TT Ads

අපේ කතානායිකාවගේ නම දිසානායක මුදියන්සේලාගේ නිල්මිණිය. ආදි වාසී පවුලක උපත ලැබූ නිල්මිණි විවාහ වී සිටින්නේ මෙරට ආදිවාසී ජනතාවගේ වත්මන් නායකයා වන ඌරු වරිගයේ වන්නිලැත්තන්ගේ සිවුවැනි පුත්‍රයා වන ඌරුවරිගයේ මුතු බණ්ඩා සමගය. නමුත්, අප නිල්මිණි පිළිබඳ කතාබහ කරන්නේ ඇය ආදිවාසි නායකයාගේ ලේලියක වීම නිසාම නොව ඇය ආදිවාසි පරපුරට ආලෝකයක් ගෙනදීමට සමත් වූ කාන්තාවක වීම නිසාය. ඇය ලේඛිකාවකි. එමෙන්ම ගායන ශිල්පිනියකි. එමෙන්ම සමාජය දෙස විවෘත ඇසකින් බලන කාන්තාවකි. මේ සිය ආදිවාසී නෑ පරපුරේ හඬ, තමන් උපන් ගම්මානයෙන් ඔබ්බට ගෙනයාමට වෙරදරන ඇයගෙ කතාවය.

* මෙරට ආදිවාසී ජනතාව අතරින් බිහිවූ මුල්ම ලේඛිකාව විදිහට ඔබව හැඳින්වූවොත් නිවැරදිද?

හරියටම හරි. අපේ ආදි වාසී ජනතාවගෙන් මුලින්ම පොතක් ලියා පළ කළ කාන්තාව මමයි. “වනස්පති උරණවෙලා” කියන නවකතාව තමයි මුද්‍රණද්වාරයෙන් දොරට වැඩි, මගේ පළමු පොත. දැන් මම තවත් නවකතාවක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ඒකේ නම තමයි “අහිමි දඩබිම” මගේ ඥාතීන් සහ මා ලබූ කටුක අත්දැකීම් ගැනයි මේ නවකතා දෙකෙන්ම කියැවෙන්නේ.

* ඔබ කොහොමද ලේඛන කලාවට යොමුවුණේ?

මගේ සැමියාගේ තාත්තා, ඒ කියන්නේ නායකතුමාගෙන් විවිධ තොරතුරු ලබාගන්න දිනපතාම විශාල පිරිසක් අපේ ගම් පළාතට එනවා. එහෙම එන අයගෙන් මා සමග ගොඩක් හිතවත් වූ කාන්තාවක් ඉන්නවා. ඇය තමයි පොත් ලියන්න මාව පෙළඹ වූයේ.

* ඔබ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ නායිකාවක්, කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබුණේ?

ත්‍රීවීල් ස්ටාර් කියන වැඩ සටහන නිසා තමයි මට ඒ වගේ වාසනාවක් උදා වුණේ මම ඒ වැඩ සටහනට ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු වුණේ. අපේ වැදි ගී නොනැසී පවත්වා ගැනීම මිසක් මම තරුවක් වෙන්න නෙමෙයි. අපේ ගීතත්, ගායනයත්, වාද්‍ය භාණ්ඩත් එක්ක නවීන ඒවා ගලපාගෙන විනිශ්චයක් නිවැරදිව දෙන්න බැහැ. ඒ නිසා විනිශ්චය මණ්ඩලයත් අපහසුවට පත්වුණා. මම බලාපොරොත්තු වූ දේ වුණෙත් නැහැ. දැන් හිතෙනවා එහෙම වුණ එකත් හොඳයි කියලා.

* ආදිවාසි භාෂාව සහ වැදි ජන ගී අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගන්නත් ඔබ විශාල වැඩ කොටසක් ඉටු කළා නේද?

ඔව්. මම වසර 10ක් පුරා අපේ ආදි වාසි දරුවන් වෙනුවෙන් පෙර පාසලක් පවත්වාගෙන ගියා. ඒ හරහා අපේ භාෂාව, වැදි නැටුම් සහ වැදි ගී පොඩි අයට පුරුදු පුහුණු කළා. මට අපේ කෞතුකාගාරෙන් ඒකට දීමනාවක් ගෙව්වා. අපේ ගම්වල අයගේ දුක් ගැනවිලි දැක්කම එයාලගෙන් මුදලක් ගන්න බැහැ. අපේ ජනතාව හරිම අසරණයි. ඒ හින්දා මම මට ගෙවපු දීමනාව බැංකු ගිණුමක දාලා ඒකත් ඒ ළමයින් වෙනුවෙන් වෙන් කළා. මම ඉගෙන ගත්ත දේ සල්ලි වලට දීම පාපයක් කියලයි මට හිතෙන්නේ. බුදුහාමුදුරුවොත් තනියම උත්සාහ කරලා ලබාගත් බුද්ධත්වයෙන් මිනිසුන් සසරින් එතෙර කළේ මුදලට නෙමෙයිනේ කියලා මට හිතෙනවා. මොකද මම බුදු දහම ඉතා තදින්ම විශ්වාස කරන කෙනෙක්.

* මළ ගිය නෑ යකුන් අදහන පරපුරක ඉපදුනු ඔබ කොහොමද ඒ විදිහට වෙනස් වුණේ?

