TT Ads

කරදර කාලෙක වුනත් මේක ටිකක් සතුටු හිතෙන ආරංචියක්. කොයි තරම් කාලයකටද කියල හරියටම කියන්න බැරි වුනත් දැන් ආයෙත් බබාලට බෙහෙත් විදින්න පටන් ගන්නවා.

හැබැයි මේ වෙලාවෙ කොරෝනා අවදානමෙන් බේරිලා බබාට බෙහෙතුත් විදගෙන එන්න නම් වෙනදට වඩා ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.වැදගත් ම දේ බබාට බෙහෙත් විදින දවසට ඒ වැඬේ ඇරෙන්න වෙන වැඩ දාගන්න එපා. මොකද බබා අඩුම දුරක් ගෙනියලා ආපහු ගෙදර ගේන්න ඕන. ක්ලිනික් එකට ගියා බෙහෙත විද්දා ගෙදර ආවා. වෙනදා වගේ බෙහෙත් විදන් එන ගමන් තව බඩු ටිකකුත් අරන් එන එක මේ පාර කරන්න බෑ.

ඊළඟට බස් වල යන එක පුලූවන් තරම් මග අරින්න. බැරිම නම් විතරක් යන්න. පයින් යන දුරක නම් බබාව පයින් ගෙනියන්න.ඉස්සර වගේ නෙවෙයි. දැන් ක්ලිනික් වල බෙහෙත් විදින්න වෙන්නේ කලින් දීපු වෙලාවට. පැයකට බබාල කීප දෙනෙක් ට තමයි බෙහෙත් විදින්නෙ. ඒ නිසා බෙහෙත් විදින්න යන්න කලින් මිඞ් වයිෆ් මිස් ගෙන් හරියටම තැන දිනය වෙලාව කියන දේවල් අහල පොතක ලියාගන්න.

අනිත් කාරණේ තමයි මේ වැඬේ කරන්න ගියාම උදේ අටේ ඉඳන් හවස හතර විතර වෙනකල් ඕනම වෙලාවක බෙහෙත් විදගන්න යන්න වෙන්න පුලූවන්. ඒ නිසා ඒ ගැන කලබල නොවී තමන්ට ලැබෙන වෙලාවට ක්ලිනික් එකට යන්න වෙනවා.බැරි වෙලාවත් ඔබට බෙහෙත් විදින්න ඉන්න වයස් දෙකක බබාල දෙන්නෙක් ඉන්නවා නම් ඒ බව කලින් දවසක මිඞ් වයිෆ් මිස් ට මතක් කරන්න. එතකොට එයා පුලූවන් තරම් උත්සහ කරයි බබාල දෙන්නටම එක දවසෙ බෙහෙත් විදල දෙන්න.
මේ වෙලාවෙ අපි කරන්නේ බෙහෙත් විදින එකයි විටමින් දෙන එකයි විතරයි. බර කිරනවා වගේ කිසිම දෙයක් මේ ක්ලිනික් වල කෙරෙන්නේ නෑ. මොකද බබාලට ඉක්මනින් බෙහෙත් විදල පුලූවන් ඉක්මනින් ගෙවල් වලට යවන්න ඕන නිසා.තවත් කාරණාවක්. බැරි වෙලාවත් බබාට උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් තියෙනවා නම් ඒ අසනීප හොඳටම හොඳ වෙනකල් බබාව බෙහෙත් විදින්න ගෙනියන්න එපා. මොකද එහෙම බබාලට හොඳටම හොඳ වෙනකල් බෙහෙත් විදින්නේ නෑ. අරගෙන ගියත් ආපහු අරන් එන්නයි වෙන්නේ.

