TT Ads

 

මේ කියන මහාචාර්යවරයා සිය ජීවිත කාලය පුරාම කළේ තමන්ගේ ගෝල බාලයින්ට දැන මුතුකම් කියා දෙන එකයි. ශිල්ප ශාස්ත්‍ර කියා දෙද්දී වුණත් මේ මහාචාර්යවරයාට වෙලාවක් කලාවක් තිබුණේ නැහැ. දවසක් මේ මහාචාර්යවරයා තමන්ගේ ගෝල බාලයනුත් පුංචි බෝට්ටුවක පටවාගෙන ගඟක් දිගේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පිටත් වුණා. ඒ අතරතුර මහාචාර්යවරයා ඉතිහාසය, භූගෝලය, තාරකා විද්‍යාව, සමාජ අධ්‍යයනය, ගණිතය වගේ විෂයන් ගැන නොයෙකුත් පාඩම් කියා දෙන්නට වුණා.
“ළමයි දන්නවද අර ඈත පේන පැළෑටිය මොකක්ද කියලා……. අර එක ළඟ පඳුරු පඳුරු තියෙන්නේ……. මොකක්ද ඒ පැළෑටියට කියන ජීව විද්‍යාත්මක නාමය….”
ඔන්න දැන් මහාචාර්යවරයා අහනවා. හැබැයි ළමයින්ගෙන් උත්තරයක් නැහැ.
“ඔය ළමයා කියන්න බලන්න…..”. එතකොට මහාචාර්යවරයා කියනවා.
“දන්නේ නෑ…..” මහාචාර්යවරයා පෙන්නපු ළමයගෙන් ලැබෙන්නේ ඒ වගේ උත්තරයක්. මහාචාර්යවරයාට දැන් ටිකක් තරහයි. “දන්නේ නෑ…. දන්නේ නෑ. ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව ගැන දන්නේ නැතිව කොහොමද මේ ලෝකේ පය ගහලා ජීවත් වෙන්නේ. තමුන් වගේ ළමයි මේ මුළු ලෝකෙටම ණයයි.”
මහාචර්යවරයා එහෙම කියද්දී ගෝලයෝ ටිකත් කසාය බිපු ගොළුවෝ වගේ තවත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සේ මහාචාර්යවරයාට අහුවෙන්නේ ඈත තිබුණු තල්තලාවක කොටලා තිබුණු පැරණි චිත්‍ර වගයක්.
“ළමයි දන්නවාද මේ ගල්වල කොටලා තියෙන චිත්‍ර මොන සියවසට අයිතිද කියලා….” ඒකටත් ළමයි කාගෙන්වත් උත්තරයක් නෑ.
“හරි එහෙනම් කියනවා බලන්න…. මේ චිත්‍ර ගලේ කොටපු ගෝත්‍රිකයෝ කවුද කියලා….”
“අනේ සර් දන්නේ නෑනේ…….” ළමයි ටික එකිනෙකාගේ මුණවල් දිහා බලාගෙන එහෙම කියනවා.
“රටේ ඉතිහාසෙවත් දන්නේ නැති මෝඩ රැළක්නේ ඔහේලා. ඉතින් කොහොමද රට, ජාතිය ගැන කැක්කුමක් ඇති වෙන්නේ. ඔය විදියට නම් රටේ ලෝකේ ජීවත් වෙන්න බෑ.”
මේ විදියට ළමයිට බැණ බැණ මහාචාර්යතුමා ගඟ දිගේ තවත් ඉස්සරහට යනවා. එහෙම යනකොට දැන් කළුවරත් ටිකෙන් ටික ගලාගෙන එනවා. පුංචි තරුවකුත් අහසේ පායලා තියෙනවා මහාචාර්යතුමා දකිනවා.
“හරි දැන් මේකටවත් උත්තරයක් දෙනවකෝ….. අර පේනවා නේද පුංචි තරුවක්. ඔය තරුවේ ඉඳලා පෘථිවියට කොච්චර විතර දුර ඇතිද?”
ළමයි ටික ඒ ප්‍රශ්නෙට එක එක විදියේ උත්තර දෙනවා. ඒත් මහාචාර්යවරයාට නෙමෙයි හරි උත්තරය ලැබුණේ.
