TT Ads

නිවසක කල් පැවැත්ම හා අලංකාරය සඳහා ගෙබිම සකසා ගැනීම නිවැරදි අන්දමින් සිදු කළ යුතුය. ඒ සඳහා අප විසින් අනුගමනය කරනු ලබන මුල්ම පියවර වන්නේ අත්තිවාරම හෝ කොන්ක්‍රීට් තලාද (බීම්) අතර පස් පුරවා හොඳින් තලා ගැනීමය. මෙහිදි විශේෂයෙන්ම පුරවන ලද පස් වර්ගයේ ස්වභාවය ගැන අවධානය යොමු කළ යුතුවේ. පිහිටි පොළොවේ පස තෙත් සහිත ස්වභාවයක් ගන්නේ නම් ඉදිරි කාලයේදී වේයන්, කූඹින් වැනි කෘමි සතුන්ගේ හානි පැමිණිය හැකි බැවින් ඒ සඳහා කෘමි නාශක පසට මිශ්‍ර කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් වියළි ස්වභාවයක් ගන්නා හොඳින් තද වන පස් වර්ගයක් අත්තිවාරම පිරවීම සඳහා භාවිතයට ගත යුතුය. ගෙබිම සකස් කිරීමේ මූලික පියවර එයයි.

මීට වසර කිහිපයකට ඉහතදී හොඳින් පස් පුරවා තලාගත් පොළොව මත ගල් හෝ ගඩොල් අතුරා ඒ මත සිමෙන්ති දැමීම සිදුවිය. එය “ගල් ලයිසන්” කිරීම ලෙස හැඳින්විය. නමුත් වර්තමානයේ ගල් හෝ ගඩොල් ලයිසන් කිරීමක් සිදු නොවන අතර තලාගත් පස් මත කොන්ක්‍රීට් දමා පොළව මට්ටම් කර ගැනීම සිදුවේ. ඉන් පසුව අපගේ කැමැත්ත හා ආර්ථික මට්ටම අනුව ගෙබිම අලංකාර කිරීම සඳහා තමන් කැමති ක්‍රමවේදයන් අනුගමනය කළ හැක.

දැව පොළොව

පොළොව සඳහා දැව යොදා ගැනීම තුළින් ඉතාමත් කලාත්මක පෙනුමක් ගෙබිමට ලබා ගැනීමට පුළුවන. එසේම ඒ තුළින් ඉහළ වටිනාකමක් නිවසට ලැබෙන අතර නිවස ඇතුළත සිසිලස රඳවා ගැනීමේ සුවිශේෂ හැකියාවක් ද දැව වලට ඇත.
පොළොව සඳහා දැව භාවිත කරන්නේ නම් වඩාත්ම සුදුසු ලී වර්ගය වන්නේ කුඹුක් ලීයයි. මෙය තරමක් මිලෙන් වැඩි දැව වර්ගයකි.
ගෙබිම සඳහා නිතර තෙතමනය රඳා පවතින නාන කාමර අසල මුළුතැන්ගෙය වැනි තැන්වලට දැව භාවිතය සුදුසු නැත. කෙසේ වෙතත් පොළොවේ තෙත ගතිය දුරු කිරීම ප්‍රතිරෝධාත්මක ප්‍රතිකර්ම යෙදීමෙන් පසු දැව භාවිත කිරීමට පුළුවන. ඒ තුළින් නිවසේ වටිනාකම කිහිප ගුණයකින්ද ඉහළ දැමිය හැක.

ලැමිනේට් බිම

සම්පූර්ණ බිම ෆයිබර් බෝඞ් ලෑල්ලක භාවිතයෙන් පිළියෙළ කෙරෙන අතර දැවමය නිමාවක් ලබා ගැනීමට හැකිවීම මෙහි ඇති අමතර වාසියකි. අඩු වියදමකින් ස්වාභාවික පෙනුමක් සහිත පොළොවක් ලබා ගැනීමට හැකි අතර තමන් කැමති ඕනෑම රටාවක හැඩතලවලට ලැමිනේට් බිම දක්ෂ කාර්මිකයින් වෙතින් සිදු කරගත හැක. නමුත් මෙහි ඇති දුර්වලතාවය වන්නේ සිරීම් වීම මගින් හානි සිදුවීමට ඇති හැකියාවය.

වයිනයිල් බිම

පෙර පාසල් හා කුඩා දරුවන් ගැවසෙන ස්ථාන හා වියපත් වැඩිහිටියන් සිටින ස්ථානවලට මෙම වයිනයිල් බිම යොදා ගැනීමට පුළුවන්. ලිස්සා යෑම් සිදු විය හැකි ස්ථානවලට මෙම රබර් වැනි පොළොව යොදා ගත හැකිය. ඇවිදින විට එඹෙන සුළු ස්වභාවයක් උසුලන මෙම පොළොව කැමති රටාවලින් හා වර්ණයන්ගෙන් තෝරා ගැනීමට පුළුවන. දිගු කාලයක් මේ බිමේ භාවිත කිරීමේ හැකියාවද තිබේ.

