TT Ads

 

අනේක විධ දුක් දොම්නස් කරදර හිරිහැර මැද ගෙවන මේ දිවි ගමනේදී මුහුණ දෙන විසඳාගත නොහැකි තරමට දරුණු වූ ගැටලුවක් නිසා ජීවිතය අතහැර දමන්නට ඔබට සිතුනොත්? ඒ මොහොතේ ඔබේ දුක කීම සඳහා හිතවතෙකුට ගත් ඇමතුමකට පිළිතුරක් ලැබුණේ නැතිනම් එසේත් නොමැති නම් ඒ දුරකථනය ක්‍රියා විරහිතව තිබුණොත්? එවැනි මොහොතක ඔබ අන්ත අසරණයැයි ඔබට හැඟෙනු නියතය. නමුත් අසීරුතම මොහොතක වුවද ඔබේ බලාපොරොත්තු අතහරින්න එපා. ඔබට ඔබේ ජීවිතය එපා කරවූ කාරණාව කුමක් වුවත් ඔබගේ ගැටලුවට සාවධානව කන්දී සහනශීලී මාවතකට ඔබ යොමු කරවීමට මනාව පුහුණුව ලත් හෙදියන්, වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ මනෝ උපදේශකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පැය 24 පුරාම ඔබ වෙනුවෙන් අවදියෙන් සිටින බව ඔබ දන්නවාද?
ඕනෑම මොහොතක ඔවුන් ඇමැතිය හැකි ඒ සුවිශේෂී දුරකථන අංකය වනුයේ 1926 ය. මෙම දුරකථන අංකය අයත් ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (National Mental Health Helpline) දැන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික මානසික සෞඛ්‍ය ඒකක සමග අත්වැල් බැඳ ගනිමිනි. මොබිටෙල් ජංගම දුරකථනයකින් හෝ SLT ස්ථාවර දුරකථනයකින් මෙම අංකයට ලබා ගන්නා ඇමතුම් සඳහා කිසිදු ගාස්තුවක් අය කෙරෙන්නේද නැත. ඇමතුම් ගාස්තු රහිත කරගැනීමට අනෙකුත් දුරකථන සමාගම් සමගද මේ වන විට සාකච්ඡා පැවැත්වෙන අතර එම දුරකථන ජාල හරහා වුවද ඔබගේ ගැටලුව විස්තර කිරීමට තරම් මුදලක් ඔබගේ ජංගම දුරකථනයේ නොමැති අවස්ථාවකදී 1926 අමතා ඒ බව දැන්වීමෙන් ජාතික මානසික සෞඛ්‍ය සේවාවේ නිලධාරියකු ඔබ අමතනු ඇත.
මානසික සෞඛ්‍ය ගැටලුවකින් පීඩා විඳිමින් කරදරකාරී ලෙස හැසිරෙන යම් රෝගියෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාම ඔබට අපහසු නම් එම කාර්යය සඳහාද මෙම කණ්ඩායම නොපැකිලව මැදිහත් වෙයි. ඔබ යම් දුරබැහැරක වාසය කරන්නේ නම් ඉතා සුළු මුදලක් ගෙවීමෙන් මෙවැනි රෝගියෙකු රෝහල් කරා රැගෙන ඒමේ කටයුත්ත සිදුකර ගත හැකිය.
එසේම මෙම සේවාව අමතා පිහිට පතන අයගේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා වන අතරම ඉතාම ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවාවක් ඔවුන් වෙත ලබා දීමටද මෙම කණ්ඩායම සැදී පැහැදී සිටී. එසේම එම ගැටලුවලට විසඳුම් සොයාදීමෙන් පමණක් නොනැවතී ඒ ගැන පසු විපරම් කරමින් එම රෝගීන් නැවත යථා තත්ත්වයට පත්වන තුරුම ඔවුන් පිළිබඳ අප සමාජයේ සිදුවන දිවි නසා ගැනීම් අවම කරමින් මිනිසුන් මානසිකව නිරෝගී කිරීම මෙම සේවා, බලාපොරොත්තුවයි. 119 හදිසි ඇමතුම් සේවාව ශ්‍රී ලංකා පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රජා සත්කාරක සේවා, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ දම්රිවි පදනම ඇතුළු ආයතන රැසකින් සැදුම්ලත් පුළුල් ජාලයක සහාය ඇතිව මෙම සේවාව ක්‍රියාත්මක වෙයි.

මුල්ලේරියාව නව නගරයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ

සටහන – නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>