බබා ක්ලිනික් එක ඇතුළට ගෙනියනවා නම් අම්මට උණ ,කැස්ස ,හෙම්බිරිස්සාව උගුරෙ අමාරු තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් බබාව ක්ලිනික් එක ඇතුළට අරගෙන යන්න කල් තියා වෙන කෙනෙක් හොයාගන්න වෙනවා.ඒ වගේම බබා එක්ක කිලිනික් එක ඇතුළට යන්න දෙන්නේ එක්කෙනාට නිසා වෙනද වගේ නැතුව තනියම බබාගෙ වැඩ ටික කරගන්න වෙනවා. බබා එක්ක ක්ලිනික් එක ඇතුළට යන්නෙ එක්කෙනයි. වෙනදට වගේ බබා වඩාගෙන යන්න කෙනයි, පොත ගෙනියන්න තව කෙනයි යන්න බෑ. ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න.

මොනම හේතුවක් නිසා හරි බබා ඉන්න ගෙදර කෙනෙක් නිරෝධායනයට ලක් වෙනවා නම් ඒ කෙනාගෙ දවස් දා හතර ඉවර වෙනකල් බබාව බෙහෙත් විදින්න ගෙනියන්න එපා. මොකද එහෙම නිරෝදායනය වෙන කෙනෙක් ඉන්න ගෙදරක ඉන්න බබෙකුට බෙහෙත් විදින්නෙ ඒ නිරෝදායනය වෙන කෙනා දින දාහතර සම්පූර්ණ කරලා ඉවරවුනාම.ක්ලිනික් එකට කලින් යන්න එපා . පුලූවන් තරම් හරි වෙලාවට යන්න. හැබැයි වෙලාවට ගිහින් ටිකක් වෙලා ඉන්න උනොත් කලබල කරන්න එපා. අපිත් තවම මේ වැඬේට පුරුදු වෙන හින්දා ගතවෙන වෙලාව ටික ටික වෙනස් වෙන්න පුලූවන්. ඒ නිසා සමහර වෙලාවට පොඞ්ඩක් ඉවසන්න සිදුවේවි.

ක්ලිනික් එක ළඟ අනිවාර්යෙන් අත හෝදන තැනක් තියෙන්නම ඕන. ක්ලිනික් එක ඇතුලට යන්න කලින් සබන් දාල තප්පර විස්සක් විතර හොඳින් අත සෝදගන්න ඕන. බබා අත සෝදන වයසෙ නම් එයාටත් අත සෝදන්න පුරුදු කරන්න ඕන.

තව වැදගත්ම දෙයක් තමයි බබා එක එක තැන් අත ගාලා නහය කට ඇස් අල්ලන එක පුලූවන් තරම් අඩු කරගන්න ඕන.ක්ලිනික් එක ඇතුළට ගියාම ලෑස්ති කරලා තියෙන හැටියටම මීටරයක පරතරයෙන් ඉඳගෙන ඉන්න වෙනවා. දෙතුන් දෙනා එක පාර නැගිටින්න බෑ. ඒ වගේම හැම බබෙක්ටම බෙහෙත් විදින්න කලින් මිස් අත හෝදන්න ඕන. නැතිනම් විසබීජ නාශක දියරයකින් අත පිරිසිදු කරගන්න ඕන. මිස් ට අමතක වුනොත් අම්මලට පුලූවන් ඒක මතක් කරල දෙන්න.

ඒ වගේම බෙහෙත විද්දට පස්සෙ පුලූන් කෑලි නියම තැනට දාන්න වගබලාගන්න. වෙනදට තැනතැන දාන අයට වුනත් එහෙම දාන්න දෙන්න එපා.බෙහෙත විදලා ඉවර නම් යාලූවෝ එනකල් ඉන්නෙ නැතිව ඉක්මනින් බබාව ගෙදර ගෙනියන්න.ඉතින් අම්මලා හැමෝටම මේ වෙලාවේ වගකීමෙන් වගේම කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. මොකද එක ලෙඩක් වළක්වාගන්න කරන බෙහෙත් විදින එක නිසා තව ලෙඩක් බෝ කරගන්න වුනොත් ඒක හරිම අවාසනාවන්ත දෙයක් බවට පත්වේවි. ඒක අම්මලාට,බබාලාට විතරක් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අයටත් දැඩිලෙස බලපානවා.
වෛද්‍ය නුවන් තොටවත්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>