TT Ads

 

ඔබ කවදා හෝ රාත්‍රිය නොනිදා පහන් කොට ඇතිද? ජීවිතයේ එක් දිනක් හෝ එසේ නොකළ කෙනෙක් නැති තරම් ය. අද පවතින තරගකාරී සමාජයේ නොවැළැක්විය හැකි හේතු නිසා එසේ සිටීමට සිදුවන විවිධ අවස්ථා යෙදේ. එවිට පසු දිනට දැනෙන අපහසුතාවය වචනයෙන් කිව නොහැකි තරම් ය. දිවා කාලයේ ඒ වෙනුවෙන් පැය දෙක තුනක නින්දක් ලබා ගත්තද එයින් සුවයක් නොලැබෙන්නේ නින්ද යන සුවිශේෂී ජීව විද්‍යාත්මක තත්ත්වය අප හුස්ම ගැනීම, ආහාර ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය දෙයක් බැවිනි.

නින්ද යනු කුමක්ද? ඇයි අපට නොනිදා ඉන්න බැරි වන්නේ? ඈත අතීතයේ සිට විද්‍යාඥයන්ගේ කුතුහලය යොමු කර ගත් ප්‍රශ්නයකි එය. ඉතා සරල සංසිද්ධියක් සේ අපි එයට එදිනෙදා මුහුණ දුන්නද එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. දෑස් වසාගැනීම, දිගා වූ ඉරියව්වක සිටීම, අවදිව නොසිටීම නිදා ගන්නා අයෙකුගේ ලක්ෂණය. එය ශරීරයේ ඇති රසායනික ක්‍රියාවලිය හිතා මතා පාලනය කරන අපේ නිරෝගිමත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට අංක එකටම අවශ්‍ය දෙයකි. නින්දේදී සිදු වන්නේ කුමක්ද? මෙහිදී මූලික වන්නේ අපේ මොළයේ “අවදියෙන් සිටීම” ඇති කරන මධ්‍යස්ථානය පාලනය කරන රසායන ක්‍රියාවලියයි. මොළයේ විවිධ කොටස් වලින් නිපදවෙන නෝඑපිනෙප්රින්, හිස්ටැමින්, මෙලටොනින්, ඩෝපැමින් ආදී රසායන ද්‍රව්‍ය එම මධ්‍යස්ථානය මත ක්‍රියා කර අප අවදියෙන් තබයි. අපට නින්ද ලබා දෙන්නේද මෙම රසායන ද්‍රව්‍ය වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියමය.

නින්ද යනු එකම විදියට පවතින තත්ත්වයක් නොවේ. එය කොටස් දෙකකින් යුක්තය. rapid eye movement (REM) sleep, එනම් ඇස් ගෝලය වේගයෙන් එහා මෙහා වන අවස්ථාව (අපට සිහින පෙනෙන්නේ ඒ කාලය තුළයි) සහ,non-rapid eye movement (NREM) ඇස් ගෝලය නොසෙල්වී තිබෙන අවස්ථාවයි. එම NREM හෙවත් තද නින්දේදී මාංශ පේශි ඉතාම ඉහිල් වන අතර පංචේන්ද්‍රියන්ගෙන් මොළයට ලැබෙන සංඥා වල පහත වැටීමක් සිදු වේ. ඒ අවස්ථාවේ නිවසකට හොරු පැන්නත් ඒ ගැන හාංකවිසියක් නොදැන හිඳින අවස්ථා ඇති වන්නේ එහෙයිනි.

සත්වයින් යනු සොබාදහමේ දරුවෝය. එහෙයින් විශ්වයේ පැවැත්ම හා ඒකාබද්ධව
ක්‍රියාකිරීමට අපේ ශරීරද අනාදිමත් කලක පටන් හැඩ ගැසී ඇත. එය අපි ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් (Biological clock) ලෙස හඳුන්වමු. අපේ සිරුරේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය හෝමෝන ක්‍රියාවලියද දිවා රෑ අනුව වෙනස් වේ. විශේෂයෙන්ම තයිරොයිඞ් උත්තේජක, වර්ධක හෝමෝන සහ කිරි නිපදවීමේදී අවශ්‍ය වන ප්‍රෝලැක්ටින් හෝමෝනයෙ ක්‍රියාකාරිත්වය වැඩිපුර සිදු වන්නේ රාත්‍රී කාලයේය. ග්ලූකෝස් පරිවෘත්තියට නින්ද අත්‍යවශ්‍ය බැවින් නිදිමැරීමෙන් සිරුර මහත් වන අතර දියවැඩියාව සෑදීමේ ප්‍රවණතාවයද වැඩි වේ. නිදිමරන විට හෘද ස්පන්දනය වැඩි වේ. හෘදයාබාධ ඇතුළු‍ හෘද රෝගවලටද ඉඩකඩ සලසයි. නිදි මැරීම ප්‍රතිශක්තිය අඩු කරන අතර ඒ නිසා බෝ වන රෝග මෙන්ම පිළිකා ආදී බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ඉඩ කඩද වැඩි කරයි.

මුළු රෑම නොනිදා රාත්‍රී‍ සේවයේ යෙදීම ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය විය හැකි වුවත් සෞඛ්‍යමත් වශයෙන් ඉතා අහිතකරය. රටක ජනතාව සඳහා තීන්දු තීරණ ගන්නා විට ඒ ගැන දැනුවත් වීම වටී. සමහර දියුණු රටවල නීති රීති සකස් කර ඇත්තේ ජනතාවට සුව නින්දක් ලබා ගැනීමට අවකාශය සලසාය. එය දිවා කාලයේ ඵලදායීතාවයටත්, සතුටින් ජීවත් වීමටත් සමාජ ආරාවුල් අඩුකිරීමටත් හේතු වී තිබෙන බව බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.

