TT Ads

 

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් තමන්ගේ මංගල රාත්‍රියේම මෙන්න මේ විඳියේ එකඟතාවකට ආවා. ඒ එකඟතාවය තමයි “හෙට දවසේ කවුරු අපි ඉන්න තැනට ආවත් අපි දොර අරින්නේ නැතිව ඉමු… හෙට දවස තිස්සේම අපි අපේ අනාගතය ගැන කතා කරමු” කියන එක. දෙන්නම මේ අදහසට කැමතිවෙලා තමයි එදා රෑ නින්දට ගියේ. ඔන්න පහුවෙනිදා එළි වුණා විතරයි කවුද දොරට ගහනවා ඇහුණා. දෙන්නම හිමීට නැගිටලා සද්ද නැතිව දොර ළඟට ගියේ කවුද දොරට ගහන්නේ කියලා බලන්නයි. ඒත් පහුවෙනිදා රෑ දෙන්නම පොරොන්දුවක් වුණානේ කවුරු ආවත් දොර අරින්නේ නෑ කියලා. ඒ නිසා දෙන්නම දොර ළඟට කිට්ටු වෙලා දොරේ තිබුණු චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බැලුවා. බලනකොට ඇවිල්ලා තියෙන්නේ මනමාලයාගේ අම්මයි, තාත්තයි, තව ඥාතීන් කිහිප දෙනෙකුයි. අලුත බැඳපු ජෝඩුවගේ දුක සැප බලන්නයි මේ අය ඇවිත් තියෙන්නේ. කට්ටිය දැක්කා විතරයි මනමාලයා, බිරිඳගේ මූණ දිහා බැලුවා. මනමාලි ඔළුව දෙපැත්තට වැනුවේ “ම්… මතකද ඊයේ වෙච්ච පොරොන්දුව“ කියන්නා වගේ. ඒ නිසා මනමාලයත් මුකුත් කියන්න ගියේ නෑ. තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩකරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතිව බලාගෙන හිටියා. මනමාලයගේ කට්ටියත් විනාඩි 10ක් විතර දොරට ගහලා බැරිම තැන ආපහු යන්න ගියා.
ඔන්න ටික වෙලාවකට පස්සේ ආයෙමත් කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහුණා. දෙන්නා ආයෙමත් හිමීට දොර ළඟට ඇවිත් අර හිලෙන් බැලුවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මනමාලිගේ අම්මයි, තාත්තයි ඥාති පිරිසකුයි තමයි ඒ වෙලාවේ ඇවිත් තියෙන්නේ. අනුකම්පාවෙන් වගේ මනමාලි ඒ වෙලාවේ මනමාලයාගේ මුහුණ දිහා බැලුවා. ඒත් මනමාලයා මුකුත් කියන්න ගියේ නෑ. ඉස්සර වෙලේ මනමාලි කළා වගේම “පොරොන්දුව මතකද?” කියන්නා වගේ ඔළුව දෙපැත්තට වනමින් හිටියා. ඒත් තමන්ගේ අම්මයි, තාත්තයි දොරට එහා පැත්තේ ඉඳන් අසරණව බලාගෙන ඉන්නවා, කාමරය ඇතුළට වෙලා තවදුරටත් බලාගෙන ඉන්න මනමාලිට බැරි වුණා. කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දී මනාලිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දුවගෙන ගිහින් දොර ඇරියා. මනමාලයා අලුත බැඳපු තමන්ගේ බිරිඳ කරපු දේ දිහා පුදුමයෙන් වගේ බලා හිටියා ඇරෙන්නට මුකුත්ම කියන්න ගියේ නෑ.
මේ කතාවේ ඉතුරු ටික දිග හැරෙන්නේ ටික කලක් ගියාට පස්සෙයි. මේ දෙන්නට දාව මුලින්ම ඉපදුනේ හුරතල් පුතෙක්. දෙවනුවත් පුතෙක්. තුන්වෙනියාත් පුතෙක්. හතර වෙනියාත් පුතෙක්. පස්වෙනියා විදියට ඉපදුනේ ලස්සනම ලස්සන චූටි දූ පැටියෙක්. පුංචි දූ කුමාරිගේ ඉපදීම ගැන තාත්තටත් ගොඩක් සතුටුයි. ඉතින් මේ තාත්තා පුංචි දියණියගේ පළමුවෙනි උපන් දිනය දවසේ නෑ හිතමිතුරු හැමෝටම කියලා ලොකු උත්සවයක් ගත්තා. හැබැයි තාත්තගේ මේ උත්සවය ගැන අම්මට හරිම පුදුමයි. මොකද එයාලගේ කිසිම පුතෙකුට මේ විදියේ ලොකු උත්සවයක් අරගෙන තිබුණේ නැහැ. උත්සවය ඉවර වුණාට පස්සේ තාත්තා ළඟට කිට්ටු වුණු අම්මා මේ විදියේ ප්‍රශ්නයක් ඇහුවා.
“කිසිම පුතෙක්ට කලින් නොගත්ත විදියේ පාටියක් ඇයි තාත්තේ දුවට විතරක් ගත්තේ…”
මේ වෙලාවේ අම්මාගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු තාත්තා දුන්නු උත්තරේ තමයි මේ.
“කවද හරි දවසක මටත් දොර අරින්නේ මෙන්න මේ දුව තමයි.”
මේ විදියේ කතාවක් අද ඔබ වෙනුවෙන් ලියන්න මම කල්පනා කළේ පසුගිය දවසක කියවපු ලිපියක් නිසා. ගැහැනු දරුවෙක් ඉපදීම සම්බන්ධයෙන් බොහෝ ඉන්දියානුවන් දරන ආකල්ප ගැනයි මේ ලිපියෙන් විස්තර කර තිබුණේ. ඉන්දියානු සමාජයේ ඇතැම් පිරිස් අදටත් ගැහැනු දරුවෙකු ඉපදීම සලකන්නේ මහා කරදරයක්, බරක් විදියටයි. ඒ නිසා ඉපදුනු ගමන් බිලිඳු ගැහැනු දරුවන්ව මරා දැමූ අවස්ථා රාශියක් පිළිබඳව මේ ලිපියේ විස්තර කර තිබුණා. මේ ලිපිය කියවීමෙන් පස්සේ මගේ හිතේ ඇති වුණේ මහ විශාල කම්පනයක්.
“දුවේ… කවද හරි දවසක මටත් දොර අරින්නේ උඹ තමයි….”
මගේ හිත වගේම ඔබේ හිතත් සංවේදී වූවා නම්, මම අද මේ කියපු කතාව කොයිතරම් නම් ඇත්තක්ද කියලා ඔබම තීරණය කර බලන්න.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>