TT Ads

 

කෙටි කෑම වර්ග හා ක්ෂණික කෑම වර්ග අද ඉතා ජනප්‍රියය. දරුවෝද මේවාට ප්‍රිය කරති. එම හේතුව හා තම පහසුව මත දෙමාපියෝද මේවා දරුවන් හට ලබා දීමට මැලි නොවෙති. නමුත් ඒවායේ පිරිසිදු බව හා ගුණාත්මක බව පිළිබඳව සහතික විය හැකිද? එමෙන්ම ඒ සඳහා වැඩි මිලක්ද වැයවේ.
“මේ ළමයි ගෙදර හදන දේවල් කන්නේ නැහැ.”
මේ බොහෝ මව්වරුන්ගේ අදහසය. එය අසත්‍යද නොවේ. නමුත් දරුවන්ට ලබා දෙන කෑම ඒකාකාරී බවින් තොරවීම ඔවුන්ගේ ආහාර රුචිය වැඩි කරවන බව කිව යුතුය.දරුවන්ට ප්‍රිය බවක් ගෙන දෙන ආකාරයට සකස් කර ගත හැකි කෑම වර්ග කිහිපයක් අපි අද බලමු.
මෙහිදී ආහාර වල රසවත් බව මෙන්ම පෙනුමද සිත් ගන්නා සුළු ආකාරයට තිබිය යුතුවේ.
කුඩා දරුවෝ වර්ණවත් දේට ප්‍රිය කරති. ආහාර වල ඇති වර්ණවත් බවද ඔවුන් එයට ප්‍රිය වීමට හේතු වනු ඇත. ඉඳි ආප්ප සෑදීමේදී පිටි මිශ්‍රණයට වර්ණක (කලරිං) ස්වල්පයක් මිශ්‍ර කළ හැකිය. එමෙන්ම කිරිබත් සකස් කර ගන්නා විට පොල් කිරි මිශ්‍රණයට කලරින් ස්වල්පයක් මිශ්‍ර කළ හැකිය. එවිට ඇතිවන වර්ණවත් බව දරුවන්ගේ ආහාර රුචිය වැඩි කරවයි.
නමුත් මෙහිදී ශරීරයට අහිතකර නොවන ඒවා තෝරා ගැනීමටද වග බලා ගත යුතුය.

බත් වර්ග

කැරට් අලයක් සිහින්ව කපා එයට ලුණු හා ගම්මිරිස් මිශ්‍ර කර තෙම්පරාදු කර ගන්න. එයටම හොඳින් ගසා ගන්නා ලද බිත්තරක් හා ග්‍රේට් කර ගත් චීස් එක් කර ගන්න. කහපාට කලරිං ස්වල්පයක්ද මිශ්‍ර කර මෙය බත් සමග කලවම් කර ගන්න.
මේ ආකාරයටම සිහින්ව කපා තෙම්පරාදු කර ගත් බෝංචි වලට කොළ පාට කලරිං එක් කර බතට මිශ්‍ර කර ගත හැකිය. මෙයට ගොටුකොළ හෝ සුදුසු පළා වර්ගයක්ද සිහින්ව කපා මිශ්‍ර කර ගැනීමට පුළුවන.
මෙහිදී බිත්තර වෙනුවට සිහින්ව කපා ගත් මස්ද එක් කළ හැකිය.
බොහෝ දරුවෝ පපඩම්වලට ප්‍රිය කරති. නමුත් වැඩි අවස්ථාවලදී සිදුවන්නේ බත් ඉතිරි කර පපඩම් පමණක් ආහාරයට ගැනීමය. එම නිසා පපඩම් ඉතා කුඩාවට කඩා බත් සමග මිශ්‍ර කර දෙන්න. පපඩම් සමග කලවම් වීමෙන් බත්වල රසයේද යම් වෙනසක් ඇතිවේ. මේ ආකාරයටම තම්බන ලද බිත්තර හෝ ඔම්ලට් ද කුඩා කැබලි වලට කපා බත් සමග මිශ්‍ර කළ හැකිය.

