TT Ads

 

කුඩා දරුවන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර මිටි බව (Short – Stature) සමාජය තුළ එතරම් කතාබහට ලක්වන මාතෘකාවක් නොවේ. නමුත් එය දරුවාගේ අනාගතයට දරුවාගේ පෙනුමට පෞරුෂයට බෙහෙවින්ම ඉවහල්වන්නක් නිසා දෙමාපිය වැඩිහිටියන්. මේ තත්ත්වය ගැන දැනුවත්වීම අතිශයින් වැදගත්ය. අපේ දරු පරපුරෙන් 3%ක් පමණ මෙම තත්ත්වයට ගොදුරු වෙයි. මෙයින් යම් තරමක් වයසින් වැඩෙත්ම උසින් වැඩිවන නමුත් තවත් කොටසක් ඒ ගැන අවධානයකින් තොරවම මිටි වැඩිහිටියන් බවට පත්වෙයි.

මෙසේ වීමට හේතු කවරේදැයි විමසා බලන විට පෙනී යන්නේ මිටි බවට පත්ව හිඳින දරුවන්ගෙන් 50%ක් පමණ දරුවන් කුඩාම කාලයේ මිටි බවින් පෙළෙන අය බවය. මේ මිටි දරුවන් වැඩිවියට පත්වීම සාමාන්‍ය දරුවන්ට වඩා ප්‍රමාද වෙයි. මේ ප්‍රමාද වීම අතරතුර එම දරුවන් යම් තරමකට උස යාමක් සිදුවෙයි. එවිට වයස අවුරුදු 16 – 17ක් පමණ වනවිට සාමාන්‍ය උසකට ළඟා වෙයි. මෙම තත්ත්වය “Constitutional Short Stature” ලෙස හැඳින්වෙයි.
තවත් සමහර දරුවන් මිටි දෙමාපියන්ගෙන් හිමිවන ජාන හේතු කර මිටි දරුවන් බවට පත්වෙයි. මෙය “Familial Short Stature” යන තත්ත්වයකි. විශේෂයෙන් දෙමාපිය දෙදෙනාම මිටි අය වූ විට, උපදින සමහර දරුවන්ට මේ මිටිබව උරුම වෙයි. මේ දරුවන්ගේ උසද මාපියන්ගේ උස ප්‍රමාණය ඉක්මවන්නේ නැත.

එසේම මන්ද පෝෂණය හේතුකරගෙනද දරුවන් උසින් අඩුවන අවස්ථා තිබේ. දීර්ඝ කාලීනව ඇදුම රෝගයෙන් පෙළෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලබන දරුවන් සමහරකටද මිටි බව උරුම වෙයි. එසේම වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වවලින් පෙළෙන දරුවන් තැලිසීමියාවෙන් පෙළෙන දරුවන්ද මිටි විය හැකිය. ආහාර මගින් ශරීරයට ලැබෙන පෝෂණ කොටස් නිසි පරිදි ශරීරයට අවශෝෂණය වීමට ගැටලු තිබෙන, බඩවැල් ආශ්‍රිත රෝගවලින් දරුවෙකු පෙළෙන විටද දරුවාගේ උස යාමට බාධා පැමිණේ. මෙවැනි ශාරීරික ආබාධ තත්ත්වයන් පමණක් නොව සමහර මානසික ව්‍යාකූල තත්ත්වයන්ද දරුවා උසින් වැඩීමට බාධා පමුණුවන බව වැඩිහිටියන් නොදන්නවා විය හැක.

කුඩා කාලයේ අපචාරවලට බඳුන්වන දරුවන් විවිධාකාර තාඩන පීඩනවලට ගොදුරු වී අසතුටෙන් බියෙන් සිටින දරුවන්, දෙමාපිය වැඩිහිටි අවධානය නොලැබ, හුදෙකලාව තනිව සිටින දරුවන් මානසික හිරිහැරවලට ගොදුරු වන කුඩා දරුවන් මිටි බවට පත්වීමට ඉඩකඩ තිබෙන බව නවතම සොයා ගැනීම් හෙළිකරගෙන තිබේ.

එසේම සමහර දරුවන්ගේ මිටි බවට හේතු වන්නේ ශරීරයේ හෝමෝන මට්ටම්වල පවතින අසමතුලිතභාවයන්ය. මේ සියලු කරුණුවලට වඩා වෙනස් හේතූන් නිසාද දරුවන් මිටි වන අවස්ථා තිබේ. එනම් සාමාන්‍ය ශාරීරික ව්‍යුහයට වඩා වෙනස් සංකූලතා හේතු කරගෙන කකුල් කොට, අස්වාභාවික දරුවන් බිහිවන අවස්ථාවන්ය. (සමහර සර්කස් කණ්ඩායම්වලට සම්බන්ධව කටයුතු කරන්නේ මෙවැනි දරුවන්ය)සමහර දරුවන්ගේ මිටි තත්ත්වය වළක්වා ගත නොහැකි නමුත් බහුතරයක් දරුවන්ගේ මිටි තත්ත්වය ප්‍රතිකාර තුළින් යථා තත්ත්වයට පත්කර ගත හැකිය.

ඔබගේ දරුවා මුණුපුරා හෝ හිතවතකුගේ දරුවෙකු පන්තියේ සිටින අනෙක් දරුවන්ගේ උසට සාපේක්‍ෂව මිටි නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ම කරුණකි. ගම් ප්‍රදේශයේ පැවැත්වෙන ළමා සායනයකට මුලින්ම දරුවා රැගෙන යන්න. දරුවා උස නොයාමට නිවැරදි හේතු හඳුනාගෙන අදාළ ප්‍රතිකාර පද්ධතීන් අනුගමනය කළ හැකිය. දැන් බිලිඳු දරුවන්ගේ බර පමණක් නොව දිගද, මැන බලන්නේ මෙම මිටි බව හඳුනාගැනීම සඳහාය. පාසල් යන වයසේ දරුවන් තමන්ගේ සෙසු පන්තියේ දරුවන්ට වඩා මිටි නම්, සමූහ ඡායාරූපයක් ගනිද්දී ඉදිරි පේළියේම සිටින දරුවන් අතරින් කෙනෙකු නම්, උසේ පිළිවෙළට අනුව දරුවන් පෙළ ගස්වද්දී ඉදිරියෙන්ම සිටින දරුවන්ගෙන් කෙනෙකු නම් දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කර උපදෙස් ලබා ගන්න.

 

කුලියාපිටිය මහ රෝහලේ ළමා රෝග විශේෂඥ
වෛද්‍ය චින්තක රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>