ටයිල්

වර්තමානයේ ගෙබිම සඳහා භාවිත කෙරෙන ජනප්‍රියතම ක්‍රමය මෙයයි. මිල, ප්‍රමාණ, වර්ණ, හැඩතල ආදී සියල්ලම සලකා බලන විට ටයිල් ඇල්ලීම කෙනෙකුට පහසුවෙන් සිදු කළ හැකි ක්‍රමවේදයකි. උණුසුම් හා සියලු පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිපදවා ඇති ටයිල් විවිධ ස්ථානයන් අනුව තමන් කැමති ඕනෑම ආකාරයකට තෝරා ගැනීමට හැකියාව ඇත. ටයිල්, පෝසිලෙන්, සෙරමික් සහ ස්වාභාවික වශයෙන් වර්ග කිහිපයක් ඇත. මින් මාබල් ටයිල් වශයෙන් හැඳින්වෙන ග්‍රැනයිට් මිල තරමක් ඉහළය. ස්වාභාවික ගල් වර්ග අවශ්‍ය ප්‍රමාණයන් හා හැඩයන් වලට කපා ඔප දමා ඇති මේවා නිවසක ඇල්ලිය හැකිනම් නිවසේ සිසිලස නිරතුරුවම රඳවා ගැනීමට පුළුවන. නිවසකට ගාම්භීර පෙනුමක් එක්කර ගත හැකි ක්‍රමයකි.

මාබල්

කිරිගරුඬ වර්ගයකි. මිල තරමක් ඉහළය. අපේ රටේ මුලින්ම මාබල් භාවිත කොට ඇත්තේ හැටන් නගරයේ පිහිටා ඇති හැටන් නැෂනල් බැංකුවේය. තමන්ගේ කැමැත්ත මත ඕනෑම තැනකට මාබල් ඇල්ලිය හැක.

ටෙරාසෝ

මෙය අවුරුදු තිහකට වඩා පැරණි ක්‍රමයකි. ටෙරාසෝ ගල් අතුරා කපා ඔප දැමීම තුළින් මෙහි නිමාව ලබා ගනී.
ස්ථානය හා තමන්ගේ කැමැත්ත මත වර්ණ කිහිපයකින් ටෙරාසෝ බිම පිළියෙළ කර ගැනීමට පුළුවන. ඉතාමත් හොඳ නිමාවක් ලබා ගැනීමට හැකි මෙම ක්‍රමය ටයිල් ඇල්ලීමට වඩා වියදම අඩුය.

ටෙරාකොටා

මැටි භාවිතයෙන් සකස් කරන මෙය උළු කැට නිපදවන ආකාරයට නිෂ්පාදනය කෙරේ. මැටි ගඩොලේ පැහැයෙන් යුක්තය. ඇතුළත ස්ථාන සඳහා ටෙරා කොටා යොදා ගැනීම සිදු නොවේ. නමුත් ගරාජ් එළිමහන් ආලින්ද වැනි තැන්වලට ටෙරා කොටා යොදා ගනී.

ටයිටේනියම්

ඉතාමත් දැකුම්කළු, කලාත්මක පෙනුමක් ගෙන දෙන මෙම නවතම ක්‍රමය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතී. පොළොවට පමණක් නොව බිත්ති හා නාන කාමර සඳහා ද දැන් දැන් ටයිටේනියම් භාවිත කරනු දැකිය හැක. සුදු කළු මිශ්‍ර සිමෙන්ති පැහැය මෙහි මූලික වර්ණය වන නමුදු විවිධ වර්ණ එක්කර ගනිමින් අලංකාර රටා මතු කර ගැනීමට පුළුවන. සංචාරක හෝටල් හා උත්සව ශාලා වැනි ස්ථාන සඳහා ටයිටේනියම් භාවිතයට ගැනේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය සිමෙන්ති සුද මදින ආකාරයට මිශ්‍රණය සාදා එයට ටයිටේනියම් රසායනය එක් කිරීමෙන් මිශ්‍රණය සාදා ගැනීමය. ඉන්පසු කපා ඔප දැමීමෙන් අවසන් නිමාව ලබා ගනී.
ටයිටේනියම් වල ඇති විශේෂත්වය වන්නේ ටයිල්වලට සාපේක්ෂව වැය වන පිරිවැය අඩු වීමය. නමුත් ඉතා උසස් නිමාවකින් යුක්තය. ටයිල් වල ඇති ඒකාකාරී කෘත්‍රිම ගතියෙන් මිදීමට ටයිටේනියම් කදිම විසඳුමකි.

ගොතටුවේ දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>