පාන් විවිධාකාරවලට සකසමු

දරුවන් බොහෝ විට පාන් ආහාරයට ගන්නේ බටර් සහ සීනි හෝ ජෑම් තවරා සකස් කරන ලද සැන්ඞ්විච් ලෙසය. නමුත් පාන් පෙතිවල බටර් තවරා ඊට උඩින් සිහින්ව සූරා ගත් හකුරු ස්වල්පයක් ඉසීමෙන් මිහිරි රසයක් ඇතිවේ.
සමහර දරුවෝ මිරිස් සැරට ප්‍රිය කරති. එවැනි දරුවන්ට බටර් තවරන ලද පාන් පෙති මත ලුණු මිරිස් ස්වල්පයක් තවරා දීමට පුළුවන. මේ සඳහා සුදුසු වන්නේ ලූනු කපා සකස් කරන ලද ලුණු මිරිස් නොවේ. ලූනු හොඳින් තලා සකස් කරන ලද ලුණු මිරිස්ය.

වෙනත් ආහාර වර්ග

රොටී මිශ්‍රණයට බටර් ස්වල්පයක් හා බිත්තරයක් මිශ්‍ර කිරීමෙන් එහි රසය මෙන්ම ගුණයද වැඩිවේ.
තම්බන ලද බිත්තර දෙකට කපා එහි කහ මදය ඉවත් කර බටර් හා ග්‍රේට් කරගත් චීස් ස්වල්පයක් සමග එය මිශ්‍ර කරන්න. මෙයට තම්බා පොඩි කරගත් අර්තාපල්ද එකතු කළ හැකිවේ.
රස අනුව ලුණු හා ගම්මිරිස් දමා කලරිං ද මිශ්‍ර කර වර්ණ ගන්වා ගන්න. ඉන්පසු අයිසිං නොසලයකින් මෙම මිශ්‍රණය බිත්තර සුදු මදය මැදට පුරවන්න. මෙයද දරුවන්ට වෙනස් දෙයක් ලෙස පෙනෙනු ඇත. මෙය දරුවන්ගේ උපන්දින සාද හෝ විශේෂ අවස්ථා සඳහාද සකස් කර ගත හැකි ආහාර වර්ගයකි.

බටර් හා අයිසිං සීනි මිශ්‍රණයක් සාදා වර්ණ ගන්වා ගන්න

රටඉඳි ගෙඩි ගෙන හොඳින් සෝදා පලා ඇට ඉවත් කර ගන්න. නමුත් මෙහිදී පළුදෙක සම්පූර්ණයෙන්ම වෙන් නොවිය යුතුය. පසුව බටර් හා අයිසිං සීනි මිශ්‍රණය මෙයට පුරවන්න. රට ඉඳි ඉතා ගුණදායකය. නමුත් සමහර දරුවෝ රටඉඳි කෑමට ප්‍රිය නොකරති. මේ ආකාරයට එහි රසය වැඩිවීම එය දරුවන්ට ප්‍රිය කරලීමට හේතුවේ.
මාරි විස්කෝතු ගෙන එකක ඉහත මිශ්‍රණය තවරා ඒ මත තවත් විස්කෝතුවක් තබා සකස් කළ හැකිය. දෙකට කපන ලද බනිස් ගෙඩියකට මෙම මිශ්‍රණය තවරා දරුවන්ට දෙන්න.
මෙසේ විවිධ අයුරින් ආහාර වර්ග සකස් කර දරුවන්ට ලබා දීමට උත්සාහ කරන්න. එමෙන්ම නිවසේ සාදන ලද ආහාරවල ඇති පිරිසිදු බවද ලෙඩ රෝග වලින් වැළකීමට එය හේතු වන බවද දරුවන්ට වටහා දෙන්න.

ජලදිනී සේනානායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>