TT Ads

තම දරුවන්ට හෝ තමාට හිතවත් අයකුට තෑගි ඔප්පුවක් මගින් නිශ්චල දේපළ ප්‍රදානය කිරීම බොහෝ විට සිදු වන්නකි. මෙසේ තෑගි ඔප්පුවක් මගින් තම අයිතිය පවරා දෙන අවස්ථාවේදී කොන්දේසි සහිතව හෝ කොන්දේසි රහිතව වුවද පවරාදීම සිදුකළ හැකිය. එසේ කොන්දේසි සහිත අවස්ථාවන් ලෙස ජීවිත භුක්තිමය අයිතිය රඳවා තබා ගැනීම හා නැවත අවලංගු කිරීමේ බලය රඳවා ගැනීම දැක්වීමට පුළුවන්. මෙලෙස කුමන ආකාරයකින් පවරා දෙනු ලැබූවත් එසේ තෑගි ඔප්පුවක් මගින් තෑගි කරන දේපළේ අයිතිය නැවතත් එම දේපළ තෑගි දෙන ලද පුද්ගලයා වන තෑගි දීමනාකරුට ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවන්ද පවතී.

තෑගි ඔප්පුව මගින් දේපළ තෑගි කොට පවරා දීමේදී කිසිදු මුදල් ගනුදෙනුවක් සිදුනොවේ. තෑගි දීමනාකරුට, තෑගි ලැබුම්කරු එනම් තෑගිලාභියා කෙරෙහි ඇති වන ආදරය, කරුණාව, සෙනෙහස හේතුකොට ගෙන සහ හෝ තෑගි ලැබුම්කරු විසින් මතු දිනයක තෑගි දීමනාකරුට සලකමින්, සොයාබලා කටයුතු කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් තෑගි දීමනාකරු විසින් ත්‍යාගලාභියාගේ අනාගත අභිවෘද්ධිය සඳහා දේපළක් තෑගි දීම සිදු කරනු ලබයි.

මෙහිදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් කළ පරිදි ජීවිත භුක්තිය සහිතව සහ ජීවිත භුක්තිය රහිතව දේපළ පවරා තෑගි කර දීමේදී සහ අවලංගු කළ හැකි හෝ කිසිකලකත් අවලංගු කළ නොහැකි ලෙස පවරා දුන් අවස්ථාවලදී ඇතිවන නෛතික තත්ත්වයන් ද, එමෙන්ම තෑගි ඔප්පුවක් මගින් යම් තැනැත්තකු විසින් යම් අයෙකුට තම අයිතිවාසිකම් තෑගි කළ පසුව එම දේපළ තෑගි කළ පුද්ගලයාට නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය කුමක්ද යන්නයි.

 

ජීවිත භුක්තිය සහිතව දේපළක් තෑගි දීම
ජීවිත භුක්තිය සහිතව තෑගි කොට පවරා දීම යන්නෙන් අදහස් වන්නේ, තෑගි දීමනාකරු හෝ වෙනත් පුද්ගලයෙකු වෙත ජීවත්ව සිටින තාක් කල් එකී දේපළ භුක්ති විඳීමේ බලය රඳවා තබා ගෙන, ජීවිත භුක්ති කරුවන්ගේ ඇවෑමෙන් පසු එම දේපළ තෑගි ලැබුම්කරුවන්ට හිමිවන ලෙසට පවරා දීමයි. එනම්, එම දේපළ තෑගි දීමනාකරු මිය යන තෙක් භුක්ති විඳීමේ අයිතිවාසිකම ඇත්තේ තෑගි දීමනාකරුට හෝ ජීවිත භුක්තිය රඳවා ගත් තැනැත්තාට බවයි.

 

ජීවිත භුක්තිය රහිතව දේපළක් තෑගි කිරීම
ජීවිත භුක්තිය රහිතව දේපළක් තෑගි කොට පවරා දීම යන්නෙන් අදහස් වන්නේ තෑගි දීමනාකරු විසින් තෑගි ලැබුම්කරුට එම දේපළේ අයිතිවාසිකම තෑගි ඔප්පුවක් මගින් පවරා දෙන අවස්ථාවේ සිටම එහි භුක්ති විඳීමේ අයිතිවාසිකමද තෑගි ලැබුම්කරුට හිමිකර දීමයි.

