TT Ads

ලොවම ගිලගත් කොරෝනා වසංගතයේ බලපෑම ශ්‍රී ලංකාවටද අත්විඳින්නට සිදු වුණා. නමුත් එම වෛරසය කුඩා දරුවන් කෙරේ ලොකු බලපෑමක් සිදු නොකිරීම හේතුවෙන් අපේ රටේ මව්පියන් සැනසුම් සුසුම් හෙළුවා. ඒත් ඒ සැනසීම අතුරුදන්ව යන බවක් තමයි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ. ඒ කොරෝනා වෛරසයේ බලපෑම වැඩියෙන් එල්ල වුණු ඇමෙරිකාව, ඉතාලිය වැනි රටවල දරුවන් අතර කවසකි රෝගය වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යෑමත් සමගින් ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ද ඊට ගොදුරුවන්නට පටන්ගෙන තිබෙන නිසා. ඇත්තටම මොකක්ද මේ කවසකි කියන්නේ ‘රැජිනිය’ අපි පාඨක ඔබ වෙනුවෙන් ඒ පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ගෙන් විමසන්නට තීරණය කළා.

 

 වෛද්‍යතුමනි, මොකක්ද මේ කවසාකි කියන්නේ?
වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයක් විදියට මේ කවසාකි රෝගය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දවස්වල දරුවන් අතර දින පහකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතිනවා නම්, පැරසිටමෝල් ලබාදීමෙන් එම රෝගය අඩු වන්නේ නැත්නම් ඒ කවසාකි රෝගය වෙන්නට පුළුවන්.

 මෙම රෝගය හඳුනාගත හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍යයෙන් දින පහකට වැඩි කාලයක් පහව නොයන උණ තත්ත්වයත් සමඟින් ඇස් රතුවීමක්, තොල් රතුවීමක්, දිව ස්ට්‍රොබෙරි ගෙඩියක් වගේ රතුවීමක් බෙල්ලේ වසා ගැටිති ඉදිමෙන ගතියක් එක්ක අත්ලේ පතුලේ සහ සමේ රතු ලප ඇතිවීමක් දක්නට පුළුවන්. එවැනි රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ දරුවා විශේෂඥ වෛද්‍යවරයකු සිටිනා රෝහලකට ඉක්මනින් ඇතුළු කිරීම වැදගත්.

 මෙම රෝගය සහ කොරෝනා වෛරසය අතර තිබෙන සම්බන්ධය මොකක්ද ?
මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් පැතිර ගිය රටවල දරුවන් අතර මේ රෝගය වැඩියෙන් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. කොරෝනා පමණක් නෙවෙයි, සාමාන්‍යයෙන් ඕනෙම වෛරස් රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වීමෙන් පසුව කවසාකි රෝගය ඇතිවෙන්නට පුළුවන්. ඇත්තටම මේ දවස්වල කොරෝනා රෝගීන් වැඩියෙන් වාර්තා වුණු රටවල දරුවන් අතර පැතිර යන මේ රෝගය සමහරක් විටෙක රෝගය කවසාකි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ හා සමාන වෙනත් රෝගයක් වෙන්නත් පුළුවන්.

 කවසාකි රෝගය ඇතිවෙන්නේ කොහොමද?
කවසාකි කියන්නේ කෙලින්ම වෛරස් රෝගයක් නිසා ඇතිවන රෝගයක් නෙවෙයි. එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක්. ඒ කියන්නේ කිසියම් වෛරසයකට විරුද්ධව යමෙකුගේ ශරීරයේ ඇතිවන ප්‍රතිදේහ ප්‍රතිජීවකවල ප්‍රතික්‍රියාවක් මඟින් ඇතිවන තත්ත්වයක්. පවතින තත්ත්වය උදාහරණයකට ගත්තොත් කොරෝනා විෂබීජයට විරුද්ධව යමෙකුගේ ශරීරයේ හදන ප්‍රතිදේහ මඟින් ඒ අයගේ අනෙකුත් අවයවවලට බලපෑම් ඇතිකරන රෝගී තත්ත්වයක්.

 රෝගය සුව කරන්නට අමාරුයි ද ?
මේ කවසාකි රෝගය බව මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දුන්නොත් පැය 48-72 ක් අතර කාලයකදී උණ තත්ත්වය පහව යෑමක් දක්නට පුළුවන්. කොහොමත් ඉක්මනින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළොත් මෙම රෝගය සෑහෙන දුරකට පාලනය කරන්නට පුළුවන්. යම් විදියකින් මුල් අවස්ථාවේදී රෝගය හඳුනාගෙන නියමිත ප්‍රතිකාර ලබාදීමට නොහැකි වුවහොත් දීර්ඝකාලීනව හෘදය වස්තුවට බලපෑම් ඇතිවෙන්න ඉඩ තියෙනවා.

