TT Ads

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑම සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුව ඇති ප්‍රබල ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා බාහිර පරිසරයේ පමණක් නොව නිවෙස් ඇතුළත පවා ඇත්තේ දැඩි උණුසුමකි. මේ නිසා වත්මන් ගෘහ නිර්මාණ ශිල්පීහු නිවස ඇතුළත සිසිල් වාතාශ්‍රයක් රැඳෙන පරිදි ගෘහ නිර්මාණ කිරීමට පෙළඹී සිටිති.

අතීතයේදී මෙරට  විශාල ඉඩකඩ සහිත ඉඩම්වල නිවාස තැනීමේදී නිවස් ඇතුළත එළිමහන් කොටසක් එක් කිරීමට කටයුතු කර ඇත. වහලයක් නොමැති මෙම කොටස  (Open to sky ) නිවසේ මුළු වර්ගඵලය හා සැසැදීමේදී සැලකිය යුතු ඉඩ ප්‍රමාණයකි. ඒ නිසා එයින් අමතර ප්‍රයෝජනයක්ද අත්කර ගෙන ඇත. නමුත් වර්තමානයේ සීමිත ඉඩකඩක් තුළ කරන ඉදිකිරීම්වලදී මෙවැනි ඉඩකඩක් වෙන්කර ගැනීම තරමක් අපහසු කටයුත්තකි.

ඇතැම් අවස්ථාවලදී ඉඩකඩ මඳ බව හේතුවෙන් අවශ්‍ය තරම් වාතාශ්‍රය සහ හිරු එළිය ලැබීමට අවශ්‍ය දොර ජනෙල් පවා ප්‍රමාණවත් නොවන අවස්ථා ඇත. කෙසේ වෙතත් නිවසකට ස්වාභාවික වාතාශ්‍රය සහ හිරු එළිය නොලැබීම වාස්තු විද්‍යාත්මකව මෙන්ම නවීන විද්‍යාත්මකවත් දෝෂ සහිත තත්ත්වයකි. විශේෂයෙන්ම නිවස තුළට ප්‍රමාණවත් පරිදි හිරු එළිය නොලැබීමෙන් නිවස තුළ වැඩෙන විෂබීජ වර්ග විනාශ නොවීමද ලෙඩ රෝග ඇතිවීමට හේතුවකි. මෙම කාරණා ගැන සැලකිලිමත් වීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගොඩනැගිල්ලක් තැනීමේදී අවධානය යොමු කළ යුතු නීති මාලාවක් ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් නිවසට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස දොර ජනෙල් යොදා ගැනීමට නොහැකි විට නිවස ඇතුළතින් කොටසක් වෙන්කර එය ඉහළ වාහලය තෙක් විවෘත කිරීමෙන් හිරු එළිය සහ වාතාශ්‍රය ලබා ගැනීමට හැකියාව පවතී.

මේ සඳහා වෙන්වුණු ගෙබිම කොටස මැද මිදුල ලෙස ( Courtyard ) ලෙස හැඳින්වේ. එහි කුඩා ගස් හෝ පැළ සිටවීම, කුඩා පොකුණක් නිර්මාණ කිරීම, විවිධ අලංකාර රූප ප්‍රතිමා තැබීම හෝ ඇඹීම තුළින් නිවසට අලංකාරයක්, එක්කර ගත හැක. එසේම උණසුමද පාලනය කළ හැකි අන්ධ බිත්තිය (ඉඩමේ මායිම දක්වා නිවස ඉදි කරන විට ජනෙල් දොරවල් කිසිවක් නොතබන මායිම් බිත්තිය) ඇති නිවෙස්වල නිවස ඇතුළතට අවශ්‍ය වාතාශ්‍රය හා ආලෝකය රඳවා ගැනීමට මැද මිදුල යෝග්‍යවේ.

වාස්තු විද්‍යානුකූලව සලකා බැලීමේදී මැද මිදුල බ්‍රහ්ම ස්ථාන මතට ස්ථානගත වී ඇත්නම් එහි ජලය තැන්පත් වන පොකුණු දිය ඇලි යොදා ගැනීම සුදුසු නැත. එවන් අවස්ථාවකදී අදාළ ස්ථානය ආගමික වතාවත් වෙනුවෙන් හෝ පෑහීමට ලක් නොවන පරිදි විසිතුරු පැළ වර්ග සිටුවා අලංකාර කරගත හැක.
නිවසක ඊසාන දෙසින් මැද මිදුල පිහිටා ඇත්නම පොළොව මට්ටමේ හෝ ඊට පහළින් (පොළොව හෑරීම තුළින්) පොකුණක් නිර්මාණය කර ගැනීම වරදක් නැත. නමුත් එය නිතර පිරිසිදු කර සෞඛ්‍ය ගැටලු ඇති නොවන පරිදි තබා ගත යුතුය.

මැද මිදුල නිරිත දිශාව සඳහා සුදුසු නැත. නමුත් ඉඩකඩ ඇති පරිදි අනිත් දිශාවන් සඳහා මැද මිදුල යොදා ගැනීමේ ගැටලුවක් නැත.ඇතැම් නිවෙස්වල මැද මිදුල සැලැස්මට පමණක් සීමා වී ඇත. එයට හේතුව සැලසුමට අනුව වාතාශ්‍රය ආලෝකය ආදී කරුණු සලකා මැද මිදුල එක්කර තිබුණද නිවෙස් හිමියාට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති කමින් එම ඉඩ කොටසද නිවසට අවශ්‍ය වෙනත් ඉදිකිරීමක් සඳහා යොදා ගැනීමය. සීමා සහිත ඉඩකඩක් තුළ නිවස ඉදි කරන විට එම බිම් කොටස ප්‍රයෝජනවත් නොවන අංගයක් ලෙසින් සිතිය හැක. නමුත් මෙය ඉඳුරාම වැරදි මතයකි. මන්ද ඒ තුළින් නිවස ඇතුළතට අවශ්‍ය වාතාශ්‍රය හා ආලෝකය අහිමි වීම අයහපත් ආකාරයට බලපෑ හැක. විශේෂයෙන්ම නිවසේ අභ්‍යයන්තර අලංකාරයටද එය බලපාන්නට පුළුවන. මෙවැනි කොටසක් ඉවත් කිරීමෙන් සිදුවන්නේ නිවසට හා නිවැසියන්ට ඉන් ලැබෙන ප්‍රතිලාභ අහිමිව යෑමයි.
විශේෂයෙන්ම නිවසට මැද මිදුලක් අවශ්‍ය නොවන්නේ නම් සැලසුම් ඇඳීමට පෙර ඒ බව දන්වා නිවස තුළට ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන පරිදි fදාර ජනෙල් ස්ථාන ගත කර ගත හැක.

ඔබේ නිවසටත් මැද මිදුලක් එක්කරන්නේ නම් හිරු එළිය, පිරිසිදු වාතාශ්‍රය හා සිසිලස මෙන්ම අලංකාරයද එක්කර ගැනීමට පුළුවන. වාස්තු විද්‍යානුකූලව නිවැරදි ලෙස පිහිටවන ලද මැද මිදුලක් තුළින් ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභයන්ට අමතරව නිවසට සිරි දෙව් දුවද පැමිණෙනු ඇත.

ගෘහ නිර්මාණ ශිල්පිනී

නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>