 

ස්ථිර සහ අවලංගු කළ නොහැකි තෑගි
සමහර අවස්ථාවලදී දේපළ තෑගි කිරීමේදී ස්ථිර සහ අවලංගු කළ නොහැකි බවට වන කොන්දේසින් සහිතව දේපළක් තෑගි දිය හැකිය. එසේ සිදු කළ විට එම තෑගි දීමනාකරුට එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට යම් අවශ්‍යතාවක් පැන නැගුනේ නම් තෑගි ලැබුම්කරුගේ කැමැත්ත ඇතිව මිස එකී ඔප්පුව අවලංගු කිරීමට නොහැකිය.

 

අවලංගු කළ හැකි තෑගි
තෑගි ඔප්පුවක් මගින් යම් දේපළක් තවත් අයෙකුට පවරා දීමේදී කොන්දේසියකට යටත්ව එනම්, තෑගි දීමනාකරුට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි බවට වන කොන්දේසියක් සහිතව තෑගි ඔප්පුවක් ලබා දිය හැකිය. එයින් අදහස් වන්නේ තෑගි දීමනාකරුට අවශ්‍ය වන අවස්ථාවලදී එලෙස තෑගි ඔප්පුවක් මගින් එකී දේපළක් පැවරුවා වුවද එම තැනැත්තාට නැවතත් එම දේපළ ලබා ගැනීමට අයිතිවාසිකමක් ඇති බවයි.

 

තෑගි ඔප්පුවක් අවලංගු කිරීම
සාමාන්‍යයෙන් පුද්ගලයකු තවත් අයෙකුට තෑගි ඔප්පුවක් මගින් යම් දේපළක් පවරා දෙනු ලබන්නේ එම පුද්ගලයා කෙරෙහි තම සිත තුළ ඇති ආදරය, දයාව, කරුණාව සහ ස්නේහය හේතුකොට ගෙන වේ. එබැවින් තෑගි දීමනාකරු සිතේ එම තෑගි ලැබුම්කරු කෙරෙහි ඇති ආදරය, කරුණාව, ස්නේහය නොමැති තත්ත්වයට තෑගි ලැබුම්කරු විසින් ක්‍රියා කළහොත් තෑගි දීමනාකරු විසින් තෑගි ලැබුම්කරුට ලබා දෙන ලද තෑග්ග අවලංගු කිරීමට විවිධ උත්සාහයන් සිදු කරනු ලැබේ.

එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් තෑගි දීමනාකරුට එකී තෑගි ඔප්පුව අවලංගු කර එකී දේපළට නැවතත් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා එකී දේපළ පිහිටි ප්‍රදේශයේ දිසා අධිකරණයේ තෑගි ලැබුම්කරුට එරෙහිව නඩුවක් පවරා තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීමට පියවර ගත යුතුය.

එලෙස තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීමට හැකි බවට තීන්දුවක් ලබා ගැනීමට නම් එම නඩුවේදී තෑගි ලැබුම්කරු විසින් තෑගි දීමනාකරුට බලවත් අකෘතඥතාවයෙන් කටයුතු සිදු කරන ලද බව අධිකරණයට සාක්ෂි මගින් ඔප්පු කළ යුතු වේ. සමහර අවස්ථාවලදී දෙමාපියන් විසින් තමන්ට ඇති එකම දේපළ තම දරුවන් විසින් එම දෙමාපියන්ට ආදරයෙන් කරුණාවෙන් සලකමින් සියලුම නඩත්තු කිරීම් සිදු කරනු ඇතැයි යන බලාපොරොත්තුව පෙරදැරිව දරුවන්ට තෑගි කිරීම සිදුවේ. එහිදී ජීවිත භුක්තිය නොතබා තෑගි කරනු ලබන අවස්ථා පවතී. එවැනි අවස්ථාවලදී පවා එම තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීමට දිසා අධිකරණයේ නඩු පවරා එවැනි තත්ත්වයක් ඇති වී ඇති බවට එකී කරුණු ඔප්පු කිරීම මගින් තෑගි දීමනාකරුට එකී තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීමට නෛතික හැකියාවක් ඇත.

තවද, තමා සතු දේපළ තෑගි ඔප්පුවක් මගින් වෙනත් අයෙකුට ස්ථිර තෑග්ගක් වශයෙන් පවරා දෙන බව සඳහන් කරමින් තෑගි දෙනු ලබයි. එසේ තෑගි දුන්නද තෑගි ලැබුම්කරු විසින් තෑගි දීමනාකරුට සිදු කරනු ලබන බලවත් අකෘතඥතාවය හේතුවෙන් තෑගි ලැබුම්කරුගේ අනුදැනුමකින් තොරව එම තෑගි ඔප්පුව ප්‍රකාශන ඔප්පුවක් ලියා අවලංගු කිරීමට පියවර ගන්නා අවස්ථා තිබුණද එය නීත්‍යානුකූල තත්ත්වයක් නොවන බව සිහි තබා ගත යුතුය. එවන් අවස්ථාවලදී දිසා අධිකරණයේ නඩුවක් පවරා බලවත් අකෘතඥතාවය ඔප්පු කර තෑගි ඔප්පුව අවලංගු කළ යුතු වේ.