අපේ නායකතුමා මුලින් බුදු දහම තදින් වැළඳගත්තා. හෙමින් හෙමින් අංග සම්පූර්ණ පන්සලක් හැදුවා. මේ අවුරුද්දේ කඨින චීවරය පූජා කිරීමත් ඔහු බාර ගත්තා. අපි හැමෝම දැන් දුකින් පිරුණ සසරින් එතෙර වෙන්නයි කල්පනා කරන්නේ. දියුණු සමාජයේ ජීවත් වෙන අය කොහොම හිතනවද දන්නේ නැහැ. අපි නම් ඉපදුනදා ඉඳලා වින්දේ දුක් විතරයි කියලා මට හිතෙනවා.

* ඔබ දක්ෂතාවලින් පිරිපුන් කෙනෙක්. නමුත් ඔබ ජීවිතය ගැන කතා කරන්නේ කලකිරීමෙන් නේද?

නැහැ. හැබැයි මම ජීවිතය තේරුම් අරගෙනයි තියෙන්නේ. අතිශය දුක් ගැහැට මැද මම යම්කිසි ගමනක් ආවා. හැබැයි මේ කරන හැමදේම බොරු කියලා මට දැන් හිතෙනවා. මොනවා එකතු කළත් අපි මරණින් පස්සේ ගෙනි යන්නේ නැහැනෙ. සින්දුවක් කියන්නෙත් දුකට වේදනවාවට, කාන්සියට සහ මහන්සිය නිවා ගන්න කියලා කියනවනේ. නමුත් ඒවයේ තියෙන්නෙත් රාගය, ද්වේශය සහ මෝහයම තමයි. මගේ හඬ නිසා කෙනෙක් මුලා වෙනවා නම් මම එයින් බැහැර වෙන්න ඕන. පොත් ලිවීමත් එහෙම තමයි. අපි බොරුව, මුලාව ලියන්න හොඳ නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ.

* ඔබේ පරපුරේ ප්‍රධාන නායකයාගේ ලේලිය වීමට ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

මගේ පවුලේ කාටවත් නොලැබුණ දෙයක් තමයි මට ලැබුණේ. ඒ නිසා මම හිතන්නේ මම පෙර පින් කරපු කෙනෙක් කියලයි. හැබැයි ඒ ගැන හිතලා මම කවදාවත් ආඩම්බර වුණේ නැහැ. මොනවා හරි හොඳ දෙයක් අපට ලැබෙන්නේ පෙර පින් නිසයි. බුදු දහමට අනුව අපි නැවත නැවත උපදින නිසා මම මේ ලබාගත් ආත්මේදි වැඩිපුර පින් කරන්න තමයි හිතන්නේ. එහෙම නැතිව ආඩම්බරයක්වත් ඉන් එහා ගිය මහ ලොකු සතුටක්වත් මට නැහැ. හැබැයි මට හොඳ සැමියෙක් ඉන්නවා කියන සතුට නම් මට තියෙනවා.

* ආදිවාසී කාන්තාවන්ට විවාහයේදී දෑවැද්ද ගැටලුවක් වෙන්නේ නැද්ද?

ඒක අපට ප්‍රශ්නයක් කියන්නත් බැහැ. නැහැ කියන්නත් බැහැ. හැබැයි මා වෙනුවෙන් නම් කිසිවක් දෙන්න අපේ අම්මලාට වත්කමක් තිබුණේ නැහැ. නායකතුමා ඒවා බලාපොරොත්තු වුණෙත් නැහැ. මගේ සැමියයි මමයි නෑකමට නෑනයි, මස්සිනයි වෙනවා. දැවැද්දක් දුන්නේ නෑ කියලා එයාගේ පවුලේ උදවිය මට කිසිම වෙනසක් කළේ නැහැ.

* ආදිවාසි තරුණයෙක් සහ තරුණියක් විවාහ වූ පසු කළේ දඩයමේ යාම අතීතයේ සිට පැවැත එන සිරිතක්. මේ සම්ප්‍රදාය ඔබ දෙදෙනාත් ඉටු කළාද? එහෙමත් නැතිනම් එවැනි පැරණි සිරිත් දැන් ආදී වාසි සමාජයෙන් බැහැර වෙලාද?

ඔව්. විවාහයේදී ඒ සම්ප්‍රදායන් අපි කඩ කළේ නැහැ. අපි දෙන්නාත් ඒ කාලේ කැලේ ඇවිදින්න ගියා. හැබැයි ඒක විනෝද ගමනක් නොවෙයි. බොහොම කටුක ගමනක්. අපිට ඕන කරන හැම දෙයක්ම කැලේ නැති නිසා අපි මුදල් හොයා ගත්තේ කැලේ තියෙන බෙහෙත් වර්ග, අල වර්ග, පලතුරු, මී පැණි, දඩමස් ආදිය අලෙවි කරලයි. ඒවා හොයන්න අපි දෙන්නාම තමයි කැලේට යන්නේ. ඒක බොහොම දුක්ඛිත ජීවිතයක්. කැලේට ගියාම සතා සීපාවාගෙන් පවා බේරිලා ආපහු එන්න ඕනෑ. නමුත් ඒ පැරණි සම්ප්‍රදායන්ට අපි අදටත් ගරු කරනවා. ඒ නිසා නාගරික සමාජය සමග කොපමණ මුහු වුණත් අපේ පැරණි ආදිවාසි උරුමයන් විනාශ වෙලා යන්න අපි ඉඩ හරින්නේ නැහැ.

කමලා අතරගල්ල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>