TT Ads

අපට ඇත්තේ පුංචි ඉඩකඩක් වුවත්, එම ඉඩකඩෙහි ඵල දරන පලතුරු පැළයක් සිටුවා ගන්නට අපි කවුරුත් කැමැතියි. එහෙත් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා බොහෝ පලතුරු පැළ අකාලයේ මිය යනවා. එහෙමත් නැත්නම් බොහොම අමාරුවෙන් හදා ගත්ත ගහේ ඵලදාව නැහැ වැනි සුලභ ප්‍රශ්න ගණනාවක් බොහෝ දෙනෙකුට තිබෙනවා. අද අපි මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ අපිට හිමි පුංචි ඉඩකඩක වුවත් ඵලදරන හුරුබුහුටි පලතුරු ගසක් සිටුවා ගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

ගෙවත්තේ සිටවීමට පලතුරු පැළයක් මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියට පැළකරන ලද පැළයක් තෝරා ගැනීම ඉතා වැදගත්. වර්තමානය වනවිට විවිධ ප්‍රචාරක රථවලින් පළතුරු පැළ අලෙවි කළත් ඒවා බොහෝ විට නිසි ප්‍රමිතියට සකස් කරන ලද පැළ නොවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත බද්ධ පැළ ලෙසින් මේවා අලෙවි කළත් බොහෝ ඒවා අතු සිටුවා පැළකරනා ලද සාමාන්‍ය පැළවර්ගයි. මෙවැනි වංචාකාරී අන්දමින් සිදුකරන පැළ අලෙවිය නිසා පොදුවේ පලතුරු පැළ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා.

බද්ධ පැළ වශයෙන් අලෙවි කරන පැළවල ව්‍යාජ අන්දමින් සකස් කරන ලද බද්ධ සන්ධියක් ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලබනවා. පිහිතුඩක් ආධාරයෙන් සන්ධිය පොත්තේ පමණක් සලකුණු කළ විට කල්ගත වීමේදී එය ව්‍යාජ අන්දමින් කැපූ බවක් හඳුනා ගැනීම ඕනෑම කෙනෙකුට අමාරුයි. බැලූ බැල්මට එය සැබෑ ලෙසින්ම බද්ධ කරන ලද්දක් බව හැඟී යන පරිදි පොත්තේ පුංචි ගැටයක් ආකාරයට සලකුණු වී තිබෙනවා. මේ නිසා සෑම විට ප්‍රචාරක රථවලින් පළතුරු පැළ මිලදී ගැනීමේදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි.

අප පලතුරු පැළයක් මිලදී ගැනීමේදී වගකිව යුතු ආයතනයකින් මිලදී ගැනීම වැදගත් කරුණක්. එහිදී අදාළ පලතුරු පැළයේ ස්වභාවය, වර්ගය ආදී නිවැරදි තොරතුරු අපට දැන ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සාරවත්ව වැඩුණු හොඳ පැළයක් තෝරා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. ඒ තුළින් සිටුවන පැළය පිළිබඳ විශ්වාසයක් අප තුළම ඇති කර ගත හැකියි.

හොඳ තත්ත්වයේ පලතුරු පැළයක් තෝරා ගැනීමෙන් අනතුරුව එය සිටවීම සඳහා හොඳින් හිරු එළිය වැටෙන ගසට වර්ධනය වීමට ඉඩ පහසුකම් සහිත තැනක් තෝරා ගත යුතුයි. අඹ, රඹුටන් ආදිය ගස් තරමක් උසට වැඩෙන ශාක වර්ග නිසා ඒ සඳහා ඉඩකඩ තිබෙන ස්ථානයක් තෝරා ගැනීම වැදගත්. ඉන් අනතුරුව අඩි දෙකක් උස අඩි දෙකක් පළල හා අඩි දෙකක් පමණ ගැඹුරු වළක් කපා ගත යුතුයි. එහිදී විශේෂයෙන් මතුපිට පස් වෙනමත් වළෙහි ගැඹුරු කොටසේ පස් වෙනමත් කොටස් දෙකකට වෙන් කර ගත යුතුයි. දැන් මතුපිට පස් සමග දිරාගිය කොළ රොඩු කොම්පෝස්ට් පොහොර ආදිය මිශ්‍රකර කපාගත් වළෙහි මතුපිටට වන්නට අඟලක් පමණ ඉතිරි වනසේ වළෙහි පුරවා ගෙන ඔබ කැමති නම් එයට ඩොලමයිට් හෝ හුණු අළු සාමානය ප්‍රමාණයක්ද එක් කරන්න. සති දෙකක පමණ කාලයක් මෙය තියෙන්නට හැර පැළය සිටුවිය හැකියි.

පැළය සිටුවීමෙන් අනතුරුව වළෙහි ඉතිරි කරගත් අඟලක් පමණ කොටස දිරා ගිය කොළ රොඩු, පිදුරු, දිරාගිය තණ කොළ, පොල් ලෙලි, කොහුබත් ආදී දෙයකින් පුරවා ගත යුතුය. මෙය සිටුවා ගත් පැළයට වසුනක් යෙදීම යනුවෙන් හැඳින්වෙනවා. ශාකයකට වසුනක් යෙදීම තුළින් ගස අවට තෙතමනය ආරක්‍ෂා වීම, වල් පැළෑටි ඇති වීම පාලනය වීම, ගස මුලට හොඳින් වාතාශ්‍රය ලැබීම හා ක්‍ෂුද්‍ර ජීවි හානි අවම වීම ආදී වාසි රැසක් අත්කරගත හැකියි. එපමණක් නොව ඉහත සාධක සම්පූර්ණ වීම තුළින් ගසෙහි ශීඝ්‍ර වර්ධනයක්ද අපේක්‍ෂා කළ හැකියි. එසේම අඹ, රඹුටන් වැනි ගස් වැවීමේදී ක්‍රමානුකූලව ගස හැසිරවීම තුළින්, හොඳ ඵලදාවක්ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

උපදෙස් – කෘෂි උපදේශක  අර්ජුන පෙරේරා

සකස් කළේ – සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>