 

බලවත් අකෘතඥතාවය මත තෑගි ඔප්පු අවලංගු කිරීම

තෑගි ලැබුම්කරුගේ බලවත් අකෘතඥතාවය පදනම් කොට ගෙන තෑගි ඔප්පුවක් අවලංගු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් 2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත හඳුන්වාදී ඇත.

එම පනතේ 2වන වගන්තිය මගින් අවලංගු කළ නොහැකි බවට සඳහන් කරන ලද තෑගි ඔප්පුවක් බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීම සඳහා නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් මගින් කරනු ලබන ආඥාවක් මගින් පමණක් අවලංගු කළ හැකි බවට සඳහන් කර ඇත. ඒ අනුව අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කිරීමට සම්බන්ධ නීතිය මෙම පනත මගින් පැහැදිලිව දක්වා ඇත.

තවද, 2017 අංක 5 දරන පනත මගින් මෙවැනි නඩුවක් ගොනු කළ යුතු කාලසීමාව සම්බන්ධයෙන් පනතේ 3 වන වගන්තිය මගින් සඳහන් කර ඇත. එනම්, තෑගි ඔප්පුවක් ලියා අත්සන් කළ දින සිට අවුරුදු 10ක කාලයක් ඇතුළත සහ නඩු නිමිත්ත පැන නැගුනු දිනයේ සිට අවුරුදු දෙකක කාලයක් ඇතුළත එම නඩුව ගොනු කළ යුතුව ඇත. මෙහිදී නඩු නිමිත්ත ලෙස සලකනු ලබන්නේ තමා බලවත් අකෘතඥතාවයට පත් කරමින් කටයුතු කරන ලද දින සිට අවුරුදු දෙකක කාලයයි. නමුත් එසේ සිදුවීම තෑගි ඔප්පුව ලියූ දිනයේ සිට අවුරුදු 10ක කාලයක් ඇතුළත සිදුවී තිබිය යුතු වන බව සිහිතබා ගත යුතු කරුණකි.

මෙවැනි නඩුවක් පැවරීමේදී එම නඩුව පැවරූ පැමිණිලිකරු විසින් එම නඩුව ඇසීමට තිබෙන නඩුවක් (ලිස්පෙන්ඩන්) ලෙස ලියාපදිංචි කිරීම සඳහා අවලංගු කිරීමට අපේක්ෂිත ඉඩම ලියාපදිංචි කර ඇති ඉඩම් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හෝ එකී තෑගි ඔප්පුව ලියා පදිංචි කර නොමැති අවස්ථාවක දී නම් එම තෑගි ඔප්පුවට අදාළ ඉඩම පිහිටා ඇති දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම සඳහා ඉල්ලු‍ම් පත්‍රයක් පැමිණිල්ල සමග ගොනු කළ යුතුව ඇත. මෙම පනත යටතේ ගොනු කරන ලද නඩුවක් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 101 වන අධිකාරය යටතේ ඇති විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යායුතු වන බව පනතේ 5 වන වගන්තියේ සඳහන් කර ඇත.

එම නිසා ඉහත කී කරුණු සලකා බැලීමේදී අවලංගු කළ නොහැකි ලෙස ලබා දී ඇති තෑගි ඔප්පුවක් වුවද, තමා හට තෑගි ලැබුම්කරු විසින් සිදුකරන ලද බලවත් අකෘතඥතාවය හේතු කොටගෙන 2017 අංක 5 දරන පනතේ ප්‍රතිපාදන මත නියමිත දිසා අධිකරණයේ නඩු පැවරීමෙන් අවලංගු කරවා ගත හැකි බවත්, එසේ නොමැතිව දීමනාකරු පමණක් අත්සන් කළ ප්‍රකාශන ඔප්පුවක් මගින් තෑගි ඔප්පුවක් අවලංගු කිරීම නීතියට පටහැනි බව ඔබට මෙයින් අවබෝධ වනු ඇත.

 

ජේ්‍යෂ්ඨ නීතීඥ මහින්ද ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>