“තාරකා විද්‍යාව ගැන මේ ළමයින්ගේ දැනුම නම් හොඳටෝම මදි. අපි ජීවත් වෙන වටපිටාව ගැන විතරක් නෙමෙයි, අතට අල්ලන්න බැරි, ඈතින් පේන දේ ගැනත් අපි හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඔය ළමයි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ලබා ගන්න දැනුමෙනුත් කිසි ප්‍රයෝජනයක් නෑ……”
මහාචාර්යවරයා එහෙම කියනවාත් එක්කම හිතාගන්නත් බැරි විදියේ තද රළ පහරක් ඇවිත් බෝට්ටුවට වැදුණා. ඒ රළ පහරේ වේගයට බෝට්ටුව ළඟ තිබුණු ගලක හැප්පිලා අනිත් පැත්තට පෙරළුණා. දැන් බෝට්ටුව වතුරේ ගිලෙන්න යනවා. ළමයි ටික පුළු පුළුවන් විදියට පීනලා ගොඩට යා ගත්තා.
ඒත් මහාචාර්යතුමා වතුරේ ගිලිලා ඒ මේ අත දඟළනවා.
“සර්… සර්ට පීනන්න බැරිද?” ඒක දැකපු එක ළමයෙක් හයියෙන් කෑ ගහලා මහාචාර්යතුමාගෙන් ඇහුවා.
“අනේ බෑ ළමයෝ… මාව ගොඩගනිල්ලා….” මහාචාර්යතුමා බොහොම බයාදුවෙන් වගේ කෑ ගැහුවා.
ගොඩට පීනපු ළමයි ටිකත් ආයේ වතුරට පැනලා ගිලෙන්න ගිය මහාචාර්යතුමාව බොහොම අමාරුවෙන් බේරාගෙන ගොඩ බිමට ඇදගෙන ආවා. ගොඩබිමට ආවත් තවමත් මහාචාර්යතුමා බයෙන් වෙව්ලනවා. ඒ වේලාවේ මහාචාර්යතුමා ළඟට ආපු එක සිසුවෙක් මහාචාර්යතුමාට මෙන්න මෙහෙම කිව්වා.
“මහාචාර්යතුමා මොන විද්‍යාව ගැන දැන හිටියත් ජීවත් වෙන “විජ්ජාව“ ගැන දන්නේ නැහැනේ. තව පොඞ්ඩෙන් ඔබතුමා දියේ ගිලිලා මැරෙනවා.”
ටික වෙලාවක් මේ සිසුවා දිහා බලාගෙන හිටපු මහාචාර්යතුමා මෙන්න මෙහෙම කිව්වා.
“උඹ හරි ළමයෝ… ජීවිතේ කියන්නේ පොත පතේ දැනුම විතරක් නෙමෙයි…. මටත් ඒ කාරණේ අද තමයි තේරුම් ගියේ….”
මේ කතාවෙන් අපටත් යමක් ඉගෙන ගන්න තියෙනවා නේද?
මොන තරම් විභාග පාස් කරලා තිබුණත්, කොයි තරම් දුරට එක එක දේවල් හදාරලා තිබුණත්, ජීවිතේ අමාරුම අවස්ථාවකට මුහුණ දෙන්න ඉගෙන ගෙන තිබුණේ නැත්නම් “ඔබ ජීවිතෙන් ෆේල්” කියන කාරණය තමයි ඒ. සමහරු මේ කියන කාරණයට “තැනේ හැටියට ඇණේ ගහනවා” කියලත් කියනවා. සමහර වෙලාවට ඒ විදියට “ඇණ” ගහලත් සමහරු ජීවිතේ දිනනවා. ඒත් සමහර මිනිසුන්ගේ ලොකුකම් පුරාජේරු නිසාම ඔවුන් අන්ත අසරණ විදියට ජීවිතයෙන් පරදින අවස්ථාත් අපි දැක තිබෙනවා. ඒ කියන්නේ ඔවුන් තැනේ හැටියටවත් ඇණේ ගහන්න දන්නේ නැති අයයි.
දැන් බලන්න, උගත් යැයි කියාගත් සමහරු ජීවිතය කාලකණ්ණි කර ගනිද්දී, ඒ තරම් උගත්කමක් නැති මිනිස්සු බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ජයගෙන ජීවත් වෙන හැටි.
මම මේ “අධ්‍යාපනය” කියන දේ සුළුකොට සලකා කතා කරනවා නෙමෙයි. ඒත් අපි මොන දේ කළත්, මොන තරම් ඉහළට ඉගෙන ගත්තත්, අපි ජීවත් විය යුත්තේ කොහොමද, ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දිය යුත්තේ කොහොමද කියලා දන්නේ නැත්නම් වෙන මොනවා ඉගෙන ගත්තත් වැඩක් නෑ කියලා තමයි මට අද කියන්න ඕනෑ වුණේ. මම මේ කියපු කාරණයට ඔබ කොයි තරම් එකඟද කියලා අවංකව හදවතට තට්ටු කරලා බලන්න.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>