TT Ads

ලෝකයේ රටවල් 196 අතරින් ආචාරශීලී බවින් වැඩිම මිනිසුන් ජීවත් වන රටවල්වලින් එකක් ලෙස හඳුන්වන්නේ ජපානයයි. ජපන් වැසියන් එකිනෙකා කෙරෙහි දක්වන ආචාරශීලී බව මෙන්ම ජපන් රජය සිය රට වැසියන් කෙරෙහි දක්වන ආචාරශීලී බව ද ලෝකයේ අනිකුත් රටවල් පුදුම කරවන සුළුය.
ජපන් රජය ජපානයේ පුරුෂ පක්ෂයට වඩා වැඩි ප‍්‍රතිලාභ ලබා දෙනු ලබන්නේ කාන්තා පක්ෂයටය. විවාහක ජපන් කාන්තාවක සිය සැමියාගෙන් දික්කසාද වී හෝ සැමියා විසින් හැරදමා ගොස් හෝ දෙදෙනා වෙන වෙනම වාසය කරයි හෝ නම් එම කාන්තාවට රජයෙන් මදි නොකියන්නට ආධාර ලැබේ. එනම් සැමියා නොමැතිව තනිව ජීවත් වන කාන්තාවකට රජයෙන් දීමනාවක් ලැබේ. එය ජපානයේ කම්කරු සේවයේ යෙදී සිටින්නෙකුට ලැබෙන අවම වැටුපට සමාන මුදලකි. වාර්ෂිකව එය වෙනස් වන අතර මෙම වසරේ එය යෙන් ලක්ෂ දෙකක් පමණ වේ. එනම් රුපියල් ලක්ෂ තුනකට නොඅඩු මුදලකි. සැමියා නොමැති කාන්තාව රැුකියාවක් කරන්නේ ද නැද්ද යන වග මෙම දීමනාව ලැබීමට බලපාන්නේ නැත. අදාළ කාන්තාව රැුකියාවක් කළ ද නොකළ ද රජයෙන් ලැබෙන දීමනාව එලෙසින්ම ලැබේ. මෙය ජපන් කාන්තාවන්ට පමණක් නොව ජපානයේ පුරවැසි බව ලද ඕනෑම විජාතික කාන්තාවකට සමාන ය.
ඊට අමතරව සියළුම වෛද්‍ය පහසුකම්, එනම් උණ හෙම්බිරිස්සාවක සිට සිරුර අභ්‍යන්තරයේ සිදු කරන සැත්කම් දක්වාත්, අලූතින් දතක් දමා ගැනීම, සම මත ඇති පිලිස්සුණු කැළැල් ඉවත් කිරීම වැනි අත්‍යවශ්‍ය නොවන සෞඛ්‍ය තත්වයන් සඳහාත් කිසිදු මුදලක් වැය කළ යුතු වන්නේ නැත. මේ නිසාම ජපන් පුරවැසියන් ඉතා යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වෙති. වයසු අවුරුදු 80 ඉක්ම වූ ජපන් කාන්තාවන් ද ඉතා පහසුවෙන් බයිසිකල් පැද යමින් සිය කටයුතු තනිව කර ගනිති.
මීට අමතරව ජපන් රජය දරුවන් වැඩිපුර සිටින පවුල් සඳහා වැඩි සන්තෝසම් පිරිනමනු ලබයි. එයට ප‍්‍රධාන හේතුව සීග‍්‍රයෙන් අඩු වෙමින් පවතින ජපාන ජනගහනයයි. 2013 වසරේ ජපාන ජනගහනය මිලියන 127.3 ක් ලෙස සඳහන් වූ අතර 1960 වසරේ එය මිලියන 92.5 ක් ව පැවතිණි. එනම් වසර 50 ක් තුළ වර්ධනය වී ඇති ජනගහනය මිලියන 35 ක් පමණ වේ. සාමාන්‍යයෙන් වසර 50 ක් තුළ සංවර්ධිත රටක ජනගහන වර්ධනය දෙගුණයක අගයක් ගන්නේ යැයි මතයක් පවතී. ඒ අනුව සළකා බැලූ විට ජපානයේ ජනගහන වර්ධනය පවතින්නේ ඍණ අගයකය. එය එක් පවුලකට දරුවන් 1.3 ක අනුපාතයක් ලෙස වාර්තා වී තිබේ. 1960 වසරේ ඇමෙරිකාවේ ජනගහනය මිලියන 180 ක් වූ අතර 2014 වසරේ එය මිලියන 319 ක් ව පැවතිණි. මේ ආකාරයට ජනගහන වර්ධනය ඍණ අගයක පැවතීම නිසා වැඩි වැඩියෙන් දරුවන් හදන්නට අඹු සැමියන් ධෛර්යමත් කරමින් දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල්වලට විශේෂ ප‍්‍රතිලාභ ලබා දීමේ වැඩ පිළිවෙලක් ජපානය තුළ ක‍්‍රියාත්මක වේ.


