TT Ads

සාමාන්‍ය නීතිය යටතේ නොබෙදූ දේපළ බෙදෙන ආකාරය පිළිබඳ අපි බොහෝ විස්තර පසුගිය සතියේදී සාකච්ඡා කළෙමු. ඒ අනුව ජීවත් වන සැමියාගේ/බිරිඳගේ උරුමය, වෛවාහිකව දරුවන් සිටින විට, වෛවාහිකව දරුවන් නොසිටින විට වැනි බොහෝ කරුණු පිළිබඳව ඔබව දැනුවත් කළා මතක ඇතැයි සිතමු. අද අප මේ සම්බන්ධව තවත් තොරතුරු කතා කරමු. 

අවිවාහකව මියගිය විට හෝ වෛවාහිකව දරුවන් නොසිටින විට සැමියා/බිරිඳද මියගොස් ඇත්නම් 

මිය ගිය තැනැත්තා අවිවාහකව මියගියේ නම් හෝ විවාහක වුවද, දරුවන් නොසිටියේ නම් හා එකි පුද්ගලයා මිය යන විට මිය ගිය පුද්ගලයාගේ කලත්‍රයාද මියගොස් නම් හෝ සම්පූර්ණ දේපළ මිය ගිය අයගේ පූර්වගාමී හෙවත් දෙමාපියන් ජීවත්ව සිටී නම් ඔවුන්ට සම සමව හිමි විය යුතුය.

මිය ගිය අයගේ මව හෝ පියා අතරින් එක් අයෙකු පමණක් ජීවත්ව සිටී නම්, උරුම විය යුතු දේපළින් එම ජීවත්ව සිටින මව හෝ පියාට ½ක් හිමි වන අතර, ඉතිරි කොටස මිය ගිය තැනැත්තාගේ පූර්ණ සහෝදර/සහෝදරියන්ට මෙන්ම මිය ගිය මව හෝ පියාගේ පාර්ශ්වයේ සිටින අර්ධ සහෝදර සහෝදරියන්ට ප්‍රමාණුකූලව හිමි වේ. මේ බව පනතේ 25 වගන්තියේ දක්වා ඇත.

පැවැත එන්නන් හෝ පූර්වගාමීන් නොමැති විට 

එම තැනැත්තා මිය යන විට ඔහුගේ පැවැත එන්නන් හෝ දෙමාපිය දෙදෙනාම ජීවතුන් අතර නොමැති විටකදී එම දේපළ එම අයගේ පූර්ණ සහ අර්ධ සහෝදර/සහෝදරියන්ට සමානව හිමි වේ. එම අයගේ දරුවන්ට හෝ පැවැත එන්නන්ට අදාළ කොටස් ප්‍රමාණුකූලව හිමි විය යුතුය. මේ බව පනතේ 26 වගන්තියේ දක්වා ඇත.

පූර්ණ සහෝදර සහෝදරියන් යනු කවුරුන්ද

මෙහිදී පූර්ණ සහෝදර සහෝදරියන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ තමන්ගේම පියාට දාව තමන්ගේම මවට උපන් දරුවන් වේ.

අර්ධ සහෝදර සහෝදරියන් යනු කවුරුන්ද

අර්ධ සහෝදර සහෝදරියන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ මව හෝ පියාගේ වෙනත් විවාහයක දරුවන් වේ.

යම් තැනැත්තකු මිය ගිය විට එම අයගේ අර්ධ සහෝදර සහෝදරියන්ට දේපළ හිමි වන ආකාරය පනතේ 27 වන වගන්තිය අනුව දැක්වේ. එනම්,  ½  පංගුවක් මිය ගිය තැනැත්තාගේ පූර්ණ සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ පැවැත එන්නන් සමඟ පිය පාර්ශ්වයේ අර්ධ සහෝදර සහෝදරියන්ට ප්‍රමාණුකූලව හිමි වන අතර, ඉතිරි ½ පංගුව පූර්ණ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ පැවැත එන්නන්ට (දරුවන්ට) හා මව් පාර්ශ්වයේ අර්ධ සහෝදර සහෝදරියන්ට ප්‍රමාණුකූලව හිමි විය යුතුය.

