TT Ads

නිවැරදි ආහාර රටා, ප්‍රමාණවත් නින්ද මෙන්ම කායික මානසික විවේකයද නිරෝගී සම්පන්න දිවි පෙවෙතකට අත්‍යාවශ්‍යම අංග අතර ප්‍රධානවේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවන රාත්‍රී කාලයට සැහැල්ලු සුමට ආහාරයකින් සප්පායම් වී සැමදා එකම වේලාවකට නින්දට යෑම සුවපත් දිවියකට මං පාදයි. නිදා ගන්නා විටදී ද දකුණු ඇලයට හැරී නිදා ගැනීමට හුරුවීම තුළින් ඔබේ උදරයේ, ආමාශයේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි. සූර්ය නාඩි මනාසේ ක්‍රියාශීලි වීම තුළින් ඔබට නිරෝගි දිවියක් උරුම කර දෙයි.

රාත්‍රී නින්දට සූදානම් වන ඔබ ශ්ලෝකයක්, ගාථාවක් හෝ භාවනාවක් සමග විනාඩි කිහිපයක් ගත කරන්න. ආධ්‍යාත්මික දියුණුවක් අපේක්ෂා කරන ඔබේ රාත්‍රී නින්දට ගත කරන කාලය ටිකෙන් ටික අඩු කරන්න. ඊට හේතුව යෝග, භාවනා සමග දවස ගෙවන අයෙකුට දිගු නින්දකින් ලැබෙන කායික මානසික විවේකය එම ආධ්‍යාත්මික ක්‍රමවේදයන් තුළින් නිරායාසයෙන් ලැබෙන නිසයි. පැය කිහිපයක සාමාන්‍ය නින්දෙන් ලැබෙන සුවපත් විවේකය විනාඩි කිහිපයක යෝගා නිද්‍රාවක් තුළින් අත්පත් කර ගත හැකි බව ඔබ දන්නවාද?
අද අප ඔබට හඳුන්වා දෙන්නේ ත්‍රිකෝණාසනය නමින් හැඳින්වෙන යෝගාසනයයි. කෝණ තුනක් නිරූපණය වන ආකාරයට ආසන ගත වන නිසා ඊට ඒ නම භාවිත වේ.

ත්‍රිකෝණාසනයට පිවිසෙන ආකාරය

 තඩාසනයට පිවිසෙන්න. (දෑත් ඉඟ දෙපසින් පහළට සිටින සේ ඉදිරිය බලා සෘජුව සිට ගන්න)
 ගැඹුරු හුස්මක් ගෙන එම හුස්ම පිට කරන්න.
 දෙපා අඩි තුනහමාරක් පමණ පරතරයකින් තබා ගන්න.
 දෑත් උරහිසට සමාන්තරව දෙපසට විහිදුවා නැවත ගැඹුරු හුස්මක් ගන්න.
 දකුණු අත දකුණු කනට සමාන්තරව ඔසවන්න.
 හුස්ම පිටකර හරිමින් වම් ඇලයට කඳ නවන්න. (මෙවිට ඔබේ වම් අත වම් පාදයේ පහළ කොටස මත සෘජුව පැවැතිය යුතුයි.)
 එම ඉරියව්වේ තත්පර 25-30 පමණ රැඳී සිට සාමාන්‍ය ස්වසන රටාවට පිවිසෙන්න.
 වම් අත වම් කනට සමාන්තරව ඉහළට ඔසවා දකුණු ඇලයට කඳ නවමින් එක ඇලයකට තුන් වරක් බැගින් හය වාරයක් අභ්‍යාසයේ යෙදෙන්න.
ත්‍රිකෝණාසනය හැඩකාර සිරුරක් අපේක්ෂා කරන කාන්තාවන්ට ඉතාමත් යෝග්‍ය යෝගාසනයක් වුවද කොඳු ඇට පෙළේ ශල්‍ය කර්මවලට භාජනය වී ඇති අය මෙන්ම, පාදවල දුර්වලතා හා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය ගුරු උපදෙස් සහිතව නියැළිය යුතු යෝගාසනයක් බව අවධාරණය කළ යුතුවේ.

ත්‍රිකෝණාසනයේ ප්‍රතිඵල

 ඉඟ පෙදෙස, පපුපෙදෙස, උදරය, පාද මාංශපේෂීන් ශක්තිමත් කරයි.
 කලවා සහ ඉඟ ප්‍රදේශයේ අනවශ්‍ය මේද කොටස් දහනය කරයි.
 ස්වසන පද්ධතිය උත්තේජනය කරයි.
 සුෂුම්නාව සහ ගෙල ප්‍රදේශ ශක්තිමත් කරයි.
 දරා ගැනීමේ ශක්තිය සහ සමබරතාවය වර්ධනය කරයි.

යෝගා උපදේශිකා,රේකී ආචාරිනි
ආර්යා ෆ්රෝලිච්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>