පවුලක පළමු දරුවාට මෙම ප‍්‍රතිලාභ ලැබෙන්නේ සියයට 10 ක පමණ අගයකින් වන අතර දෙවැනි දරුවාට මාස 6 ක් ගතවන තුරු නොමිලේම ඩයපර්ස් ලැබේ. ඊට අමතරව ළදරු කිරිපිටි වර්ග ද මාස හයක් පමණ සැපයේ. තුන්වන දරුවාට ලැබෙන ප‍්‍රතිලාභ ඊට වඩා වැඩි ය. එනම් වසරක් ගත වන තුරු ඩයපර්, ළදරු කිරිපිටි වර්ග දීමනා ලෙස රජයෙන් ලැබේ. මේ ආකාරයට දරුවන් පස් දෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටී නම් පස්වන දරුවාගේ සිට ඉතිරි දරුවන් සියලූ දෙනාටම අවුරුදු 18 සම්පූර්ණ වන තුරු සිය වියදම්වලින් සියයට හැත්තෑවක් පමණ රජය විසින් දරනු ලබයි. දරුවන් වැඩිපුර හදන අඹු සැමියන් වෙත මෙතරම් ප‍්‍රතිලාභ ලැබුණ ද ජපන් අඹු සැමියන් දරුවන් හදන්නට වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. බොහෝවිට ජපන් පවුලක සිටින්නේ එක් දරුවෙකි. දරුවන් දෙදෙනෙකු සිටින්නේ ද ඉතාම අඩුවෙනි.
එයට විශේෂ හේතුවක් තිබේ. දෙවන ලෝක යුද්ධය අවසන් කරමින් ඇමෙරිකාව 1945 වසරේ අගෝස්තු මාසයේ ජපානයේ හිරෝෂිමා නගරයට සහ නාගසාකි නගරයට න්‍යෂ්ටික බෝම්බ හෙලූ බව අප දනිමු. න්‍යෂ්ටික බෝම්බ ප‍්‍රහාරය නිසා ජපන් වැසියන් එක් ලක්ෂ විසි දහසක් පමණ මිය ගිය අතර ලක්ෂ 4 ක් පමණ විවිධ ආබාධිත තත්වයන්වලට ලක් වූහ. මෙම න්‍යෂ්ටික බෝම්බයේ ප‍්‍රතිඵල පරම්පරා කීපයක් පුරා උපදින දරුවන්ගෙන් පෙන්නුම් කළ අතර එම ප‍්‍රහාරයෙන් වසර 70 ක් ගත වී ඇති වර්තමානයේ ද ජපන් දරු උපත්වලින් සියයට 0.001 ක් එහි ප‍්‍රතිඵල සමග උපදින බවට වෛද්‍ය විශ්ලේෂකයින් විශ්වාස කරති. එනම් ජාන විකෘතිතා, විශේෂිත අවශ්‍යතා ආදී දරුවන් පවා න්‍යෂ්ටික බෝම්බයේ ප‍්‍රතිඵල ලෙස දකින්නට ජපානය හුරු වී සිටී. මේ නිසා අඹු සැමියන් දරුවකුට උපත ලබා දෙන්නට දැඩි බියක් දක්වති. එපමණක් ද නොවේ. ජපන් තරුණ තරුණියන්ගෙන් සියයට තිහක් පමණ විවාහ වන වයස ඉක්මවා විවාහ නොවී සිටින බව වාර්තා වේ. එයට හේතුව ද විවාහ වී විකෘති සහිත දරුවන්ට උපත දෙන්නට සිදු වේ ය යන බිය නිසා ඇති වූවක් ලෙස සැළකිය හැකි ය. මෙවැනි හේතු නිසා රජයෙන් කොපමණ ප‍්‍රතිලාභ ලැබුණ ද ජපන් වැසියන්ට සිය ජනගහනය වර්ධනය කර ගැනීමට වුවමනාවක් නැතිවා සේ පෙනේ.
මේ නිසාම වියට්නාමය, චීනය, මැකා ඕ, තායිලන්තය, පිලපීනය මෙන්ම ශ‍්‍රී ලංකාව වැනි රටවලින් සංක‍්‍රමණය වූ විදේශිකයන් අති විශාල ප‍්‍රමාණයක් මේ වනවිට ජපානයේ පුරවැසි බව ලැබ සිටිති. ඔවුන්ට ද ඉහත කී සියළුම වරප‍්‍රසාද ඒ ආකාරයෙන්ම ලැබෙන අතර ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව වැඩි වැඩියෙන් දරු උපත් ලබා දෙන්නට ද සැදී පැහැදී සිටිති. ඒ ඔවුන්ට න්‍යෂ්ටික බෝම්බයේ ප‍්‍රතිඵල කිසිසේත්ම ඇති නොවන බව දන්නා බැවිනි. මේ නිසාම අනාගතයේ දිනක ස්වදේශික ජපන් වැසියන්ගේ ගහනය ඉක්මවා ජපන් පුරවැසිභාවය ලැබූ සංක‍්‍රමණිකයන්ගේ ගහනය වැඩි වුවහොත් එය පුදුමයට කාරණයක් වන්නේ ද නැත.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>