TT Ads

මේ දවස්වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ චීනය දිහාවට. ඒකට හේතුව තමයි චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන වෛරසය. මේ වෛරසය නම් කරලා තියෙන්නේ Corona virus කියලා. දැන් අපේ රටේත් කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තා වෙලා. අපේ රට චීන ජාතිකයින්ගේ සංචාරක නවාතැනක් වී තිබීමත්, අපේ රටේ චීන ජාතිකයින් විශාල වශයෙන් රැකියාවල නියුතු වීමත් කියන කාරණා නිසා මේ රෝගය ගැන විශේෂ අවධානයෙන් ඉන්න කියලා වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ නිසාම කොරොනා වෛරසය ආසාදිත පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් හඳුනා ගන්නත් ප්‍රතිකාර කරන්නත් විශේෂ වැඩපිළිවෙළක් පවා ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක කර තිබෙනවා.

මීට අවුරුදු කීපයකට කලින් අපේ රටටත් අවදානමක් වුණු “සාර්ස්” කියන වෛරසය අයත් වෛරස් පවුලේම එකක් තමයි මේ කොරෝනා කියන වෛරසයත්. මේ වෛරසය ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර්, දෙසැම්බර් කාලේ. ඒ චීනයේ වුහෑන් ප්‍රාන්තයෙන්. වුහෑන් ප්‍රාන්තයේ වැසියන් සිය ගණනකට ආසාදනය වුණු කොරෝනා නිසා විශාල පිරිසක් මිය ගිහින් තිබුණා. මේ වෛරසය ගැන පළමුවරට සොයා ගත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස් පිළිබඳ විද්‍යාඥයෙකු වුණු ලියෝ පූන්. ඔහු මේ ගැන කියන්නේ මෙවැනි දෙයක්. “මේ ගැන මොකුත්ම දැන ගන්න කලින් නියුමෝනියාව වැළඳුණු රෝගීන් විශාල පිරිසක් අපි ළඟට ආවා. කිසිම ප්‍රතිජීවකයකට ඔවුන් ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඒ තමයි මෙහි ආරම්භය”

මේ අරුම පුදුම රෝගය ගැන විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණවලින් පස්සේ ඒ ගැන තොරතුරු
රැසක් මාධ්‍යයට අනාවරණය වුණා. කොරෝනා කියලා නම් කළ මේ වෛරසය සතුන් අතර බහුලවම පවතින එකක්. ඒ වගේම මේ වෛරසයේ ප්‍රභේද විශාල ගණනක් පවතිනවා. ඇමෙරිකානු රෝග සහ වසංගත පාලන මධ්‍යස්ථානය කියන විදියට නම් කොරෝනා බෝ වෙන්නේ සතුන්ගෙන්. පළමුවෙන්ම ඔවුන් කරපු පර්යේෂණවලදී මේ වෛරසය මුහුදු ජලයේ ජීවත් වන සපර්යින් ආශ්‍රිතව පවතින්නක් බව සොයා ගැනුණා. ඒ වගේම විශේෂ දෙකකට අයත් වවුලන්ද මෙම වෛරසයේ වාහකයන් විදියට සොයාගෙන තිබුණා. මේ නිසාම චීනයේ ප්‍රචලිත ආහාරයක් වුණු සර්පයින් සහ වවුලන් යෙදූ සුප් වර්ග ආහාරයට ගැනීම වහාම නතර කරන්න කියලා නියෝග කෙරුණා. ඒ වගේම එවැනි සත්ව මාංශ අලෙවි කරන වෙළෙඳ සැල් තාවකාලිකව තහනම් කරන්නත් වැටලීම් කරන්නත් පියවර ගත්තා.

