TT Ads

සිඟිති දරුවෝ කතන්දර ඇසීමට ප්‍රිය කරති. රූපවාහිනිය, ජංගම දුරකතන වැනි නවීන මෙවලම් වලට හුරුවීම නිසා පොත් පත් කියවීමෙන් වර්තමාන දරුවන් දුරස්ව සිටින බව බහුතරයකගේ මතයයි. නමුත් වැඩිහිටියන් විසින් දරුවන්ට කතන්දර කියා දෙන්නේ නම් ඒවාට සවන් දීමට දරුවන් ප්‍රිය කරන බව කිව යුතුමය.එදා දෙමාපියෝ දරුවන්ට කතන්දර කියාදීම පුරුද්දක් කරගෙන සිටියහ. බත් කවන විට, නිදි කරවන විට මෙන්ම දරුවන් අමනාප වූ අවස්ථාවල ඔවුන්ව යථා තත්ත්වයට පත් කරලීමටද එක් උපක්‍රමයන් ලෙස භාවිත කරන ලද්දේ කතන්දර කියා දීමයි.

ඇත්තෙන්ම කතන්දර යනු සිඟිති දරුවන්ගේ ඉගෙනීමේ මාධ්‍යයකි. කතන්දර කියාදීම ඔවුන් තුළ විවිධ දේ සංවර්ධනය කරලීම සඳහා මහත් උපකාරී වේ.
කුඩා දරුවන් සඳහා කතන්දරයක් තෝරා ගැනීමේදීද වැඩිහිටියන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් වේ.

කතන්දරය ඉතාම සරල විය යුතුය

කතන්දරය සරල වීම දරුවාට එය අවබෝධ කර ගැනීමට පහසුවකි. අවබෝධ කර ගැනීමට පහසු වන විට දරුවන් එයට සවන් දෙන්නේද ආශාවෙනි.

කතන්දරයේ චරිත ප්‍රමාණය අඩු වීම

කතන්දරය අවබෝධ කර ගැනීමට, මතක තබා ගැනීමට චරිත විශාල සංඛ්‍යාවක් තිබීම කුඩා දරුවන්ට අපහසුවකි. එබැවින් චරිත කිහිපයක් (දරුවාට මතක තබා ගත හැකි ආකාරයට) පමණක් ඇති කතන්දර තෝරා ගත යුතුය.

අද්භූත සතුන් පුද්ගලයන් හෝ සිද්ධීන් ඇතුළත් කතන්දර සිඟිති දරුවන්ට සුදුසු නැත

ස්විස් ජාතික මනෝ විද්‍යාඥ ජීන් පියාජේ (Jean Piaget)  විසින් පවසා තිබෙන්නේ වයස අවුරුදු 2-5 අතර දරුවන් සංකේතයක් මගින් සිතන බවයි. එම නිසා මෙවැනි සිද්ධීන් තාත්වික යැයි දරුවන්ට හැඟේ.
එමෙන්ම ඔවුන්ගේ සිඟිති සිතුවිලි තුළ වීරයන් බවට පත් වන්නේද එවන් මනඃකල්පිත චරිතයි. එමනිසා එවැනි චරිත සහිත කතන්දර දරුවන්ට සුදුසු නොවන බව අතීතයේ සිටම ළමා සංවර්ධනය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ ජින් පියාජේ හා තවත් දාර්ශනිකයන්ගේ මතය විය. කතන්දර හරහා දරුවන් තුළ සංවර්ධනය කළ හැකි දේ පිළිබඳව අපි දැන් බලමු.

අවධානයෙන් යුතුව සවන්දීමට හුරු කරවීම

අධ්‍යාපන කටයුතු වලදී අවධානයෙන් යුතුව සවන් දීම ඉතාම අවශ්‍යවේ. පාඩමක් නිසි පරිදි අවබෝධ කරගත හැකි වන්නේ එවිටයි. ඒ සඳහා පෙරහුරුව ලබා දීමට නම් දරුවන් කුඩා කාලයේදී ඔවුන්ට වින්දනාත්මකව සවන් දීමට අවස්ථාව ලබා දිය යුතුයි. කතන්දර එයට ඉතා සුදුසු වේ.

කථන හැකියා සංවර්ධනය කිරීම

කතන්දරයකට ආශාවෙන් සවන් දෙන විට එහි ගැටලු සහිත තැන් පිළිබඳව දරුවෝ විමසති. එමෙන්ම කතන්දරය කිය දෙන අය විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනු ඇත. එවිට ඔවුන්ගේ ශබ්ද උච්චාරණය අලුත් වචන දැන ගැනීම ආදිය දියුණුවේ.

සංකල්ප පිළිබඳ අවබෝධය

පහත දැක්වෙන උදාහරණ හරහා මෙය වඩාත් පැහැදිලි කරගත හැකිය.
1. මිදුලේ තිබුණ සුදු පාටයි කහ පාටයි මල් කඩලා වට්ටියකට දාගෙන පන්සල් ගියා. (වර්ණය)
2. ළමයි ටික ලස්සන රවුමට ඉඳ ගන්න. (රවුම)
3. වලස් තාත්තා ලොකු පුටුවේ වාඩි වුණා. පුතා පොඩි පුටුවේ වාඩිවුණා (ලොකු/පොඩි)

ප්‍රමාණය පිළිබඳ අවබෝධය

“සමනළ පැටියා අම්මයි තාත්තයි අක්කයි එක්ක මල් වත්තට ගියා. එතකොට කී දෙනයිද?”
“හා පැටව් තුන් දෙනා තණකොළ ගොල්ලේ පිනුම් ගැහුවා.”

පුද්ගලයකුගේ සදාචාරාත්මක බව එම පුද්ගලයාට මෙන්ම සමාජයටත් වැඩදායකය. සදාචාරාත්මක සංවර්ධනය සඳහා අඩිතාලම දරුවන් කුඩා කාලයේදීම දැමිය යුතුය.
කතන්දර මගින් නිදසුන් දක්වමින් මෙය කළ හැක. එහිදී යහපත් කල්ක්‍රියාවෙන් යුතු අයට යහපත උදාවන බව අනිවාර්යයෙන්ම පැවැසිය යුතුය.

ජලදිනි සේනානායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>