නින්දට වැටීමට නොහැකි වීම හෝ දිගටම නින්දේ රැඳී සිටීමට අපහසුවීම insomnia ලෙස හැඳින්වේ. එහි ප්‍රතිඵල ලෙස දිවා කාලයේ නිදිමත පැවැතීම, පණ නැති ගතිය, මානසික හා කායික විඩාපත් ගතිය, මනෝභාවය අස්ථාවර වීම, ආතතිය ඇති වීම සිදුවේ. අපේ ශරීරයේ ස්වාභාවික රිද්මය (circadian rhythm) බිඳවැටෙන අවස්ථා වල නින්ද නොයාම ඇති විය හැකිය. එනම් දිගු ගුවන් ගමන් වලින් පසු (jet lag) ජීවත් වන පරිසරය මාරුවීම, තදබල ග්‍රීෂ්මය, හෝ තදබල සීතල ආදිය වේ. ඒ හැර කලකිරීම, තදබල මානසික රෝග, ආතතිය ආදී මානසික හේතුද, මෙයට වෛද්‍යමය හේතු වශයෙන් දිගටම පවතින වේදනා කැක්කුම්, හෘද රෝග, ඇදුම, අධිතයිරොයිඩතාවය, මොළයේ අර්බුද, අංශභාගය, ආතරයිටිස් ආදිය සැලකිය හැකිය. කාන්තාවන්ගේ වයස්ගත වන විට සිදුවන හෝමෝන වෙනස්වීම්, ගර්භණීභාවය මෙන්ම සැමියන්ගේ නින්දේ ගෙරවීමද බිරිඳගේ නින්දට බාධා ඇති කරන අවස්ථා ඇත.

නින්දයාමේ ක්‍රියාවලිය ස්වාභාවිකව ඇති වීමට අඳුරු පරිසරය තිබිය යුතු ය. අද සමාජයේ දක්නට ලැබෙන වඩාත්ම අහිතකර තත්ත්වයක් නම් නින්දට පළමු රූපවාහිනියේ හා ස්මාට් ජංගම දුරකතනයේ රැඳීසිටීමය. එහි නිල් එළිය මොළයේ ඇති melatonin මට්ටම පහත දමයි. එවිට නින්දට වැටීමට ගත වන කාලය දීර්ඝ වේ. ඔබ තාක්ෂණික මෙවලම් නින්දට පැය භාගයකට පෙරවත් නිවා දැමිය යුතුය.
ඉතා දරුණු ලෙස නින්ද නොයාම පවතින විට වෛද්‍ය උපදෙස් මත බෙහෙත් පාවිච්චි කිරීමට සිදු වේ. නින්ද නොයාමට ඇති බෙහෙත් වර්ග ඇබ්බැහිවීමට තුඩු දෙන අතුරු ආබාධ සහිත ඒවා බැවින්, ඒවා හිතුමතේට පාවිච්චිය කිසිසේත් නොකළ යුතුවේ. නින්ද නොයාම රෝගයක් ලෙස පවතින අයට බෙහෙත් නොගෙන කළ හැකි බොහෝ දේ තිබේ.

අද සමාජයේ දක්නට ලැබෙන්නේ හිතාමතාම නින්ද වළක්වා ගෙන වෙනත් කටයුතුවල නිරත වීමයි. ජංගම දුරකතනය හා රූපවාහිනිය මෙහිදී ලොකුම හතුරා බවට පත්ව ඇත. දුරකතන සමාගම් ඬේටාවලට මිල අඩුකරන්නේ රාත්‍රී දොළහෙන් පසු නිසා බොහෝ තරුණ තරුණියන් පෙළඹී සිටින්නේ රාත්‍රී‍ දොළහෙන් පසුත් ඇහැරී සිටීමටය. නින්ද අඩුකම නිසා පසු දින යමක් කෙරේ අවධානයෙන් සිටීමට අපහසු වීම, මතක තබා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වීම අධ්‍යාපනය අවහිර කරයි. විභාග සඳහා වුව නිදි මැරීම අහිතකරය. අපේ කෙටිකාලීන මතකයන් දීර්ඝකාලීන මතකයන් බවට පත් වන්නේ නින්දේදී බැවින් ඉගෙන ගන්නා දරුවන්ට හොඳ නින්දක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව පවුලේ වැඩිහිටියන් විසින් සකස් කර දිය යුතුය. ජංගම දුරකතන ක්‍රියා විරහිත කොට නිදන ස්ථාන වලින් ඈත්ව වෙනම කාමරයක තැබීම අවශ්‍යයෙන්ම කළ යුතුය.

හොඳම දේ අඩුම වශයෙන් පැය 7-9 දක්වා කාලයක් සුව නින්දක් ලැබෙන සේ පවුල් මට්ටමින් නිදි නොමරන සංස්කෘතියක් නිවසේ ඇති කර ගැනීමය. රූපවාහිනී, ජංගම දුරකතන ක්‍රියා විරහිත කොට, විදුලි ආලෝකය අඩු කොට පවුලේ සියලු‍ දෙනා පැය බාගයක් පමණ සතුටු සාමීචියේ යෙදී සිට නින්දට යාමේ පුරුද්දක් ඇති කර ගතහොත් එකමුතුකමින් එදිනෙදා ගැටලු‍ විසඳා ගන්නා ගමන් නිරෝගිමත් වාසනාවන්ත ඵලදායී ජීවිතයකට සියලු‍ දෙනාටම හිමිකම් කිව හැකි වනු ඇත.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>