TT Ads

 

අපි සැවොම පෘථග්ජන පුද්ගලයන් වෙමු. පෘථග්ජන පුද්ගලයා යනු කෙලෙස් සහිත පුද්ගලයාය. මෙලෙස පෘථග්ජන පුද්ගලයන් බැඳී සිටින කෙලෙස් මොනවාද?
සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත්ය. එසේ නොවන කිසිදු සංස්කාර ධර්මයක් ලොව නැත. මේ සියලු සංස්කාර ධර්මයන් එකිනෙකට සම්බන්ධ වෙමින්, එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වේ. මේ සංස්කාර ධර්මයන්ගෙන් යම් යම් කොටස් මමය, මාගේය වශයෙන් තම රුචි අරුචිකම් අනුව වෙන් කරගෙන සිටින තැනැත්තා පෘථග්ජන පුද්ගලයාය. මෙසේ මමය, මාගේය වශයෙන් බෙදා ගෙන මා කැමති, මා අකමැති දේවල් වශයෙන් ඒ ඒ දේවල් වෙන් කර ගෙන හිඳින පෘථග්ජන පුද්ගලයා ලෝකය දකින්නේ තමන් මූලික කරගෙනය. ඒ පෘථග්ජන ස්වභාවයයි.
තමන් මුල් කරගෙන ලෝකය දකින පෘථග්ජන පුද්ගලයා තමා කැමති දේවල් සිදු වන විට සතුටු වන අතර, අකමැති දේවල් සිදුවන විට දුකට, කෝපයට, කම්පාවට පත් වනු ඇත. එයට හේතුව මේ සියල්ල සංස්කාර ධර්මයන් බවත්, ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට අයත් බවත් අවබෝධ කරගෙන නොසිටීමය. නමුත් ඒ බව හොඳින් දැන සිටින අයකු වුවද මෙවැනි අවස්ථාවලදී කෝපයට සහ ශෝකයට පත් වීමට පුළුවන. එසේ වන්නේ තමන්ගේ සිත ඒ සම්බන්ධයෙන් හොඳින් පුහුණු කර නොමැති වීම නිසාය.
සිත පුහුණු කරන්නට නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු කුමක්දැයි මුලින් හරි හැටි අවබෝධ කර ගත යුතුය.

අනිත්‍යය යනු නිත්‍ය හෙවත් ස්ථිර නැත යන්නයි. ස්ථිර නැති සෑම දෙයක්ම නැති වන සුළුය. මෙසේ ඇති වී නැති වී යන දේවල් කෙරෙහි බැඳී සිටින විට ඒවා අහිමිව ගිය පසු විශාල දුකක්, පීඩනයක් සිතට දැනෙනු ඇත.
කිසිවක් තමන් කැමති ආකාරයට නොපවතියි. අනාත්ම යන්නෙහි අරුත එයයි. අප මොන තරම් සත්කාර කරමින් අපේ රූපය පවත්වා ගන්නට උත්සාහ කළත් අප දවසින් දවසම වියපත් වීම වළක්වන්නට හැකි ජගතෙක් නැත. විවිධාකාර ආලේපන ගල්වමින් බෙහෙත් වර්ග බොමින් සැමදා එකසේ තරුණ පෙනුම රඳවා ගන්නට උත්සාහ දරන මුහුණද අපට වුවමනා ආකාරයෙන් නොපවතී. ආත්ම වශයෙන් විනාශ නොවී පවතින කිසිවක් සංස්කාර ධර්මයන් තුළ නොමැත. අනාත්ම යන්නෙහි සරල අරුත එයයි.
සියල්ල වෙනස් වුවත්, නැසෙන සුළු වුවත් තමන් කැමති සහ අකැමති වශයෙන් ලෝකය කොටස් දෙකකට බෙදා ගෙන අත් විඳීම පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවයයි.
මේ සෑම සංස්කාර ධර්මයක්ම එකින් එකට ප්‍රත්‍ය වෙමින්, එකින් එකට සම්බන්ධ වෙමින් චක්‍රයක් මෙන් ලෝකය තුළ ක්‍රියාත්මක වෙයි. පෘථග්ජන මිනිසුන් තමන් කැමති සහ අකැමැති වශයෙන් වෙන් කර ගන්නේ චක්‍රයක් මෙන් ලෝකය තුළ මෙලෙස ක්‍රියාත්මක වන සංස්කාර ධර්මයන්ය. මෙහිදී තමන් කැමති දේ සිදුවන විට සතුටට පත් වන අයුරින්ම අකමැති දේ සිදු වන විට ඒ කෙරෙහි මතුවන දුක, කෝපය වැනි ප්‍රතිරෝධයන් පාලනය කර ගැනීමට ඔබට පුළුවන්ද? එසේ නම් උසස් වන්නේ එයයි. එය නම් ඉවසීමය. ඔබ පුහුණු කළ යුතු වන්නේ එයයි.