දිගින් දිගටම මේ ගැන කරපු පර්යේෂණවලින් හෙළි වුණේ මේ වෛරසය “සිවෙට්” නමින් හඳුන්වන දකුණු ආසියානු කලාපයේ ප්‍රසිද්ධ බළල් විශේෂයෙන් මිනිසාට ආසාදනය වෙලා තියෙනවා කියලයි. මේ වෛරසය ආසාදනය වූ සතුන් සපා කෑම හෝ එවැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම එය ශීඝ්‍රයෙන් බෝ වීමට හේතු වී තිබෙනවා. ඒ නිසා මේ දක්වාම චීනයේ ඉහත කී මාංශ අලෙවි සැල් වැටලීම් දිගටම සිදු වෙනවා.
ඔවුන් කියන විදියට නම් කොරෝනා ශරීරගත වීමෙන් පස්සේ ඇතිවන රෝග ලක්ෂණ අපි ඒ තරම් ගණන් ගන්නේ නැති මට්ටමේ ඒවා. ඒ කියන්නේ කැස්ස, උගුරේ වේදනාව, සොටු ගැලීම, ස්වසන අපහසුතා, උණ, හිසරදය වගේ දේවල්. සමහර විට මේ රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නේ නැති අවස්ථාත් තියෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය අනුවයි. ඒ වගේම මේ වෛරසය ඉක්මණින් පැතිරෙන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහිත කුඩා දරුවන් සහ වියපත් පුද්ගලයින් අතරත් ගැබිනි කාන්තාවන් අතර වීමත් විශේෂ කාරණයක්. ගැබිනි කාන්තාවන්ට මෙය ආසාදනය වීමෙන් ගබ්සා වීමේ සහ මාතෘ මරණ සිදුවීමේ විශාල අවදානමක් පවතිනවා. වියපත් පුද්ගලයන්ට මෙය ආසාදනය වීම මරණීය තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා CNN සේවය වාර්තා කරනවා. ඒ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම අවම වීමත් මේ වෙද්දී කොරෝනා නිසා මිය ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 50 ඉක්මවූවන් වීමත් නිසයි.
සතුන්ගෙන් මිනිසාට බෝ වුණාට පස්සේ මිනිසුන් අතර මෙය ඉතාම පහසුවෙන් බෝ වෙන්න පටන් ගන්නවා. ඒ දේහ තරල, ඒ කියන්නේ සොටු, සෙම, කෙළ ආදිය වගේම මලද්‍රව්‍ය මගින්. ඒ නිසා හැකිතාක් නාසය සහ කට ආවරණය කරගෙන සිටීම වැදගත්. ඒ වගේම පොදු ස්ථානවල ගැවැසීමෙන් පසුව විෂබීජ නාශක භාවිතයෙන් අත්, මුහුණ පිරිසිදු කර ගැනීම වැදගත් වෙනවා.

CNN සේවය වාර්තා කරලා තියෙන විදියට නම් මේ රෝගී තත්ත්වයට මේ දක්වාම සියයට සියයක් නියමිත ඖෂධ සොයාගෙන නැහැ. සියල්ල තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. ඒ නිසා ඉහත කී රෝග ලක්ෂණ මතු වුණොත් වහාම ඖෂධ භාවිත කරන්න කියලා උපදෙස් ලබා දී තිබෙනවා. සොටු දිය ගැලීම, උගුරේ අපහසුතා, කැස්ස ආදියට හුමාලය භාවිත කරන්නත්, හැකිතාක් විවේකීව ඉන්නත්, දියර ආහාර වැඩියෙන් භාවිත කරන්නත් නිර්දේශ කරලා තියෙනවා.

පහුගිය දවස් දෙක ඇතුළත කරපු පර්යේෂණවලදී හෙළි වුණු ප්‍රධාන දෙයක් තමයි මද්‍යසාර සහ අධික උෂ්ණත්වය කියන කාරණාවලදී කොරෝනා වෛරසයට යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන කාරණය. ඒ අනුව පර්යේෂකයන් වාර්තා කරලා තියෙනවා මේ වෛරසය සෙල්සියස් අංශක 57 කට වැඩි උෂ්ණත්වයක විනාඩි 30 කට ආසන්න කාලයක් තැබීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා. ඒ වගේම එතනෝල් මද්‍යසාර සියයට 75 ක සාන්ද්‍රණයක වගේම පෙරොක්සියා, ඇසිටික් අම්ලය සහ ක්ලෝරීන් සියයට 75 කට වැඩි සාන්ද්‍රණවලදී කොරෝනා වෛරසය අඩපණ වෙනවා කියලත් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් වෛරසය විනාශ කරන්න පුළුවන් කියලත් මේ වෙද්දී සොයාගෙන තිබෙනවා. නමුත් මේවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසා සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවාද කියලා කියන්න බැහැ.

මේ ලිපිය ලියන මොහොත වෙද්දී චීනයේ විතරක් කොරෝනා වෛරසය නිසා 425 දෙනෙකු මියගොස් 20696 කට අධික පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ වගේම මේ රෝග ලක්ෂණ සහිත, නමුත් කොරෝනා ආසාදිතයන් ද කියලා හරියටම නිර්ණය නොවූ රෝගීන් ලක්ෂ දෙකක් විතර චීනය පුරා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ලෝකය පුරාම විවිධ මට්ටම්වල කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් විතර ඉන්නවා කියලා ක්‍භභ සේවය කියනවා.

මේ තත්ත්වය ගැන සැලකිලිමත් වුණු අපේ රටේ රජය මහජනතාවට දැනුම් දෙන ප්‍රධානම කාරණය තමයි කොළඹ අගනගරයට එනවා නම් නාසය සහ කට ආවරණය වන විදියට මාස්ක් එකක් පළඳින්න කියලා. ඒ වගේම වැඩිපුර සෙනඟ ගැවැසෙන ස්ථානවල නොරැඳෙන්න වගබලා ගැනීම තුළිනුත් මෙම මාරක වෛරසයෙන් බේරීමට පුළුවන්කම ලැබෙනවා.

කොරෝනා
වෛරසය පිළිබඳව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තොරතුරු දැන ගැනීමට
හදිසි දුරකතන අංක 2ක්
0710107107- 0113071073

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>