හැකියි.

ඩෝ – කූලින් වර්ගයේ ශීතකරණයක මේ තත්ත්වය තවත් බැරෑරුම් විය හැකියි. මේ සෑම අඩුපාඩුවක් නිසාම ඔබේ විදුලි බිලත් වැඩිවෙනවා. ඒවගේම ශීතකරණයේ ගබඩාකර ඇති ආහාරවල සුරක්‍ෂිතභාවයත් ගිලිහී යනවා. එයින් අදහස් වන්නේ ඔබේ පැරණි ශීතකරණය භාවිතයට නුසුදුසු බවයි.

අලුත් ශීතකරණයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු

මුලින්ම ඔබේ නිවසේ සිටින සාමාජික සංඛ්‍යාව කොපමණදැයි බලන්න. ඒ වගේම ඔබ ශීතකරණය භාවිත කරන වපරිසය ගැන අවධානය යොමු කරන්න. ඒ අනුව ශීතකරණයේ ප්‍රමාණය තීරණය කරගන්න. වඩා විශාල ශීතකරණයක් නිතරම විදුලිය වැය කරනවා. ඒ වගේම අධිශීත කොටස වැඩි නම් වැයවන විදුලියත් වැඩියි. ඒ වගේම ඔබේ මුළුතැන්ගෙයි ඉඩකඩ ගැන සිතන්න. ශීතකරණය සඳහා ඔබට වෙන්කළ හැකි අවම ඉඩ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක ශීතකරණයක් මිලදී ගන්න. එම ඉඩකඩෙහි ශීතකරණයේ දොරවල් නිවැරදිව ඇරීමට වැසීමට පහසුදැයි සැලකිලිමත් වන්න.

ශීතකරණ වර්ග බොහොමයක් තිබේ. අධිශීත කොටස උඩින්ම වෙනමම සවි වූ ශීතකරණ වඩා සුදුසුයි. අපි දොර දෙකේ ශීතකරණ ලෙස හඳුන්වන්නේ මේ වර්ගයේ ශීතකරණයයි.

අධිශීත කොටස ශීතකරණයේ පහළින් තිබීමටද පුළුවන. එවැනි ශීතකරණවල එළවළු සහ පලතුරු කල් තබා ගැනීම පහසුයි. සාමාන්‍යයෙන් මෙවැනි ශීතකරණ ශ්‍රීලංකා වෙළෙඳපොළට නොපැමිණේ. ශීත රටවලට වඩා යෝග්‍ය වේ.

හයි ටෙක් මොඩල් (High Tech Models)

මෙය අලුත් ශීතකරණවල ඇති පහසුකමක් වේ. මෙවැනි ශීතකරණවල දොරෙහි රූපවාහිනී තිරයක් හෝ ඩිජිටල් පින්තූර තිරයක් තිබේ. රූපවාහිනිය හෝ චිත්‍රපට නැරඹීමට හැකියාව ඇත. අනාගතයේදී අන්තර්ජාලගත වීමේ හැකියාව හෝ සෙල් ෆෝන් හෝ එම්.පී. ප්ලේයර් පහසුකම්ද මේ යටතේ එළිදැක්විය හැකිය.

ග්‍රේටර් ෆ්ලෙක්සබිලිටි (Greater Flexibility)

මෙයද නවීන පහසුකමක් වේ. ශීතකරණය තුළ අධිශීත කොටස් කිහිපයක් තිබීම මෙමගින් අදහස් වේ. එහිදී වෙන් වෙන් වශයෙන් ලාච්චු වශයෙන් වෙනස් උෂ්ණත්වයන් පාලනය කිරීමට හැකි පරිදි තිබීමට පුළුවන. මේ පහසුකම නිසා එළවළු, පලතුරු සඳහා එක් උෂ්ණත්වයක පවතින ලාච්චුවක බහා තැබීමටත්, මස් මාළු ආදිය තවත් ලාච්චුවක වෙනස් උෂ්ණත්වයක් යටතේද තැබීමට පුළුවන. බොහෝ විට මෙවැනි ශීතකරණවල දොරවල් ගණන වැඩිවිය හැකිය.

ලෝක වෙළෙඳපොළෙහි ශීතකරණ ප්‍රධාන වර්ග දෙකක් වෙන්කර හඳුනාගත හැකිය. ශීත රටවලට සහ ශ්‍රීෂ්ම රටවලට වශයෙන් එම වර්ග දෙක වේ. මෙහිදී ශීත රටවල් සඳහා වූ ශීතකරණ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය දේශගුණයකට නොගැළපේ. එම නිසා අප සාමාන්‍ය විදුලි උපකරණ වෙළෙඳපොළේ විකිණීමට ඇත්තේ අප රටට ගැළපෙන ශීතකරණයයි. නමුත් ඔබ පිටරටක සිටින නෑදෑ හිතවතෙකු මගින් ශීතකරණයක් ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ නම්, මෙම වෙනස ඔවුන්ට පැහැදිලි කරදී ගැළපෙන ශීතකරණයක් ගෙන්වා ගන්න.

 

ශීතකරණයේ ආරක්‍ෂාවට පුංචි උපදෙස් ටිකක්

මුදල් වියදම් කර ඔබේ මුළුතැන්ගෙයි හිතවතා බවට පත්කර ගන්නා ශීතකරණයේ මනා පැවැත්මට උපකාරීවන පහත ක්‍රියාකාරකම් අනුගමනය කරන්න.

01. ශීතකරණයේ පහළ පිටුපසින් ඇති කොයිල් සහිත කුඩා කොටස මාස හයකට වරක් වැකුම් ක්ලීනර් මගින් පිරිසිදු කරන්න. ඔබේ නිවසේ සුරතල් සතුන් සිටිනවා නම් මාස හයක් වනතුරු නොසිට නිතර පිරිසිදු කරන්න. අඩුම වශයෙන් මසකට වරක්වත් ක්ලීන් කරන්න. මේ ක්‍රියාවේදී විදුලිය විසන්ධි කිරීමට වගබලා ගන්න.

02. ශීතකරණයේ දොර සහ දාර මසකට වරක්වත් හොඳින් පිස දමන්න. මේ සඳහා පෙට්රෝලියම් ජෙල්වර්ගයක් භාවිත කරන්න.

03. අධිශීත කොටස නිතරම පුරවා තබන්න. හිස්ව නොතිබිය යුතුය. නමුත් වැඩියෙන් පුරවන්න එපා. ගබඩාවට කිසිත් නොමැති අවස්ථාවලදී අඩුම තරමින් ප්ලාස්ටික් බඳුන් තුළ පිරවූ ජලය හෝ දමා තබන්න.

04. දුගඳ සහ පිරිසිදු බව යාවත්කාලීන කිරීම සඳහා විදුලිය විසන්ධි කර ශීතකරණය හොඳින් සෝදන්න. නමුත් එහි දොර වැඩි වේලාවක් එක දිගට හැර තබා පිරිසිදු නොකරන්න. වරින් වර වසා තබමින් සෝදන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>