ඉවසීම පුහුණු වන්නේ කෙසේද?
ඉවසීම පිළිබඳව විවිධ අය විවිධාකාර අර්ථ දක්වති.
“මට ඒ වෙලාවෙ පුදුම විදිහට තරහ ගියා. බොහොම අමාරුවෙන් මං ඉවසගත්තේ.”
ඔබේ ජීවිතයේ බොහෝ අවස්ථාවල ඔබ මෙලෙස පවසා තිබෙන්නට පුළුවන. මෙහිදී සිදු වන්නේ ඔබේ සිතට දැනෙන ආවේග බලහත්කාරයෙන් සිත තුළ සිර කර තබා ගැනීමය. මෙසේ සිර කර තබා ගන්නා ආවේග කොයි මොහොතක හෝ ඉඩක් ලද සැණින් පුපුරා යනු ඇත.
“ඉවසල ඉවසල බැරිම තැන තමයි මං එහෙම කළේ. ඉවසීමෙත් සීමාවක් තියෙන්න ඕනනෙ.” යනුවෙන් එලෙස ආවේග පුපුරා ගිය මොහොතකදී ඔබ පවසනු ඇත.
නමුත් ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තිබේ. එනම් ඉවසීමට සීමා මායිම් නැති බවය. සීමා මායිම් තිබේ නම් එය සැබෑ ඉවසීම නොවේ.
එදිනෙදා ජීවිතය තුළ අප මුහුණ දෙන විවිධාකාර දේවල් අතර දුක, වේදනාව, තරහ, වෛරය වැනි ඕනෑම දෙයක් පැවැතිය හැකිය. මෙහිදී එම සිතිවිලිවලට අනුව ක්‍රියා කර අන් අය සමග ගැටීම් ඇති කර ගන්නවාට වඩා ඒ සිතිවිලි යටපත් කරගෙන හිඳීම යහපත් විය හැකිය. නමුත් එය යහපත් වන්නේ සමාජයට ඉන් සිදු විය හැකි හානි වළකින නිසා පමණි.
එසේ වුවද ඔබේ සිතේ ඇති වූ තරහ, ද්වේෂය ආදී සිතිවිලි එලෙසින්ම පවතිනු ඇත. සිත තුළ ඒවා පවතින විට ඔබ මොන තරම් නම් ඇතුළතින් දැවෙනවාද යන්න සිතා බලන්න. ඒ දැවීම තුළ ඔබ ඔබටම කර ගන්නා විනාශය කොතෙක් විය හැකිද? අනෙක් අතට මේ තරහ සිතේ බලහත්කාරයෙන් තෙරපා ගෙන දැවෙමින් සිටින අතර තුර කිනම් මොහොතක හෝ මේ ඉවසීම පුපුරා යාම වැළැක්විය නොහැකිය. එවිට සිදු වන්නේ ඒ දක්වාම සිතේ සිර කරගෙන සිටි සෑම දෙයක්ම වක්කඩක් කැඩුවා සේ පිටතට ගලා ඒමයි. එවැනි විටෙක ඔබ අතින් මොන මොන දේවල් සිදු වෙයිද? එනිසා සැබෑ ඉවසීම යනු බලහත්කාරයෙන් ද්වේෂය සහ වෛරී සහගත සිතිවිලි යටපත් කරගෙන හිඳීම නොවේ. කෙලෙස් ප්‍රහීන කරන්නට, නිවන් අවබෝධ කරන්නට මේ ඉවසීම ප්‍රමාණවත් වන්නේ නැත.
එසේ නම් සැබෑ ඉවසීම යනු කුමක්ද? ඒ ගැන ලබන සතියේ කතා කරමු.

ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියෝ අවධාරණය කරති

සටහන – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>