 ඒ බලපෑම මොනවගේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද?
කවසකි රෝගය හේතුවෙන් හෘදය වස්තුවට සහ හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනිවලට බලපෑම් ඇතිකරනු ලබනවා. එවිට කිරීටක ධමනිය ලොකු වීම, සමහර වෙලාවට හෘදය වස්තුවේ කුටීර ලොකු වීම ඇතිවෙන්නට පුළුවන්. එම තත්ත්වය බොහොම භයානකයි. ඒ නිසා තමයි මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් කියන්නේ. මොකද එවන් දරුවන්ට දීර්ඝ කාලීනව පවතින හෘද රෝග ඇතිවන්නට පුළුවන්. ඒ අනුව ඉතා අඩු වයසෙන් (අවුරුදු 15, 20, 30 වගේ) හෘදයාබාධ ඇතිවන අයගෙන් යම් ප්‍රතිශතයක් කවසාකි රෝගය හරියට හඳුනානොගත් අය බව මේ වනවිට අප හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා කවසාකි රෝගයට ගොදුරු වූ දරුවන්ගේ හෘදය වස්තුව කාලයක් යන තුරු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය කාරණයක්.

 මෙම රෝගය මීට පෙරත් අපේ රටේ දරුවන් අතර හඳුනාගෙන තිබෙනවාද?
මේ රෝගය මුලින්ම වාර්තා කරන්නේ 1967 දී. ජපානයේ කවසකි කියන වෛද්‍යවරයා විසින්. ඒ අනුව කාලයක් තිස්සේ අප රට තුළ ද මෙම රෝගය සහිත දරුවන් වාර්තා වුණා. හැබැයි ලොකු පිරිසක් නෙවෙයි. සාමාන්‍යයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වසරකට 50-100 ක් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. ඒ අය වෙනුවෙන් සායන පැවැත්වෙනවා.

 මේ අවස්ථාවේ රෝගී දරුවන්ගේ ප්‍රතිශතයේ වැඩිවීමක් දක්නට ලැබේවිද ?
මේ දිනවල කොරෝනා වෛරසය වැඩියෙන් පැතිර පවතින රටවල දරුවන් අතර මෙම රෝගය බහුලව පැතිර යමින් පවතින හෙයින් ශ්‍රී ලාංකික දරුවන්ද ඒ අවදානමට ලක්වෙන්න පුළුවන්. මොකද පසුගිය කාලය පුරාම වරින් වර පැතිර ගිය වෛරස් රෝග තත්ත්වයන්ට පසුව ලොකු ප්‍රතිශතයකින් නොවුණත් රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් අප දුටුවා.

 රෝගය හඳුනාගැනීමේ දී යොදාගන්නා පරීක්ෂණ මොනවද ?
මෙවැනි රෝගී දරුවන්ගේ මූලික රුධිර පරීක්ෂාවක් වගේම ESR පරීක්ෂණයක් සිදුකරනු ලබනවා.රෝගී දරුවන්ගේ ESR වැඩිවීමක් සහ රුධිර පට්ටිකා වැඩිවීමක් ඇති විය හැකි අතර පරීක්ෂණ මඟින් ඒ බැව් තහවුරු කර ගැනීමට පුළුවන්. ඒ වගේම රෝගයට ගොදුරුව ඇති දරුවන් ඉකෝ ටෙස්ට් (Echocardiogram) එකකට යොමුවීමෙන් කිරිටක ධමනියට, හෘදය වස්තුවට හානී වී ඇත්දැයි බලාගන්නට පුළුවන්. ඒ කොහොම වුණත් මෙවැනි රෝගී දරුවන්ව කාලයක් තිස්සේ පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම දෙයක්.

 රෝගී දරුවකු මඟින් වෙනත් දරුවකුට රෝගය බෝවෙන්නට පුළුවන්ද ?
කවසාකි රෝගය රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමක් සිදුවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් බියක් ඇතිකර ගත යුතු නැහැ. හැබැයි වසරේ සමහර කාලවලදී වාර්තා වූ රෝගී ප්‍රතිශතය වැඩිවීමක් වුණා. ඒ වෛරස් රෝගවලට පසුව මෙම රෝගය ඇතිවන නිසා. ඉතින් මේ දවස්වල කොරෝනා වෛරසයේ පැතිරීමෙන් පසුව මෙම රෝගය වැඩිවීමේ අවදානමක් අප ඉදිරියේ පෙනි පෙනී තියෙනවා. ඒ නිසා මේ දවස්වල දරුවාට දවස් පහකට වඩා උණ ගතිය පවතිනවා නම්, පැරසිටමෝල් දීමෙන් ඒ උණ තත්ත්වය පහව නොයන්නේ නම් ඒ කවසාකි රෝගයේ පෙරනිමිත්තක් වන්නට පුළුවන් බව අමතක කරන්න එපා.

කල්හාරි දසනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>