යම් අයුරකින් මිය ගිය තැනැත්තාට පූර්ණ සහෝදර සහෝදරියන් නොමැති අවස්ථාවක පිය පාර්ශ්වයේ අර්ධ සහෝදර සහෝදරියන් හා ඔවුන්ගෙන් පැවැත එන්නන් ජීවත්ව සිටින අවස්ථා වලදී එම මිය ගිය අයගේ දේපළ වලින් ½ පංගුව පිය පාර්ශ්වයේ අර්ධ සහෝදර සහෝදරියන්ට හා ඔවුන්ගේ පැවැත එන්නන්ට හෝ දුරස්ථ පැවැත එන්නන්ට ප්‍රමාණුකූලව හිමි වන අතර, ඉතිරි ½ ක පංගුව මව් පාර්ශ්වයේ අර්ධ සහෝදර සහෝදරියන්ට හා ඔවුන්ගේ පැවැත එන්නන්ට හා ඔවුන්ගේ දුරස්ථ පැවැත එන්නන්ට ප්‍රමාණුකූලව හිමි විය යුතුය.

මිය ගිය අයගේ අර්ධ සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දුරස්ථ පැවැත එන්නන් සියලු දෙනාම එක් පාර්ශ්වයකට පමණක් අයිතිවන්නේ නම්  මිය ගිය අයගේ සම්පූර්ණ දේපළ ඔවුන්ට හිමි විය යුතුය.

එවැනි අවස්ථාවකදී මිය ගිය අයගේ අනෙත් පාර්ශ්වයේ මුත්තා හෝ මිත්තනිය හෝ  මීමුත්තා හෝ මී මිත්තනිය ජිවත්ව සිටින විටෙක ඉහත කි අර්ධ සහෝදර සහෝදරියන් හෝ පැවැත එන්නන්ට ½  පංගුවක් පමණක් ප්‍රමාණුකූලව හිමිවේ. අනෙත් පාර්ශ්වයේ මීමුත්තා හෝ මී මිත්තනියට කොටස් සමානව හිමි විය යුතු බව පනතේ දක්වා ඇත.

ඉහත සඳහන් වන කිසිදු පාර්ශ්වයක් නොමැති විටක මිය ගිය අයගේ ළඟම වැඩිහිටි තැනැත්තන්ට උරුම අයිතිවාසිකම් සම සමව හිමි වේ. මිය ගිය තැනැත්තාගේ මාමාවරු හා නැන්දණියන් හා ඔවුන්ගේ පැවැත එන්නන්ට ප්‍රමාණුකූලව උරුම අයිතිය හිමි කර ගත හැකි අතර, එසේ මාමාවරුන් හා නැන්දණියන් නොමැති විටකදී ඔවුන්ගේ දරුවන් සහ වැඩිහිටි මාමාවරුන් හා නැන්දණියන්   සිටී නම් සම සමව හිමි විය යුතුය.

ඉහත කී සියලු පාර්ශ්වයන් කිසිවකුත් නොමැති අවස්ථාවලදී මිය ගිය තැනැත්තාගේ සම්පූර්ණ දේපළ උරුමය ජීවත්ව සිටින එම අයගේ කලත්‍රයා (බිරිඳ හෝ ස්වාමි පුරුෂයා)ට හිමි වේ.

එම කලත්‍රයාද නොමැත්තේ නම් මිය ගිය අයගේ පරම්පරා දහයකට එහා සිටින ඥාතීන්ට පවා සම සමව හිමි විය යුතු බව පනතේ 32 වගන්තියේ දක්වා ඇත.

නීත්‍යානුකූල විවාහයකින් උපත නොලැබූ දරුවකුගේ උරුමය 

ඉහත දරුවන් ලෙසින් සඳහන් කළේ නීත්‍යානුකූල විවාහයකින් උපන් අයකුට දේපළ උරුම වන ආකාරය වේ. නමුත් එලෙස නීත්‍යානුකූල විවාහයකින් උපන්දරුවකු නොවන අයකුට හිමිවන උරුමය පිළිබඳව පනතේ 33 වන වගන්තියේ දැක්වේ . එවැනි දරුවකුට මව් පාර්ශ්වයේ දේපළ පමණක් හිමි වන අතර, පිය පාර්ශ්වයේ දේපළ වලට උරුම අයිතියක් නොලැබේ. එසේම නීත්‍යානුකූල විවාහයකින් උපත නොලැබූ දරුවකු මිය ගිය විට ඔහු/ඇය සතුව දේපළ තිබුණේ නම් එම දේපළ එම තැනැත්තාගේ මව් පාර්ශ්වයට පමණක් උරුම අයිතිවාසිකම් හිමි වන බවද මතක තබා ගත යුතුය.

යම් තැනැත්තකු මිය යන විටදී ඉහත සඳහන් වන කිසිදු උරුමකරුවකු නොමැතිව මිය ගොස්  ඇති විට ඔවුනගේ දේපළ රාජ සන්තක වන  බව පනතේ 34 වගන්තියේ දක්වා ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ
මහින්ද ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>