TT Ads

විවාහ වී මාස හයක් පමණ පසුවීත් දරුගැබක් නොපිහිටියේ නම් විවාහක කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. කාන්තාවකගේ වයස අවුරුදු 35ට වැඩිනම් විවාහයෙන් පසු දරුඵල පිහිටීම පිළිබඳව වසරක් යනතුරුවත් බලා සිටීම නුසුදුසුය. අඹුසැමියන් ලෙස කිසියම් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරනවා නම් විවාහ වී මාස 4-5 කාලය තුළ අනිවාර්යයෙන්ම කාන්තාවන් ගැබ් ගැනීම සිදුවිය යුතුය.

ගර්භණීභාවය ඇති වීමට නම් කාන්තාවකගේ ඩිම්බකෝෂ යුගලයෙන් එක් කෝෂයකින් ඩිම්බ මුදා හැරිය යුතුය. (එලෙස මුදා හැරි ඩිම්බය පැලෝපීය නාළය ඔස්සේ ගර්භාෂයට ප්‍රවිෂ්ට වීමේදී නිසිකලට පුරුෂ ශුක්‍රාණු සමග සංසේචනය වන යුක්තානුව ගර්භාෂය තුළ අධි රෝපණය විය යුතුය. මෙලෙස නිකුත්වන ඩිම්බ සරු නොවීම හෝ ශුක්‍රාණු බල රහිත වීම හඳුන්වන්නේ මඳසරු භාවය ලෙසය. එහෙත් මඳසරුභාවයට හේතුව බිරිඳද සැමියාද යන්න සොයා බැලීම තුළින් ඊට බලපාන පාර්ශ්වය හා ඔවුන් තුළ පවතින අඩුපාඩු කුමන තත්ත්වයේ ඒවාදැයි නිශ්චය කරගත හැකිය. මෙහිදී පිරිමියා දරුඵල ලැබීමට ඇති හැකියාවෙන් යුක්ත නොවීම පුරුෂ මඳසරුභාවය ලෙස හඳුන්වයි.

පුරුෂයන්ගේ මඳසරුභාවයට බලපාන සමහර හේතු

 ජානමය හා ප්‍රවේණිගත දෝෂ හා ගැටලු
 වෘෂණ කෝෂ උදරය තුළ පිහිටීම
 ලිංගාශ්‍රිත රෝග වැළඳීමෙන් සිදුවන හානි,
 වෘෂණ කෝෂ ඇඹරී පිහිටීම (උපතේ සිටම),
 පිළිකා රෝග තත්ත්ව-යන්හිදී ප්‍රතිකාර ලෙස ලබාදෙන සමහර ඖෂධවල බලපෑම
 පිටියුටර් ග්‍රන්ථයේ ඇතිවන ගෙඩි
 ශුක්‍රාණු මෝචනයේදී ඇතිවන ගැටලු,
 උදර කුහරය ආශ්‍රිතව සිදුකරන ශල්‍යකර්ම,
 දියවැඩියාව නිසා ස්නායු දැඩි ලෙස හානියට පත්වීම,
 සුෂුම්නාව ආශ්‍රිත රෝග සඳහා විකිරණවලට නිරාවරණය වීම,
 විවිධ රසායන ද්‍රව්‍යවල බලපෑම (නිරතවන රැකියාව අනුව මෙම තත්ත්ව පැන නගී)
 හෙළි කරගත නොහැකි හේතු.

මඳසරු භාවය හා වයසේ බලපෑම

නිරෝගී පිරිමින්ට වයස්ගත වුවද දරු සම්පත් ලැබීමට තරම් ශක්තියක් තිබේ. එහෙත් කලාතුරකින් වයසත් සමග ඇතිවිය හැකි ශුක්‍රාණු ප්‍රමාණයේ හීන වීම, ශුක්‍රාණු සතු චාලකතාවයේ ගැටලු, ජානමය හේතු, ස්නායු ක්‍රියාකාරිත්වයේ දුර්වලතා නිසා මේ හැකියාව සීමා සහිත වීමට හැකිය.

මඳසරුභාවය පිළිබඳ පුරුෂ පක්‍ෂයේ ආකල්ප

දරුවෙකු ලැබීම උවමනාවටත් වඩා කල්යන විට මුලින්ම වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්කරනු ලබන්නේ කාන්තාවන්ය. අපේ රටේ තිබෙන පුරුෂ මූලික සමාජය නිසා මේ තත්ත්වය බහුලව සිදුවේ. එහෙත් දරුවෙකු ලැබීමට හේතු විය හැකි මඳසරු භාවයට බලපෑ හැකි හේතු වැඩිම ගණනක් තිබෙන්නේ පිරිමින්ට බව බොහෝ පිරිමින් තවමත් විශ්වාස කරනවාදැයි යන්න සැක සහිතය. පළමුව බිරිඳ පරීක්‍ෂණවලට මුහුණ දී ඇය මඳසරු භාවයෙන් තොර දරුඵල ලැබීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව දැනගත් පසු පිරිමින් ඊළඟ පරීක්‍ෂණ ක්‍රියාවලිය තමන්ට බලපාන විට අතිශයින් කලබලයට පත්වන බව වෛද්‍යවරු හොඳ හැටි දනිති. තමා කිසිකලෙකත් මඳ සරුභාවයෙන් පෙළෙන පිරිමියෙකු යැයි විශ්වාස කරන්නට බොහෝ පිරිමින් දක්වන්නේ තදබල අකමැත්තකි. දරුඵල ලැබීමට ඇති නොහැකියාව බහුලවම කාන්තාවගේ ගැටලුවක් ලෙස ඒත්තු ගැන්වීමට උත්සහ ගන්නා පිරිමින් තමාගේ දුර්වලතාවය එකවර පිළිගැනීමට පවා මැලිවන අවස්ථාවද බහුලවය. දරුඵල ඇතිවීමට සැබෑ හේතුව දැනගත් පසු කලබලයට පත් නොවී වෛද්‍යවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පිළියම් සඳහා සූදානම් වීම කෙරෙහි එවැනි පිරිමින් ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.

පුරුෂ මඳසරුභාවය පිටුදකින්නට නම්

 දුම්පානය හා මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන් මිදීම,
 ලිංගික ශික්‍ෂණය ඇති කර ගැනීම,
 උණුසුම හොඳින් පිටකරන සැහැල්ලු කපු රෙද්දෙන් මැසූ යට ඇඳුම් පාවිච්චි කිරීම,
 පේශි වර්ධනය සඳහා භාවිත කෙරෙන ඖෂධ වර්ග පානයෙන් වැළකීම,
 රැකියා කටයුතුවලදී සෞඛ්‍ය පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම,

මඳ සරුභාවයෙන් පෙළෙන පිරිමින්ගෙන් වැඩි පිරිසකට පියෙකු වීමේ වරම ලබාදෙන තාක්‍ෂණික විද්‍යාත්මක ක්‍රමවේද අද රෝහල් ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වේ. (ICST) යනුවෙන් හඳුන්වන්නේ එම තාක්‍ෂණ ක්‍රමවේදයයි.
යම් පුරුෂයෙකුගේ ඉතාමත් අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් ඇති විටෙක පවා තෝරාගත් එක් ඩිම්බයක් වෙත එහි බාහිර පටලය සිදුරු කරමින් එම ශුක්‍රාණුව ඩිම්බයට ඇතුළුකර සංසේචනය සිදුකිරීමට මෙම තාක්‍ෂණයට අනුව හැකියාව ලැබේ.

මේ අනුව මඳසරුභාවය සහිත පිරිමියෙකුට නිවැරදි වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්වීමෙන් පවතින යථා තත්ත්වය නිසි ලෙස හඳුනා ගැනීමෙන් පිය පදවිය ලැබීමේ වාසනාව ලද හැකිය. නළ දරු තාක්‍ෂණ ක්‍රමවේද වත්මන් සමාජයට තවදුරටත් ආගන්තුක සංසිද්ධියක් නොවේ.

කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>